සිරියාවේ සැකකටයුතු රසායනික ප්‍රහාරයකින් 70 පමණ මරුට

විදෙස්
Typography

සිරියාවේ නැගෙනහිර ගුටා හි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින අවසන් නගරය වන ඩුමා වෙත එල්ල කෙරුණු රසායනික යැයි සැක කෙරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 70 පමණ මියගොස් ඇති බව ගලවාගැනීමේ හා වෛද්‍ය කණ්ඩායම් පවසති.



ගොඩනැගිලි භූගත මහල්වල වූ මළසිරුරු කීපයක ඡායාරූප වයිට් හෙල්මට්ස් ( White Helmets) නම්වූ ස්වේච්ඡා ගලවාගැනීමේ කණ්ඩායම විසින් සිය ට්විටර් ගිණුමේ පළකර තිබිණි. ඔවුන් පැවසුවේ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවය.

මේ වාර්තා ගැන ස්වාධින තහවුරුවක් සිදුවී නැත.

රසායනික ප්‍රහාරයක් පිළිබඳ චෝදනා "ගොතන ලද්දක්" බව සිරියානු ආණ්ඩුව පැවසීය.

වාර්තාවල දැක්වෙන පරිදි ආවරණ සලසාගෙන සිටි පවුල් ද ඇතුළුව "විපතට පත්වූවන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි" බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිරියානු ආණ්ඩු

වට "ඍජු සහයක්" දෙන රුසියාව, සිදුවී ඇතැයි කියන ප්‍රහාරයේ "වගකීම දරන" බව ද රාජ්‍ය දෙපාර්තමේන්තුව කීය.
වෛද්‍ය, නිරීක්ෂණ හා ක්‍රියාකාරී කණ්ඩායම් වෙතින් රසායනික ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වුව ද, සංඛ්‍යාදත්ත හා තොරතුරු වෙනස් ස්වභාවයක් දරන අතර තවමත් තොරතුරු ලැබෙමින් පවතී.

වයිට් හෙල්මට්ස් කණ්ඩායමේ ප්‍රධානී රයිඩ් අල් - සලේහ් පැවසුවේ "හුස්ම හිරවීමෙන් හැත්තෑ දෙනෙක් මියගොස් තිබෙනවා ඒ වගේම තවත් සිය ගණනකට තවම හුස්මගැනීමේ අපහසුව තිබෙනවා" යැයි පැවසීය. මීට මේර පළවූ එහෙත් දැන් ඉවත් කර ඇති ට්විටර් පණිවිඩයකට අනුව මියගිය ගණන 150 ට වැඩි බව දැක්විණි.

විරුද්ධ පක්ෂයට හිතැති ගුටා හි මාධ්‍ය මධ්‍යස්ථානය සිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හැත්තෑපහකට වැඩි පිරිසක් "හුස්ම හිරවීමෙන් මියගිය" අතර එල්ලවී යැයි කියන ප්‍රහාරයේ බලපෑමෙන් තවත් දහසක් පමණ පීඩාවට පත්ව ඇති බවය.

එය චෝදනා එල්ලකරමින් පැවසුවේ මාරාන්තික විෂ රසායනිකයක් වන සරින් අඩංගුවී යැයි පැවසෙන බැරල් බෝම්බයක් හෙලිකොප්ටරයකින් හෙලා ඇති බවකි.

සිරියානු රෝහල් සමග ක්‍රියාත්මක වන ඇමෙරිකාව මූලික කරගත් පුණ්‍යායතනයක් වන වෛද්‍ය සහන සංවිධාන සංගමය (The Union of Medical Relief Organizations) බීබීසී සමග පැවසූ පරිදි මරණ 70ක් බව දමස්කස් ග්‍රාමීය ක්ෂේත්‍ර රෝහල තහවුරු කර තිබේ.

භූමියෙන් ලැබෙන වාර්තාවලට අනුව 180ක් තරම් ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වුවත් විපතට පත්වූවන් වෙත ළඟාවීම අසීරුවී ඇතැයි ප්‍රකාශිකාවක පැවසුවාය.

රාත්‍රිය පුරා එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා ඉරිදා දිනයේ විපතට පත්වූවන් වෙත ළඟාවීම දුෂ්කර වී ඇත.

ප්‍රහාරය පිළිබඳ චෝදනා නැගෙද්දී සිරියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන සනා පැවසුවේ ඩුමා නගරයේ පාලනය තවදුරටත් පවත්වාගෙන යන ජායිෂ් අල්-ඉස්ලාම් කැරලිකරුවන් විසින් මෙම වාර්තා සකසා ඇති බවය.

"ජායිෂ් අල්-ඉස්ලාම් ත්‍රස්තවාදීන් බිඳවැටීමට ආසන්නව සිටිද්දී ඔවුන්ගේ මාධ්‍ය අංශය මේ රසායනික ප්‍රහාරයක් පිළිබඳ ගොතා හෙළිදරව් කරමින් සිරියානු අරාබි හමුදාවේ ඉදිරියට ඇදීම වැළකීමේ අසාර්ථක උත්සාහයක යෙදිලා" යැයි සනා පුවත් ඒජන්සිය පැවසීය.
සිරියානු ආණ්ඩුව මීට පෙර රසායනික අවි භාවිත කළා ද?

2013 වසරේදී නැගෙනහිර ගුටා හි කැරලිකරුවන් අත පැවති ප්‍රදේශ වෙත සරින් විෂ රසායන සහිත රොකට් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සිය ගණනක් මිය ගියහ.

සරින් භාවිතය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූත පිරිසක් විසින් සනාථ කරනු ලැබුවද ඊට කව්රුන් වගකිව යුතුද යන්න ප්‍රකාශ නොවීය. බටහිර බලවතුන් පැවසුවේ එම ප්‍රහාරය සිරියානු ආණ්ඩුවේ හමුදා එල්ල කරන්නට ඇති බවය.

2017 අප්‍රේල් මාසයේදී ද විපක්ෂය ඇත පැවති නගරයක් වන ඛාන් ශෙයිඛුන් වෙත සරින් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් අසූවකට වැඩි පිරිසක් මියගියහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම රසායන අවි තහනම පිළිබඳ සංවිධානය එකාබද්ධව කළ විමර්ශනයකදී සිරියානු ආණ්ඩුව වෙත වගකීම පවරනු ලැබිණි.

bbc

Latest Posts