ක්‍රීඩා විද්‍යායතනයේ අද දවස සහ හෙට දවස

ක්‍රීඩා
Typography

මේ වන විට ක්‍රීඩාව පිළිබඳ බොහෝ කාරණා සාකච්ඡාවට භාජනය වෙමින් තිබේ. ඒ අතර ප්‍රමුඛ කාරණාවන් ලෙස ලංකාවට ක්‍රීඩාවේ අන්තර්ජාතික පදක්කම් දිනා ගැනීම අධිනිශ්චය වී ඇත. රටක ක්‍රීඩාවේ දියුණුව යන්න පදක්කම්වලින් මැනිය හැකි යැයි විශ්වාස කරනු ලබන බොහෝ අය ක්‍රීඩාවේදී අත් කර ගත හැකි පදක්කම් පිළිබඳ සිහිනයන් තුළ කිමිඳෙමින් සිටී. සමහර විට වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා ද මෙම සිහිනයන්හි ගිල්වා දැමීමේ නිලධාරී වුවමනාවන් පසුගිය කාලය පුරාවට දැකිය හැකි විය.

එක් අතකින් දේශපාලකයන්ට ද පදක්කම් වුවමනා වේ. ඊට අමතරව බහුතර නිලධාරීන්ට මෙන්ම ඔලිම්පික් කමිටුවේ මහත්වරුන්ට, මාධ්‍යවල බහුතර ඈයින්ට සහ ජාතික තලයේ ක්‍රීඩා සංගම්වලට මේ ආශාව ඇත. ක්‍රීඩාව පදක්කම් නොලබන්නේ නම් කුමකටද යන්න අපගෙන් බොහෝ දෙනාට ඇසිය හැක. ලංකාවේ ක්‍රීඩාව පදක්කම් පෝලිමේ ගොස් ගොඩ දැමිය හැකි යැයි අදහන පිස්සන්ගේ පෝළිමේ යෑම අපගේ කාරිය නොවේ. විශේෂයෙන්ම මාධ්‍ය වෙත වූ වගකීමක් රටක යම් ක්ෂිතිජයන් සලකුණු කිරීමක් නම් අප ඒ අරගලයේ සිටීම අමාරු අභ්‍යාසයකි. බොහෝ දෙනා නොඅදහන සහ බොහෝ දෙනාට නොවැටහෙන දේවල් රටේ අනාගතයේ තීරණාත්මක භාවිතාවන් බව මේ වකවානුවේ කිසිවෙකුට නොවැටහේ. ඒ දේවල් වටහා ගැනීමේ උවමනාවක් ද නැති විය හැක. කෙසේ හෝ කුමක් හෝ පැවැත්ම වෙනුවෙන් කිරීමත්. රැකියාව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වූ ඒකායන අරමුණ වීමත් ඒ සඳහා පුද්ගලවාදී අරගල, කැපිලි කෙටිලි, දේශපාලනය, ෂෝට් කට්, ප්‍රතිරූප අතුරා ගැනීම, ක්‍රීඩකයන් නිමවා පදක්කම් පෙන්වීම, ආදිය තිබේ. අනාගතය පිළිබඳ වූ සබුද්ධිකභාවය වෙනුවට තමන්ගේ වැඩ පෙන්වීම හෝ තමන්ගේ පැවැත්ම සහතික කර ගැනීම වර්තමානයේ ක්‍රීඩාවේ කටයුතු කරන බහුතරයකට සාමාන්‍ය වුවමනාව වී තිබේ.

නමුත් ලංකාවේ ක්‍රීඩාව පිළිබඳ අනාගතය සැකසීමට බලාපොරොත්තු වන කවරෙකුට හෝ අමාරු අභ්‍යාසයන් කිරීමට සිදුවේ. එය ක්‍රීඩා ඇමතිවරයාගේ සිට පහළට වුවමනාවක් සහ කැපකිරීමේ සූදානමක් සහිත සියල්ලන්ට පොදුය.

ලංකාවේ ක්‍රීඩාව පිළිබඳ අනාගතය සඳහා දියුණු මිනිසුන් සහ දියුණු දැනුම එක් තැන් කළ යුතුය. ඒ සඳහා මූලික වන්නේ අධ්‍යාපනයයි. අදාළ ක්ෂේත්‍රයේ අධ්‍යාපනය යන්න න්‍යායික සහ ප්‍රායෝගික විද්‍යා ක්ෂේත්‍රයකි. වර්තමානයේ සියලු දේ වෙළෙඳපොළකරණය වන තත්ත්වය තුළ ක්‍රීඩාව ද වෙළෙඳපොළ භාණ්ඩයක් වී තිබේ. මේ තත්ත්වය තුළ ක්‍රීඩාව පිළිබඳ අධ්‍යාපනයේ ක්ෂිතිජයන් පුළුල් කිරීම රටක් ලෙස කළ යුතුය. ඒ සඳහා පාසල් පද්ධතියට, විශ්ව විද්‍යාල පද්ධතියට, සහ වෙනත් ආයතන පෙරමුණු බල ගැන්විය යුතුය. විශේෂයෙන් මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වන ක්‍රීඩා විද්‍යායතනයට වගකීමක් තිබේ.

නමුත් වර්තමානයේ ක්‍රීඩා විද්‍යායතනය ගමේ අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ශාලාවක තත්ත්වයට පත්ව ඇත. එය ලංකාවේ තවත් එක් ඵෙතිහාසික ඛේදවාචකයකි. ක්‍රීඩාවේ එකතැන පල් වූ ආයතන අතර විනාශ වී ගිය ක්‍රීඩා විද්‍යායතනය ගොඩ ගැනීමේ වගකීමක් වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා හෝ තමන් වෙත පවරා ගත යුතුය. මේ වන විට විශ්වවිද්‍යාල මට්ටමේ තත්ත්වයකට පත් විය යුතුව තිබූ ක්‍රීඩා විද්‍යායතනය සඳහා කඩිනම් මැදිහත් වීමක් කිරීමටත් එය ජාත්‍යන්තර මට්ටමේ සහයෝගී තත්ත්වයන් තුළ සංවර්ධනය කිරීමටත් කාලය පසුවී තිබේ. විශේෂයෙන් පසුගිය දා ක්‍රීඩා ඇමතිවරයා සහ කියුබානු තානාපතිවරිය අතර පැවැති ක්‍රීඩා සහයෝගීතාව අතර වන ගිවිසුමක පෙරහුරුවේ ප්‍රතිලාභ ක්‍රීඩා විද්‍යායතනය ගොඩදැමීමට මාර්ගයක් කර ගන්නේ නම් එය පදක්කම් පෝලිම් තැනීමට බල මුළුගැන්වීමේ ප්‍රමුඛ කාරණාවන් අතර වේ.

විහඟ තීක්ෂණ

Latest Posts