දැක්ම නොදැක්කා වගේ යාම

දේශපාලන
Typography

සරණංකර හාමුදුරුවන්ගේ බලු කපුටු දානේ වගේ යැයි කියමනක් ජන වහරේ වෙයි. ඊට හේතු වූයේ වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමි පිණ්ඩපාතේ වැඩ එකතු කර ගන්නා ආහාර කොටසක් බල්ලන්ගේ හා කපුටන්ගේ ආහාරය පිණිස සම සේ වෙන්කර ලබා දුන්න ද ඒ වෙන වෙනම භුක්ති විඳීමට නොහැකිව වන කෑකෝ ගැසීම පොරකෑම ආදිය නිසා ඇති වන කලබැගෑනිය ය.

ආහාරයට වෙන් කළ දෙයක් තිබුණ ද ඒ බෙදා හදාගෙන කෑම බල්ලන්ට හෝ කපුටන්ට කළ හැකි දෙයක් නොවේ. අනෙකාගේ පංගුවට පොර කෑම මේ සතුන්ගේ සිරිතය. යමක් සාමදානයෙන් සාකච්ඡාවෙන් සාධාරණව විසඳා ගැනීමට නොහැකිව වන කෑකෝ ගැසීම සම්බන්ධයෙන්  උදාහරණයකට ගත්තේ සරණංකර හාමුදුරුවන්ගේ බලු කපුටු දානය ගැන වන අත් දැකීමය.

වත්මන් ආණ්ඩුවේ කටයුතු හා විමසා බලන විට ද පෙනී යන්නේ තම තමන්ගේ කෑම පංගුව වෙනුවට අනෙකාගේ පංගුවෙන් ද තව වැඩි වැඩියෙන් බෙදා ගැනීමට ගන්නා උත්සාහය මත ආණ්ඩුව විශාල අවුලකට පත්ව ඇති බවය. පසුගිය සති දෙක තුන සලකා බැලුව ද මේ ප්‍රශ්නය තදින්ම කැපී පෙනේ.

ජනවාරි 08 අරමුණත් රාජ්‍ය පාලන තන්ත්‍රයත් එක්ව ගමන් කිරීම සිදු විය යුතුව තිබේ. අද ක්‍රමය අර්බුදයට යාම විසින් පෙන්නුම් කරන්නේ මේ දෙක දෙකක් වීමය. අනාගතවාදී පිවිසුමකින් යුතුව ජනවාරි 08 අරමුණු ඉදිරියට ගැනීම මේ වන විට අත්‍යවශ්‍යව තිබේ. එමෙන්ම සියලු පාර්ශ්ව එදාවේල සරි කර ගන්නට මෙන් සිදු කෙරෙන එකිනෙකා කෙරෙහි විවේචනය නොව ස්වයං විවේචනාත්මකව 1948 සිට සිදු කෙරුණු වැරැදි නිවැරැදි කර ගැනීම යහපත් අනාගතයක් සඳහා අවැසිය. නීතිය හා විධානය නිවැරැදි විය හැක්කේ ඒ අනුවය... අප පසුගියසතියේ මෙම තීරුව අවසන් කළේ එසේය. එහෙත් ඒ ප්‍රශ්නය අවසන්ව නැත.  

කෝවෙ ලෑව දමැකිය නොහැකිය

ආණ්ඩුවේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය සරණංකර හාමුදුරුවන්ගේ බලු කපුටු දානය වගේ වීම අහම්බයක් නොව දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආ මජරකම්වල ප්‍රතිඵලයකි. මජරකම කියන්නෙ තක්කඩිකමට හෝ මෝඩකමට නොවේ. ජාතකේ හැටියට කරන ජඩකම්වලටය. ඒ කෝවේ දමා මකා හදන්න හැදුවත් හදන්න බැරිය. අද දේශපාලකයාට වී ඇත්තේ ද එය ය. දේශපාලකයා දියුණු ශිෂ්ට සම්පන්න ආකල්ප අනුව හැඩ නොගැසීමේ ඛේදවාචකය අද අප හමුවේ වන ප්‍රධාන ගැටලුවය.  

අද නොවේ හෙට

දූෂණ චෝදනා පදනම් කරගනිමින් ඒ වසන් කිරීමට ගෙන ආ යෝජනාවක් ලෙස  පෙනුණ ඇමැති මණ්ඩල සංශෝධනය හා ගෙතුණු කතා අනුව එජාපයට වෙන් කළ ඇමැති ධුර ශ්‍රීලනිපයට ලබා ගැනීමේ වුවමනාවක් මූලික වශයෙන් ප්‍රකට කරනු ලැබ තිබිණි. මෙහි දී විශේෂත්වය නම් මේ ඇමැති පංගුපේරුව වෙනුවෙන් වැඩි වුවමනාවක් පෙන්වනු ලැබුවේ ජනවාරි 08 වනදායින් පසුව ආණ්ඩුවට එකතු වූ පිරිසගෙන් වීමය.  තත්ත්වය සමථයකට පත්වීම මෙතෙක් සිදුව නොමැති අතර ඇමැති සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ. එසේම ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති  සම්බන්ධයෙන් ද කෑකෝ ගැසීමක් පසුගිය දිනවල දකින්නට තිබිණි. ආණ්ඩුව තුළම වන කුළල් කා ගැනීම් ඒ අතර විය.

අත ලෙවකන්න මී නොකඩයි

ආසන්නතම උදාහරණයක් ලෙස හම්බන්තොට වරාය  චීන ගනුදෙනුව සමඟ වන ප්‍රශ්නය පෙන්වා දිය හැකිය. හම්බන්තොට ආයෝජන කලාපය සමඟ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කිහිපයක් චීනයට පැවරීම සම්බන්ධයේ දී ද මේ පෙන්නුම් කළේය. එසේම ආණ්ඩුව මීට පෙර ගෙන ආ බොහෝ සංවර්ධන ව්‍යාපෘති පමණක් නොව අණපනත්  සම්බන්ධයෙන් ද මෙම තත්වයන් ඇතිව තිබේ.  

මහා පරිමාණ ව්‍යාපෘති ආයෝජන සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී ඊට අත්‍යවශ්‍යයෙන්ම දායක වන පාර්ශ්ව සියල්ල සතුටු කිරීම සිදු කළ හැකි නම් ගැටලු අවම වනු ඇත. එහෙත් ඒ සිදු කළ නොහැක. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා  අද අත්‍යවශ්‍යම වී තිබෙන්නේ මෙරට ආයෝජනය සඳහා විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමය. විශාල ප්‍රාග්ධන ආයෝජකයකු මෙරටට පැමිණීමට කැමැත්ත පළ කළ ද ඒ ආයෝජකයා එන්නේ මෙහේ සල්ලි විසිකර දමා යෑමට නොවේ. ලාභයක් අපේක්ෂාවෙනි. එමෙන්ම එම ලාබය ඔහුට ලැබෙන විට අනෙක් ප්‍රතිලාභයක් මෙරටට සිදු වීම රජය අපේක්ෂා කරයි.  රජයට ප්‍රතිලාභයක් ලබා ගැනීමට නම් ආයෝජකයාට යම් වාසිසහගත තත්වයක් ඇති කළ යුතුය. ශ්‍රී ලංකාව සතුව ඇති සම්පත් ඒ වෙනුවෙන් කැප කිරීමට සිදු වේ. ආයෝජන වශයෙන් ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන්නේ විශාල ප්‍රාග්ධනයක් මෙරටට ආයෝජනය කිරීම, විශාල රැකී රක්ෂා ප්‍රමාණයක් ඇති කිරීම හා මෙතෙක් සංවර්ධනයට ලක් නොවූ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන විශාල කර්මාන්තශාලා පිහිටුවීම ආදිය ය. ඒ අනුව ඒ සඳහා ආයෝජකයන් ඉදිරිපත් වේ නම් රජයකට ඒ වෙනුවෙන් කැප කිරීමට ඇත්තේ ප්‍රතිපත්තියක්   යම් ක්‍රමවේදයක් අනුව බදු සහන කාලයක් ලබා දීම, ඉඩම් ලබා දීම හෝ වෙනත් රාජ්‍ය දේපළක් ලබා දීම ආදිය ය.

අවස්ථාවාදයේ නරුමත්වය

ආයෝජකයන්ට සහන ලබා දීම සම්බන්ධයෙන් දශක ගණනාවක සිට මෙරට පවතින්නේ යහපත් ආකල්පයක් නොවේ. විශේෂයෙන්ම මුග්ධ අවස්ථාවාදීන් විරුද්ධවාදීන් සෑමදාම සෑම ආණ්ඩුවකටම එරෙහිව කටයුතු කිරීම දක්නට ලැබුණු අතර නිරන්තරයෙන් ඔවුන්ගේ කෑකෝ ගෑම තුළ රාජ්‍ය දේපළ තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණනවා යන සටන් පාඨය තිබිණි. පෞද්ගලිකකරණය ද එලෙස පට්ට ගැසූ සටන් පාඨයකි.  ආයෝජකයන් හා ගනුදෙනු බේරා ගැනීමේ දී රටට ලැබිය යුතු වාසිය උපරිම කර ගැනීම සඳහා වන සාකච්ඡාව සාධනීය පියවරක් විය හැකි නමුත් සංවර්ධන ව්‍යාපෘති අකුළා ගැනීමට කරන බල කිරීම අවස්ථාවාදයෙන් ඔබ්බට ගමන් ගත් අවස්ථා ඇත්තේ ඉතා කලාතුරකිනි. වත්මන් ආණ්ඩුව  හම්බන්තොට වරාය චීනයට බදු දීම සම්බන්ධයෙන් වන ගිවිසුමට එල්ල වන විවේචන වල සාධනීය බාවක් තිබුණ ද  ඒ දඩමීමා කරගෙන වරාය බදු දී අත්පත් කර ගැනීමට උත්සාහ කරන ආර්ථික ප්‍රතිලාභය නොතකා ඒ වැළැක්වීමට ගන්නා උත්සාහය පිළිගත නොහැක. “වරාය චීනයට විකුණන්න යනවා” වැනි මෝඩ සටන් පාඨ මඟින් සිදු වන්නේ මේ ඇත්ත ගනුදෙනුව කුමක්ද යන්න ගැන හෝ පුරවැසියාට දැන ගැනීමට තිබෙන අවස්ථාව ද නැති කිරීමය.

කෙන්ද කන්ද කිරීම

පසුගිය දා නැඟෙනහිර පළාතේ ඊතයිල් ස්ප්‍රීතු කර්මාන්ත ශාලාවක් ගොඩනැඟීම වෙනුවෙන් මෙරට ආයෝජකයකු ගත් උත්සාහය වැළැක්වීමට පාර්ශ්ව කීපයක් ගත් උත්සාහ තුළ ද තිබුණේ නොදන්නා කම හා තක්කඩි දේශපාලන අවස්ථාවාදය ය. රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් මත නැඟෙනහිර පළාතේ ආයෝජනය කිරීම වෙනුවෙන් එම ආයෝජකයාට බදු සහනයක් හිමි විය. විශාල සෘජු රැකියා ප්‍රමාණයක් මෙන්ම වක්‍ර රැකියා ප්‍රමාණයක් ද මේ ස්ප්‍රීතු නිපදවීමේ කර්මාන්ත ශාලාව හරහා ගොඩනැඟීමට නියමිතව තිබිණි. එමෙන්ම ඒ ආශ්‍රිතව වන ඉරිඟු වගාවට වඩා වාසිදායක වීමේ ඉඩකඩක් ද නිර්මාණය විය. නමුත් මෙම කර්මාන්ත ශාලව සම්බන්ධයෙන් විරෝධය පදනම් කර ගත්තේ නැඟෙනහිර පළාතේ මිනිස්සුන්ට ‘අරක්කු පොවන්න යනවා’ යනුවෙන් ඒකාබද්ධ විපක්ෂය හා ජවිපෙ වැනි සංවිධාන ඉදිරිපත් කළ ව්‍යාජ කරුණුය. එමතු නොව නැඟෙනහිර පළාත් සභාව ද මේ කර්මාන්ත ශාලාවට එරෙහිව ද යෝජනාවක් සම්මත කරගෙන තමන් මහා වීර ක්‍රියාවක් සිදු කළා සේ බලා සිටිති. මෙලෙස කිසිදු සාධාරණ කරුණක් නොමැතිව දේශපාලන අවස්ථාවාදය පමණක් පදනම් කර ගත් විරෝධයන් නිසා මෙරට අහිමි කරගත් අවස්ථා අතිවිශාලය.

තේ කෝප්පයේ කිඹුල්ලු

පසුගිය වසරේ අගමැති රනිල් වික්‍රමසිංහ මෙරට සංවර්ධනය සම්බන්ධයෙන් වන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබිණි. නමුත් එය සුපිරි ඇමැතිවරයකු බිහි කිරීමට අගමැතිවරයා ගත් පියවරක් යැයි කියමින් විශාල ඝෝෂාවක් පැවැත්වූ අතර පනත් කෙටුම්පත අකුළා ගැනීම සිදු විය. කෙටුම්පතට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පවා විරෝධයන් එල්ල වූයේය. එහෙත් ඉතා පැහැදිලිව දකින්නට ලැබුණු දේ නම් එම විරෝධයන් හටගෙන තිබුණේ පනත් කෙටුම්පත් අධ්‍යයනය නොකර බවය. රනිල් වික්‍රමසිංහ සුපිරි ඇමැතිවරයකු වන්නේ යැයි බියට පත්ව මෙලෙස විරුද්ධ වූවා හැර වෙනත් කිසිදු සාධාරණ පදනමක් මේ තුළ වූයේ නැත. එහෙත් මෙරට සංවර්ධනය සම්බන්ධයෙන් මෙරට ඉතිහාසය තුළ ඉදිරිපත් වූ වඩාත් නිවැරැදි පියවර එම පනත ප්‍රකාරව අලුතෙන් පිහිටුවනු ලබන සංවර්ධන නියෝජිතායතනය ය. අද සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු විසඳා ගැනීමේ හැකියාව එම පනත සම්මත වූවා නම් වඩාත් පහසුවෙන් කළ හැකිව තිබිණි.

කුහකත්වය දෝරේ ගලයි

ව්‍යාපෘති සම්බන්ධයෙන් වන නෛතික ගැටලු, ඉඩම් හා රාජ්‍ය දේපළ සම්බන්ධ ගැටලු, රටට ලැබෙන ප්‍රතිලාභයන්, එම ගිවිසුම්, වංචා දූෂණ ආදී සියලු කරුණු කාරණා එක කාමරයක් තුළ සිට විසඳා ගැනීමේ අවස්ථාව මෙම පනත් කෙටුම්පත මඟින් උදාකර තිබිණි. මන්ද මෙමඟින් යෝජනා කර තිබුණේ මෙරට සංවර්ධනය සම්බන්ධයෙන් අධිකාරිත්වය උසුලන ආයතනයකි.  මෙරට යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යමෙකු තීරණය කරන්නේ නම් අඩුම තරමින් රාජ්‍ය ආයතන දහයකටවත් ගොස් ඊට අදාළ අනුමැතිය ලබාගත යුතුය. ඒ ඒ ආයතනයන් හි නිලධාරීන්ට අල්ලස් හෝ කප්පම් ලබා දීමකින් තොරව ඒ අනුමැතිය ලබා ගැනීමේ හැකියාවක් ද නැත. එමෙන්ම ඊට අදාළ ඇමතිවරුන්ට කොමිස් මුදල් ලබා දීම ද අනිවාර්යය. එසේම මෙම සියලු අවසරයන් ලබා ගැනීමට වසරක් දෙකක්වත් කල් ගත වීම ද සිදු වේ. මේ තත්ත්වය දේශීය ආයෝජකයාට මෙන්ම විදේශීය ආයෝජකයාටත් පොදුය. සංවර්ධන පනත මඟින් යෝජනා කළ නියෝජිතායතනය මේ සියල්ලටම විසඳුමක් ලෙස ඉදිරිපත් වූවකි. එහි තවත් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒ සකසා ගැනීම විය යුතුව තිබුණා විනා ඒ ප්‍රතික්ෂේප කිරීම මෙරට දේශපාලනයේ මජරකම කියා පාන තවත් එක් අවස්ථාවකි.

මෙරට ආයෝජනයට හිතකර නොවන බව අද ජාත්‍යන්තරව ඇති මතයයි. ඒ රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදය පදනම් කරගෙන වූවත් මෙරට ආයෝජනය සඳහා යම් ව්‍යාපාරිකයකු උත්සාහ කරන්නේ නම් ඊට බාධා කිරීම මඟින් වන්නේ ද ඉහත කී ජාත්‍යන්තර මතය තව තවත් තහවුරු කිරීමට ඉඩප්‍රස්තා උදා වීම පමණය. පවතින ආණ්ඩුව පෙරළා දමා බලය ලබා ගැනීමට, රටත් පුරවැසියාත් අනතුරේ හෙළා ඔවුන්ගේ අනාගතයට ඇති අවස්ථා අවුරා දමා රට තුළ වන පීඩනයේ වාසිය උදාකර ගැනීමට විපක්ෂ කොටස් දරන අවස්ථාවාදී උත්සාහය මේ වන විට ඉතා පැහැදිලිය.

දුර නොබැලීමේ විපාක

අප දන්න පරිදි මෙරට පවතින මජර දේශපාලනය නිසා විදේශ ආයෝජකයන්ගේ පැමිණීමට බාධාවක්ව පවතින අතරම මෙරට ව්‍යාපාරිකයන් පවා මෙරට අයෝජනය අතහැර විදේශ රාජ්‍යයන් හි ආයෝජනය සඳහා විශාල වශයෙන් මේ වන විට යොමුව සිටී. අවම වශයෙන් විදේශ ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා ලැබෙන සහනයන්ගෙන් අඩක්වත් තමන්ට ලබා දීමට රජය උත්සාහ නොකිරීම හා දේශපාලන අධිකාරියට, රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ගෙවීමට සිදු වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. මෙරට කාර්මික ආයෝජනය සඳහා යම් ව්‍යාපාරිකයකු ඉදිරිපත් වේ නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොමිලයේ ලබා දුන්නත් එහි ප්‍රතිලාභයක් මෙරටට අත්පත් කර ගැනීමේ හැකියාව පවතී. ව්‍යාපාරිකයා ඉඩම නැවත රැගෙන යන්නේ නැත. කර්මාන්තශාලාව නැවත රැගෙන යන්නේ නැත. ගෙන ආ තාක්ෂණය හෝ දැනුම නැවත රැගෙන යන්නේ නැත. එම කර්මාන්ත ශාලාව නිසා රටෙහි ඇති වන ආර්ථික ප්‍රගතිය නැවත නැවත වර්ධනය වීම වනවා හැර අයෝජකයාට ඒ නැවැත්විය නොහැකිය. යම් අවස්ථාවක කරන කැප කිරීම තවත් මොහොතක දී වඩා වාසිදායක ලාභයක් වීම සිදු වේ. ආණ්ඩුවක් සමත් විය යුත්තේ එම කැපකිරීම්වල ප්‍රතිඵලය වඩාත් වාසිදායක තත්ත්වයන් බවට හරවා ගැනීමටය.

එහෙත් මෙරට සංවර්ධනයෙහිලා ආයෝජකයන්ගේ මැදිහත් වීම ඉතා තීරණාත්මක සාධකය වුවත් ඒ ප්‍රශ්නය ජය ගැනීමට වත්මන් පාලකයන්ට මෙතෙක් හැකිව නොමැත. ඒ අදාළ කටයුත්ත සඳහා දැක්මක් නොමැතිකම නොවේ. එය නොදැක්කා සේ මඟහැර යාම  තමන්ගේ පංගුව වැඩි කර ගැනීමට අවැසි බව කල්පනා කරන්නන්ගෙන් දේශපාලන භූමිය පිරී පැවැතීමය.

- සුජය

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01