කටාර් නායකයා සාකච්ඡාවට එකඟ වෙයි

විදෙස්
Typography

අසල්වාසී ගල්ෆ් රාජ්‍ය හතරකින් එල්ලවී ඇති විරෝධය සමනය කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට කටාරයේ එමීර්වරයා වන ෂෙයික් ටමිම් හමද් අල් තානි එකඟ වෙයි.කටාර් අර්බුදය මතුවීමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ එමීර්වරයා කියා සිටියේ ඕනෑම විසඳුමක් කටාරයේ ස්වෛරීත්වයට ගරුකළ යුතු බවය.

ත්‍රස්තවාදයට උදව් කරන බවටත් ඉරානය සමඟ පවතින සමීප සබඳතාවට එරෙහිවත් චෝදනා නගමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය, බහරේනය සහ ඊජිප්තුව යන රටවල් හතර කටාරය සමඟ පවතින සියලු සබඳතා අතහැර දැමුවේ පසුගිය ජුනි මාසයේදී ය.ත්‍රස්තවාදයට උදව් කරන බවට එල්ලවී ඇති චෝදනා කටාරය තරයේ ප්‍රතික්‍ෂේප කරයි.රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් කටාරයේ එමීර්වරයා කියා සිටියේ "ද්වේශ සහගත මඩ ප්‍රචාරයක්" කටාරයට එරෙහිව දියත්වන බවය.

"කටාරයේ ස්වෛරීත්වයට ගරු කරනතාක් කල්, දැනට පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා අපි සාකච්ඡාවට විවෘතයි" යනුවෙන් කටාරයේ පාලක ෂෙයික් ටමිම් හමද් අල් තානි පැවසීය.කටාරය සමඟ සබඳතා අතහැර දැමූ රටවල් එක්වී කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළ අතර කටාරයට එරෙහිව සම්බාධක පැනවීය.පනවා ඇති කොන්දේසි අතර අල්ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම සහ ඉරානය සමඟ පවතින සබඳතා අඩු කිරීම ද වෙයි.තමන්ට ඉදිරිපත් කර ඇත්තේ "ක්‍රියාවට නැංවිය නොහැකි" කොන්දේසි මාලාවක් බව කටාර් රාජ්‍යය පවසයි.කටාර් සහ අරාබි රටවල් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එම රටවලින් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය සහ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන ලෙසය.

කටාර් රාජ්‍යයේ ජනගහනය ලක්ෂ 27 කි. භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන කටාර් රාජ්‍ය වෙත සෙසු අරාබි රටවල් විසින් සීමා පනවනු ලැබීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.කටාර් රාජ්‍යය හා සම්බන්ධ වන එකම ගොඩබිම් මාර්ගය වසා දමා ඇති අතර ඒ වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු සහ ගුවන් මාර්ගයෙන් පමණි.ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.-bbc

Latest Posts

Face Book Setup 01