දේශපාලන සටහන: සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද?

දේශපාලන
Typography

සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු වන විට සිදු වන්නේ කට පිච්චෙන එකය. ලංකාවේ දේශපාලනයත් ඇතුළු පැත්තට පත්තු වන සුරුට්ටුවක් වැනිය. අන්තිමට සිදු වන්නේ කට පිච්චෙන එකද? සුරුට්ටුව ඇතුළු පැත්තට පත්තු වූ විට කට පිච්චෙන්නේ දුම්පානය කරන්නාගේය. දේශපාලන සුරුට්ටුව ඇතුළු පැත්තට පත්තු වන විට කට පිච්චෙන්නේ ජනතාවගේය. දේශපාලනඥයෝ නම් කොහොමටත් කට ළඟ ගිනි සිසිල තබාගෙන සිටිති. ජනතාවට ගිනි සිසිල නැත. වටේටම ඇත්තේ ගින්දරය.

මැයි දිනය හා 2020

මෙවර මැයි දිනය අවසන් වූයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල, දේශපාලන ව්‍යාපෘතිවල දිශානති පිළිබඳ ඕනෑවටත් වඩා ඉඟි සපයමිනි. කම්කරුවෝ නම් එදිනත් සුපුරුදු පරිදි පැරණි දුෂ්කර රාජකාරිවල නියැළුණහ. අපි මැයි රැලිවලට ගියා නම් හෙට කන්න වෙන්නෙ ගින්දර”. යමක් අහන්නටත් කලින් ඔවුහු එසේ කීහ. දේශපාලන පක්ෂ කරමින් සිටින්නේ මේ ගින්දරෙන් සුරුට්ටුව පත්තු කර ගැනීමය. කම්කරු දිනයේ දී කම්කරු ප්‍රශ්නවලට වඩා ඉදිරි මැතිවරණ සහ 2020 දේශපාලන ඉලක්ක වේදිකා මත පත්තු වෙන ආකාරය දක්නට ලැබුණි. මැයි දිනය තුළ ඇත්ත මැයි දින සංදර්ශනය දක්නට නොලැබුණි. එනම් සුරුට්ටුව පත්තු වෙමින් තිබෙන්නේ ඇතුළු පැත්තටය.

මේ වන විට 2020 ජනාධිපතිවරණය පිළිබඳ කාගේත් අවධානය යොමු වෙමින් තිබෙන බව පෙනේ. හැම මැයි දින සැමරුමක්ම ඉලක්කගතව තිබුණේ නිශ්චිත දේශපාලන ආස්ථානයකට සහ අරමුණකට බව පැහැදිලිව පෙනුණි. මේ සියල්ලට පෙර පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ දෙක පවත්වන්නට සිදු වෙයි. 2020 ඉලක්කයට එම මැතිවරණවල ප්‍රතිඵල පැහැදිලිවම බලපාන අතර සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම ඒ ගැන කිසියම් ආතතියකින් පෙළෙන බව ද පෙනේ. එම මැතිවරණ කෙසේ වෙතත් රට මේ යන ක්‍රමයට ගියහොත් එනම් ප්‍රශ්නවලට නිසි පිළිතුරු රහිතව ඉදිරියට ගියහොත් 2020 ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකයකුට ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%කුත් එක් ඡන්දයක් ලබා ගැනීම ඒ සා පහසු විය නොහැකිය. ඇත්තටම එවැනි ප්‍රශ්නයක් උදා වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ තිබෙන නායකයන් දේශපාලන වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග තුළය.

ගෝඨාභය එයිද?

මීළඟ ජනාධිපතිවරණයට මහින්ද පාර්ශ්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බව ශ්‍රීලනිප ඇතැම්හු කියති. සැබැවින්ම ඔහු එම පිලේ ආකර්ෂණීය නායකයෙකි. එහෙත් ඔහු පිළිබඳව සමාජයේ ඇති හඳුනාගැනීම තරමක් රෞද්‍ර එකකි. 19 වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂට තෙවරක් ජනාධිපති ධුරය සඳහා තරග කළ නොහැකි බැවින් ගෝඨාභය මහින්ද පාර්ශ්වයේ ජනප්‍රිය තේරීමක් විය හැකිය. තවමත් මෙම කණ්ඩායමේ නායකයා මහින්ද රාජපක්ෂ වන බැවින් ඉහත නිශ්චිත ප්‍රශ්නයේ දී තම සගයන්ට ඔහු කවර බලපෑමක් කරයිද යන්න කිව නොහැකිය. ඒ තෙවරක් ජනපතිකම් කර අනතුරුව ඔහුට තවත් ඒ සම්බන්ධ නොසිඳෙන අනාගත බලාපොරොත්තු තිබුණු නිසාය. ඔහු තුළ එම අතිශය පෞද්ගලික සිතුවිල්ල තවදුරටත් බලපවත්වන්නේ නම් ගෝඨාභයගේ ආගමනයක් සිද්ධ වන්නට විදියක් නැත. අනෙක් අතට මේ මොහොතේ දී පවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යනාදී පක්ෂ ගොඩනඟාගෙන දඟලන දැඟලිල්ල දෙස බලන විට ජනපතිවරණයට තෙවරක් ඉදිරිපත් විය නොහැකි නිසා මහින්දගේ වර්තමාන මහන්සියට අර්ථයක් ඇතැයි සිතිය නොහැකිය. කෙතරම් ජාතිවාදයට ආමන්ත්‍රණය කළත් දිනේෂ් ඇතුළු තවත් පිරිස් ජනයා අතර ජනප්‍රිය නායකයෝ ලෙසට භෞතීෂ්ම කර ගැනීමට ද මහින්ද පිලට නොහැකිය. මහින්ද අද දරන මහන්සියට කිසියම් අර්ථයක් ලැබෙන්නේ තම පිලෙන් ශක්තිමත් නායකයකු ක්‍රමයෙන් ගොඩනඟන ස්ථාවරයකට ඔවුන් ළඟා වන්නේ නම් පමණි.

ආණ්ඩුවේ තත්ත්වය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන්න නොගිණිය යුතු මට්ටමකට පත් කරන්නට වත්මන් සහයෝගිතා ආණ්ඩුවට හැකියාව තිබුණි. ඒ සහයෝගිතා ආණ්ඩුව ඇත්තටම සහයෝගිතා ආණ්ඩුවක් බවට පත්ව තිබුණා නම්ය. යහපාලන ආණ්ඩුව තුළ ඇත්ත සහයෝගිතාවක් තිබේද යන ප්‍රශ්නය කෙසේ විග්‍රහ කරගත හැකිද? ඒ ගැන සිහි කිරීමේ දී Pennsylvania Gazette  පත්‍රයට බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් විසින් අඳින ලද Join or die කාටූනය සිහි වෙයි. එය පසුව කාටූනයක් බවට පත් වූවත් එකමුතු මඟක් ගත යුතු ඇමරිකානු නිදහස් සටන දැක්වෙන චිත්‍රයකි. ඇමරිකාවේ සියලුම ප්‍රාන්ත එකට එක්ව නිදහස පතා අරගල කළ යුතු බව ඉන් අදහස් කෙරුණු අතර මෙම කාටූනය ලොව එතෙක් මෙතෙක් බිහි වුණු සුවිශේෂී කාටූන් අතර කිසියම් අග්‍රස්ථානයක තිබෙයි. යහපාලන ආණ්ඩුවේ ගමන් මඟ ගැනත් කිව යුත්තේ Join or die කියාය. එසේ කීමට සිදු වන්නේ ඉදිරියට යා නොහැකි ප්‍රතිවිරෝධතාවක් රජය තුළම එකිනෙකා තුළ මතු වී තිබෙනායුරු දැක්ක හැකි නිසාය.

සහයෝගිතා දෙකකුල්

සහයෝගිතා ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිපයෙන්ම දේශපාලන ජන්මලාභය ලැබූ සමහරුන්ට අවශ්‍ය ජනපතිවරයා සහයෝගිතා ආණ්ඩුවෙන් මුදවාගෙන තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමය. එවැනි අරමුණක් ශ්‍රීලනිපය පැත්තෙන් නිවැරැදි විය හැකිය. ඒ පක්ෂ අර්ථයෙනි. අනෙක් අතට ශ්‍රීලනිපයෙන් මිදී තනි පක්ෂයක් ලෙස බලයට පැමිණීමට යත්න දැරීම එජාපය පැත්තෙනුත් සාධනීය ආකල්පයක් විය හැකිය. ඒ පක්ෂ අර්ථයෙනි. එහෙත් මෙම බෙදීම දේශපාලනමය අර්ථයෙන් ද්වි පාර්ශ්වයම පටු මාවතකට ප්‍රවිශ්ට කරවන්නකි. යහපාලන දේශපාලන සන්දර්භය පුළුල් වන්නේ දේශපාලන විසංවාදය සමඟ අනාගතයට ගමනක් යාමෙනි. ඉකුත් මැයි දිනය නිදසුනකට ගතහොත් තම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතීන්හි ස්කන්ධයත් පරිමාවත් එකිනෙකට පෙන්වීමට ප්‍රධාන පක්ෂවලට වුවමනා විය. එජනිසය ගැටඹේ ගියේ හා එජාපය කැම්බල් ගියේ ඒ අනුවය. මේ පක්ෂ දෙකේම මේ මොහොතේ දේශපාලන අන්තර්ගතය මුළුමනින් දූෂණය වී නැත. දූෂණය වී ඇත්තේ ඇතැම් මැදිහත්වීම් හා ඇතැම් පුද්ගලයන්ය. එබැවින් වත්මන් රජය තවදුරටත් පවතින්නේ අඩුපාඩු සකසාගෙන ඉදිරියට යා හැකි මට්ටමකය. ඒ සඳහා ප්‍රධාන පක්ෂ දෙක මහජනයාගෙන් විතැන් නොවී මහජනයා වෙතට නැඹුරු වීම වැදගත්ය.

ජාතිවාදයට උඩගෙඩි දීම

මෙවර මැයි දිනයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගෝල්ෆේස් පිටියට සැලකිය යුතු පිරිසක් කැඳවා ගන්නට සමත් වූ බව පෙනුණි. කොපමණ පිරිසක් එහි ආවත් මතු වන බරපතළම ප්‍රශ්නය වන්නේ රාජපක්ෂ මහතා ප්‍රමුඛව දේශපාලන ව්‍යාපෘතිය ජාතිවාදයේ කෙළවරටම ආමන්ත්‍රණය කරමින් හිස් ඔළු ගෙඩි පමණක් ගෝල්ෆේස් පිටියට එකතු කිරීම හැර අන් ඵලදායක දේශපාලන වැඩසටහනකට පිළිපන්ව නොසිටීමය.  එල්.ටී.ටී.ඊ.ය මැඬ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් ආණ්ඩුව ගෙදර යැවීමඔවුන්ට තවමත් විමතියට කරුණක් වී ඇත. මිලිටරිමය ජයග්‍රහණය ලබා ගැනීමෙන් පසු කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරන මායිමෙන් එහාට රාජපක්ෂලා වසර අටකට පසුවවත් ගොස් නැත. තවමත් ඔවුන් වෙතින් ප්‍රකාශ වන්නේ යුද ජයග්‍රහණයේ අභිවාදනයම පමණි. ඔවුන් රට ජාතිවාදයේ පතුලටම කැඳවාගෙන ගියහ. ආගම්වාදයේ පතුලටම කැඳවාගෙන ගියහ. දර්ගා නගරයේ දියත් කළ සාහසික මර්දන වැඩසටහන ඊට සාක්ෂි සපයයි. එල්.ටී.ටී.ඊ.ය පරාජය කළාට පසු රටේ නායකයන් නොදරුවන් සේ ක්‍රියා කළා විනා එම රජය යුද්ධයට තුඩු දුන් ජාතික ප්‍රශ්නය විසඳීමේ අභිලාෂය පෙරදැරිව ක්‍රියා කළේ නැත.

ඒ සඳහා තිබුණු සූදානම් විරහිත බව වසර 8කට පසු මැයි දිනයේදීත් ඔවුන් පෙන්නුවේය. රාජපක්ෂ වටා සිටින පටු ආකල්ප සහිත නායකයෝ තවදුරටත් ජාතිවාදයම වපුරවති. ඔවුන්ට ජනතාව හමුවේ ජාතියේ අනතුරු මවා පෙන්වනවා හැර වෙන කීමට දෙයක් නැත.

ළඟ නවන්න බැලීම

රාජපක්ෂ ජනපතිවරණයෙන් පැරදී තවම ගෙවුණේ වසර දෙකකුත් මාස හතරකි. ඒ සා ඉක්මනින් යළි බලය ඉල්ලන පරාජිත නායකයකු මීට පෙර ලංකාවේ දී නම් දක්නට නොලැබුණි. අනෙක් අතට ලංකාව තුළ ආණ්ඩුවත් නරක් වී ගුල්ලෝ ගසා ජනයාට එපා වන්නට  වසර දහයකවත් රාජ්‍ය පාලන කාලයක් ගත විය යුතුය. ඒ අනුව බැලුවත් යහපාලන රජය ගෙවා ඇත්තේ ඉතාම කෙටි පාලන කාලයකි. ඒ ළදරු කාලය තුළ යහපාලන ආණ්ඩුව වැරැදි කර ඇතත් ඒවා ආණ්ඩුව ගෙදර යවන මට්ටමේ ඒවා නොවේ. එහෙත් ළදරු අවධියේ සිදු වී ඇති වැරැදි නොසලකා හැරිය යුතු යැයි ද ඉන් අදහස් නොවේ. කොහොමත් ආණ්ඩුව ගෙදර යවන්නට ආණ්ඩුව පත් කළ ජනයා තවම තීරණය කර නැත. රාජපක්ෂ මහතා මැයි දිනයේ දී පෙන්නුවේ ඔහු  සතු සිංහල බලයයි. සිංහල බලයෙන් පමණක් (සිංහල ඡන්දවලින්) ජනපතිවරණයක් හෝ මහ මැතිවරණයක් වැනි ප්‍රධාන මැතිවරණයක් ජයගත නොහැකිය. ඒ සඳහා නිසැකවම දෙමළ, මුස්ලිම් ජන සහභාගිත්වය අත්‍යවශ්‍යය. රාජපක්ෂලා සිතුවේ සුළු ජාතීන් මැඬ ගොඩනඟන ඇස් නිලංකාර කරවන සිංහල ජාතිවාදයෙන් පමණක් සදා වැජඹිය හැකි බවය. එය වැරැදි ගණන් බැලීමක් බව ඉකුත් ජනපතිවරණයේ දී ඔප්පු වූයේය. තවදුරටත් තත්ත්වය එසේමය. මුළුමනින්  ජාතිවාදී නොවන සිංහල ප්‍රජාවක් ජාතික සමඟියෙහි හා ආර්ථික උන්නතියෙහි නොසැලෙන කොටස්කරුවන් වී සිටින බව මෙරට ජාතිවාදී ධාරාව ප්‍රත්‍යක්ෂ කර ගත යුතුය.

ආණ්ඩුව ප්‍රමාදද?

රාජිත මැයි දින වේදිකාවේ දී කීවේ රාජපක්ෂ සමයේ හොරුන්ට නිසි දඬුවම් කරන බවය. වැරැදිකරුවන්ට ඇත්තටම දඬුවම් දෙන ක්‍රමයක් තිබුණා නම් සිරගතව සිටින අයට ගෝල්ෆේස් පිටියේ මහ රැලියක් කරන්නට අවකාශය ලැබෙන්නේ නැත. කෝටි ගණන් වැය කර ඉදිකළ මාළිගා බඳු ගෙවල් දොරවල් එක් විටම මගේ නෙමෙයි කියන තැන බිංදුවේ ඉඳන් පරීක්ෂා කළ යුතුව තිබිණි. එවිට පොහොට්ටුවේ මැයි දින පිටිය තිබෙනු ඇත්තේ ලක්ෂයේ නොව බිංදුවේය.

දැන් ටිකක් ප්‍රමාදය. එහෙත් උනන්දුව ඇත්නම් යම් ඵලදායක දෙයක් කළ නොහැකි නොවේ. මැයි දිනය දා කැම්බල් පිටියේ දී මෙරට නායකයන් කතා කළේ වගකීම්සහගතව යැයි අපි සිතමු. මැයි දිනය දා ගැටඹේ දී මෙරට නායකයන් කතා කළේ වගකීමෙන් යැයි අපි සිතමු. ඒවායේ හරස් අරමුණක් නොතිබේ නම් 2015 ජනවාරි 8 මහජන බලාපොරොත්තු දල්වා තබන තත්ත්වයකට මේ දෙපාර්ශ්වය දැන්වත් ප්‍රවිශ්ට විය යුතුය. සුරුට්ටුව ඇතුළු පැත්තට පත්තු වී කට පුච්චා ගැනීමෙන් ලංකා සමාජය බේරා ගැනීමට එම අවධාරණය ඉවහල් වන බවත් කිවයුතු වෙයි.

විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

විශේෂාංග

මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) 2017-05-25 - තුල්හිරිය කම්හලේ සේවය අහිමි වෙලා, වසර විසි හයක්...
අටවැනි මැයි දහ අට අටවැනි මැයි දහ අට 2017-05-23 - සමීප රූපය යුද්ධයක දී මුලින්ම මරාදමනුයේ සත්‍...

කතුවැකිය

කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න 2017-05-22 - යුද්ධයේ අවසානය දැක ඇත්තේ මළවුන් පමණි යනුවෙන්...
කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය 2017-05-15 - මිනිසකු බිත්තියට හේත්තු කිරීම භයානක ක්‍රිය...
කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන 2017-05-08 - ඉදිරි කාලය තුළ වැඩවර්ජන රැල්ලක් ඒමට නියමිත බව...

දේශපාලන

කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි? කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි? 2017-05-22 - සිදු වෙනවා යැයි කියන කැබිනට් සංශෝධනය ‘බාලගිරි...
මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද? මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද? 2017-05-15 - අමතකවීම සාමාන්‍ය දෙයක් වුවත් රාජ්‍ය තාන්ත්...
දේශපාලන සටහන: සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද? දේශපාලන සටහන: සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද? 2017-05-08 - සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු වන විට සිදු වන්නේ...
ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? 2017-05-03 - ලංකාව මුහුණ පා සිටින ණය උගුලෙන් ගොඩ ඒමට නම් වසරකට...

Face Book Setup 01