කිම් - ට්‍රම්ප් හමුව: "යුද ක්‍රීඩා" අත්හිටුවීම සහ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් විනාශ කිරීම

විදෙස්
Typography

ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහි "යුද ක්‍රීඩා" අත්හිටුවන අතරතුර සිය ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයක් විනාශ කර දැමීමට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පොරොන්දු වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.



කෙසේ වුවත් එක්සත් ජනපද හමුදා තවදුරටත් දකුණු කොරියාවේ රඳවා තබන බව ද ඔහු සඳහන් කළේය.

ඒකාබද්ධ ගිවිසුමක් අත්සන් තැබීමෙන් නිමවූ සාකච්ඡාවෙන් අනතුරුව එක්ව සාකච්ඡා කළ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ලෙස ඔවුහු ඉතිහාසයට එක්වූහ.

දෙදෙනා අතර පෙර නොවූ විරූ එම හමුව සිදු වූයේ වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති වාග් සංග්‍රාමයකින් අනතුරුවය.

සාකච්ඡා අවසානයේ නායකයන් දෙපල "පුළුල් ප්‍රකාශනයකට" අත්සන් තැබූහ.

න්‍යෂ්ටික අවිහරණය සහ කලාපීය දේශපාලන උණුසුම සමනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර තිබිණි.
දෙපල අතර ගිවිසුමක් අත්සන් කරන අවස්ථාවේ දෙරටේ නායකයෝ මාධ්‍ය හමුවේ කෙටියෙන් අදහස් පළ කළ නමුත් ගිවිසුම තුළ වූ කරුණු නිශ්චිත වශයෙන් සඳහන් කිරීමට අපොහොසත් වූහ.

"ලැබුණු ප්‍රතිඵලය ගැන දෙපාර්ශ්වයම විශාල වශයෙන් සතුටු වේවි කියා මම සිතනවා" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

උතුරු කොරියාවට එරෙහි සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන නමුත් කිම් ජොන්ග් අන් සිය ප්‍රතිඥා ඉටුකරන්නේ නම් එම සම්බාධක ඉවත් කෙරෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

"අපි අතීතය පසෙකින් තබන්නට තීරණය කළා" යනුවෙන් කී නායක කිම් ජොන්ග් අන්, "ලෝකය විශාල වෙනසක් දකීවි" යයි සඳහන් කළේය.

අතට අතදී එකිනෙකා පිළිගත් ජනාධිපති ට්‍රම්ප් සහ නායක කිම් සිය උපදේශකයන් සමග දිවා භෝජන සංග්‍රහයකට එක් වූහ

සාකච්ඡාව පැවැත්වුනේ සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ පිහිටි සුඛෝපභෝගී නිකේතනයකදීය.
ශ්‍රී ලාංකික වෘත්තිකයන් විශාල පිරිසක් ද සිංගප්පූරුවේ රැකියාවේ නිරතව සිටිති.

කිම්-ට්‍රම්ප් සාකච්ඡාව පිළිබඳ එරට මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුවත් සිංගප්පූරුවේ ජනතාව එතරම් උනන්දුවක් නොදක්වන බව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙකුගේ අදහස විය.

"ඒ අයට බලපෑමක් නැති නිසා ඔවුන් වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. හැරී කුමාරයා සහ මේගන් මාකල් රාජකීය විවාහ උත්සවය ගැන මේ මිනිස්සු මීට වඩා උනන්දු වුනා," සිංගප්පූරුවේ රැකියාවේ නිරත ඉංජිනේරුවරියක වන පැට්‍රීෂියා පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

bbc

Latest Posts