චීනය පරාජය කරමින් -රාජකීය ශිෂ්‍යයන්ගෙන් ගිනස් වාර්තාවක්

ක්‍රීඩා
Typography

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2013 වසරේ චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai, Hong Kong, China ) 'කුන් යික් ශී' ද්විතීයික පාසලේ සිසුන් විසින් තත්පර පහක් තුළ ජල රොකට් 1056ක් ගුවන්ගත කිරීමෙන් තැබූ ගිනස් වාර්තාව බිඳ හෙළමින් රාජකීය විද්‍යාලයේ සිසුන් විසින් පසුගිය දා (2017-11-10)එම වාර්තාව අලුත් කොට ඇතැයි ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙයි.

මෙම ගිනස් වාර්තාවට අදාළ සහතිකය සඳුදා (ජනවාරි 15) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත පිළිගන්වා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මගින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

විද්‍යාලයීය අජටාකාශ හා තාරකා විද්‍යා සංගමයේ 50 වැනි සංවත්සරය හා ලෝක විද්‍යා දිනය සැමරීමට සමගාමීව එම ජල රොකට් ගුවන්ගත කිරීම සිදුකොට ඇති අතර, ජල රොකට් ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගිනස් වාර්තාවක් බිහි කරන ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

විද්‍යාවේ සහ තාක්ෂණයේ නව අත්හදාබැලීම් වෙත යොමුවෙමින්, ජයග්‍රහණ අත්පත් කරගන්නා නිර්මාණශීලී දරුවන් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ හඳුන්වාදීම් සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ක්‍රියාත්මක ව පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

එමෙන් ම රටේ නම ජාත්‍යන්තරයට ගෙන යන, නව දැනුම සමඟ පෙරට යන විශිෂ්ට දරුවන් රටකට සම්පතක් බව සඳහන් කළ අමාත්‍යවරයා, 'ගිනස්' වාර්තා තැබූ රාජකීය දරුවන්ට ඔවුන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් සිය ප්‍රශංසාව ද පළ කළේය.

bbc

Latest Posts