හොකී නරිවාදන්

ක්‍රීඩා
Typography

ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවට වී ඇති වින්නැහිය අප පසුගිය කාලය පුරාම දිගින් දිගටම පෙන්වා දුන් නමුදු ඒ වෙනුවෙන් වගකිව යුතු බලධාරීන් ගෙන් අපට පළ වූ කටෝර ප්‍රතිචාරයන් හැර හොකී ක්‍රීඩාව නංවාලනු පිණිස ගත් සාධනීය පියවරක් නොමැත.

ශ්‍රී ලංකා හොකී සම්මේලනය විසුරුවා හැර ඒ හොකී පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය වෙතට ගත් බවට වන නිල දැන්වීම, දැන්වීමකට සීමා වී පැවැති අතර මෙරට හොකී ක්‍රීඩාව විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා රැසකට වගඋත්තරකරුවා වන හොකී සම්මෙලනයේ හිටපු සභාපති සුමිත් එදිරිසිංහ ඇතුළු ඔහුගේ ගෝලබාලයන් හොකී පරිපාලනය තවමත් සිය ග්‍රහණයට ගෙන ඇත්තේ ගෙවලපෙරේතයන් ඉන්නා තැන ලෙහෙසියෙන් අත් නොහරින්නාක් මෙනි. ගෙවලපෙරේතයන් පැන්නීමට හොඳ යකැදුරෙකු මෙන්ම ඒ සඳහා ප්‍රබල මන්ත්‍ර ගුරුකම් අවශ්‍යය. එහෙත් ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව බේරා ගැනීම සඳහා හොඳ යකැදුරෙකු හෝ ප්‍රබල මන්ත්‍ර ගුරුකම් හමු නොවීය. යකැදුරන් ලෙස පැමිණි වුන් ගෙවලපෙරේතයන්ට අනුව නටන්න වීම විගඩමක් නමුදු හොකී ක්‍රීඩාව සම්බන්ධයෙන් සිදුව ඇත්තේ ද ඒ විගඩමය ය.

පසුගිය මාර්තු මස 4 වන දින ශ්‍රී ලංකා හොකී කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත් වූයේ හුදු විනෝද චාරිකාවකට නොව වර්ල්ඞ් ලීග් 2 වටයේ තරගාවලියට සහභාගී වීමටය. ඒ ලෝක කුසලාන පරිසාධක මට්ටම ඉක්මවීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් අවසාන ප්‍රතිඵලය වූයේ තරගාවලියේ දී ෆිජි දූපත් කණ්ඩායම හමුවේ ජයග්‍රහණය කර 7 වැනි ස්ථානය දිනා අන් සියල්ල හමුවේ පරාජය වැළඳ ගැනීමය. එසේම ශ්‍රී ලංකාවට වඩා පහළ තත්ත්වයක තිබෙන බංග්ලාදේශය හමුවේ 90ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය වීම විශේෂ කරුණකි.

මේ ප්‍රතිඵලය අත්පත් කර ගත්තේ වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සෙ ජාතික පුහුණු සංචිතයට තෝරාගනු ලැබූ ක්‍රීඩකයන් 25 දෙනකුට ලබා දුන් සුවිශේෂී පුහුණුවෙන් පසුවය. මේ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය කෝටි ගණනක පිරිවැයක් ද දැරීය. මෙය එක අතකින් ලෝක වාර්තාවකි. අතිදක්ෂ හොකී ක්‍රීඩකයෙක් සංචිතයෙන් එළියේ තබා තම තමන්ගේ පෞද්ගලික හිතවත්කම් පාර්ශ්විකභාවයන් ප්‍රාදේශීයවාදයන් සලකා බලා තෝරා ගනු ලැබු පිරිසකට වසර එකහමාරක් තිස්සේ පුහුණුවක් ලබා දීම එසේ මෙසේ වැඩක් නොවේ. මෙතරම් දීර්ඝ කාලයක් එකම පිරිසකගෙන් යුතු ජාතික පුහුණු සංචිතයක් පවත්වාගෙන යාමත් ලෙහෙසි වැඩක් නොවේ. මේ හපන්කම සිදු කළේ හිටපු හොකී බලධරයා වන සුමිත් එදිරිසිංහ ඇතුළු ඔහුගේ ගෝලබාලයන් විසිනි. ඊට හරියන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හොකී බාර නිලධාරිනිය ලෙස පත් කර සිටින තමාරා ලියනගේද මේ වෙනුවෙන් විශාල බරක් කරට ගෙන තිබිණි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගෙන් ද මීට උදව් පදව් සෑහෙන්න ලැබී තිබිණි.

ක්‍රීඩා ඇමැතිවරයා ගේ ඇගයුමට ද මෙම පිරිස පත්ව සිටී. ක්‍රීඩා ඇමැතිවරයා සිතා සිටින්නේ ලංකාවේ සුපිරිම ක්‍රීඩාව හොකී බවට පත්ව ඇති බව විය යැකිය. මන්ද ඔහු හොකී ගැන දන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයාත් හොකී බාර නිලධාරිනියත් ඔහු ඉදිරියේ තෙපලන වදන් අනුවය.

බංග්ලාදේශ සංචාරය සඳහා එම කණ්ඩායම් තේරීමේ දී සිදු වූ අකටයුතුකම් ගැන ඇමැතිවරයා නොදන්නවා නොවේ. ක්‍රීඩා ප්‍රවීණයන් මේ සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කර තිබුණි. ඒ අනුව ඔහුගේ නියෝගයන් ප්‍රකාරව හොකී බලධාරීන් කටයුතු කළ යුතු නමුත් සිදුව ඇත්තේ වෙනකක් බව ඇමැති තවමත් දන්නවා දැයි නොදනිමු.

මේ කෙසේ නමුත් මෙරට ක්‍රීඩා සංගම් මාෆියාකරුවන්ගෙන් බේරා ගැනීම සිතන තරම් පහසු කරුණක් නොවන බව පැහැදිලිය. මේ මාෆියාව ශක්තිමත්ය. ඔවුනොවුන් එකිනෙකා හා එක්ව කටයුතු කරති. ක්‍රීඩා ඇමැතිවරයා පසුගියදා ගෙන එන ලද නව නියෝග බල්ලට දමා ඒ වගන්ති අතරින් රිංගා යෑමට මේ වන විටත් මේ ක්‍රීඩා මාෆියාවේ ලොකුම කෙරුම්කාරයෝ කටයුතු කර ඇත. ඇමැති පරාජය වී ඇත. ක්‍රීඩාව ද වළපල්ලට ගොස් ඇත. හොකී ගැන වුවත් ඇත්තේ මෙම පොදු අර්බුදයය. මේ අර්බුදය විසඳා ගැනීමට නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ කශේරුකාව මීට වඩා ශක්තිමත් විය යුතුය.

සුභාෂ් ජයවර්ධන

Latest Posts