මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද?

දේශපාලන
Typography

අමතකවීම සාමාන්‍ය දෙයක් වුවත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති හා පොරොන්දු අමතක කිරීම බරපතළ තත්ත්වයකි. ලංකාව පහසුවෙන් අමතක කරමින් සිටින එක් වැදගත් පොරොන්දුවක් වන්නේ ජිනීවා යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමය. පසුගිය පෙබරවාරි 27 වනදා ඇරඹුණු අවසන් ජිනීවා සමුළුවේදී විදේශ ඇමැතිවරයා කීවේ සත්‍ය කොමිසමක් සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලය ඇරඹීමට අනලස්ව කටයුතු කරන බවය. ඒ සඳහා ඔහු තවත් වසරක කාලයක් ඉල්ලා ගත්තේය. එහෙත් සමුළුව අවසන් වීමෙන් පසු එම පොරොන්දු ගැන වගකිව යුතු කිසිවකුටවත් වගේ වගක් නැත. මෙය හුදෙක් විදේශ ඇමැතිවරයාගේ වරදක් නොවේ. ලංකාව රටක් හැටියට දකින කාරණය පිළිබඳ ක්‍රමවේදයකට නොපිළිවන්ව සිටීමේ ප්‍රශ්නයකි.

ලිහිල් ප්‍රතිපත්තියක්

මහින්ද රාජපක්ෂ රජයේ අවසාන කාලය වන විට ලංකාව අන්තර්ජාතිකව පසුවූයේ මුළුමනින්ම හිර වූ තත්ත්වයකය. එනම් ලංකාව අවසන් යුද්ධයේදී ක්‍රියා කර තිබුණු ආකාරය ගැන බරපතළ විවාදයක් තිබිණි. රාජපක්ෂ රජය ඊට මානුෂික මෙහෙයුම නම් වූ අතිශයින්ම ව්‍යාජ නාමය භාවිත කළත් ඒ මඟින් යුද්ධයේ දී සිදු වූ අපරාධකාරී ක්‍රියා වසන් කළ නොහැකිය. ලංකාවේ හමුදාව කළා යැයි කියන යුද අපරාධ ගැන මාතෘකාවට සමාන්තරව ගත් කළ දැඩි ලෙස සිංහලෝත්තම අදහස් දරන අය කියන දෙයක් වන්නේ එල්ටීටීඊය ඊටත් වඩා අපරාධ කළා යන්නය. එසේ විය හැකිය. එල්.ටී.ටී.ඊ.ය යනු ජාතියක අයිතීන් ලබා ගැනීම සඳහා ත්‍රස්තවාදී යුද්ධයක් අත්හදා බැලූ පිරිසකි. එබැවින් ඔවුන් ඕනෑම ආකාරයක අපරාධකාරී ක්‍රියාවකට පෙලඹෙන්නට පුළුවන. එහෙත් ලංකාවේ හමුදාවට එකට එක කිරීමට අයිතියක් නැත. ඔවුන් විධිමත් හමුදාවකි. හමුදා විනයට යටත් හමුදාවකි. එබැවින් යුද කරනවා විනා යුද්ධය තුළ අපරාධ කරන්නට රජයේ හමුදාවකට  අයිතියක් තිබිය නොහැකිය. කොටින්ම ඇසට ඇසක් හඹාගොස් කටයුතු කිරීමට රටක හමුදාවකට අයිතියක් නැත. එසේ කර තිබෙනවා නම් ඒ ගැන පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. තරාතිරම නොබලා වැරැදිකරුවන්ට දඬුවම් කළ යුතුය. සැබැවින්ම ලංකාව එම ආරවුලේ බරපතළ ලෙස සිරවී සිටියත් රට තරමක් සැනසුම් සුසුම් හෙළුයේ 2005 ජනවාරි 8 සිදු වූ දේශපාලන වෙනසත් සමඟය. ඒ වෙනස නිසැකවම තවම ලංකාවේ තත්ත්වය ලොකු වෙනසකට බඳුන් කරන්නට පාර කැපූ අතර ජිනීවා මානව හිමිකම් සැසියේ දී පවා ලංකාව ගැන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මේ නව තත්ත්වයට හැකි වූයේය.

ජාතිවාදය වෙනුවට සංහිඳියාව

2015 ජනවාරි පෙරළියට දායක වී සිටි අය ජාතිවාදීහු නොවූහ. ජනපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් පටන් ගත් විට එම සන්ධානයට සහාය පළ කළ බොහෝ පක්ෂ හා නායකයන්, නිදසුන් ලෙස මනෝගනේෂන්, වික්‍රමබාහු කරුණාරත්න වැනි අය තම දේශපාලන භාවිතාවන් ජාතීන් අතර සමඟියත් පීඩිත ජාතීන්ට කිසියම් සාධාරණයක් ඉටු කළ යුතුය යන මතයේත් පසුවූහ. ලංකාව කෙරෙහි අන්තර්ජාතික ඇස යොමු කරවීමට මේ කරුණු මූලික වශයෙන් බලපෑ අතර අනතුරුව ජනපතිවරයා, අගමැතිවරයා මෙන්ම විදේශ ඇමැතිවරයා ලංකාවේ තත්ත්වය ගැන අන්තර්ජාතිකව කරුණු කීමට හා මිත්‍රත්වය වගා දිගා කර ගැනීමට මහත් වෙහෙසක් ගත්හ. ලංකාව ගැන බරපතළ විනිශ්චයකට නොයා නිර්දේශයන් කිහිපයක් ක්‍රියාත්මක කරවා ගැනීමෙන් ලංකාව පිළිබඳ විශ්වාසනීයත්වය රඳවා ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමිසම ක්‍රියා කළේ මේ පසුබිම තුළය.

නිර්දේශයන්

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ යන රටවල් ලංකාව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා මාලාවේ සාක්ෂිකරුවන් වූ අතර ඇමෙරිකාව බ්‍රිතාන්‍යය වැනි රටවල් ලංකාව සමඟ පෙර පැවැති විරසකය දුරුකොට වඩා ලිහිල්ව හා මිත්‍රශීලීව ලංකාව සම්බන්ධයෙන් මෙම තීරණය ගත් බව පෙණුණි. ඒ ලිහිල් බව ආරක්ෂා කර ගැනීමට නම් ලංකාව එම විෂය තුළ අවංකව ක්‍රියා කළ යුතු තත්ත්වයක්ද ඒ සමඟම නිර්මාණය කෙරිණි. අවසන් යුද්ධයේ දී ලංකාවේ හමුදාව යුද අපරාධ කළේ නම් ඒ ගැන විමර්ශනයට හයිබ්‍රිඞ් අධිකරණයක් පිහිටුවීම, සත්‍ය කොමිසමක් පිහිටුවා යුද සමයේ සිදු වු දේවල්වල ඇත්ත නැත්ත සොයා බැලීම, අතුරුදන් වූවන් පිළිබඳ වැඩ කරන කාර්යාලයක් පිහිටුවා ඒ ගැන ක්‍රියා කිරීම වැනි වැදගත් යෝජනා රැසක් මෙම නිර්දේශයන් අතර විය. මෙම යෝජනා ලංකාවේ රජය පිළිගත්තේය. ඒවා ඉටු කරන්නට කාලය ඉල්ලුවේය. ඊට අමතරව වැදගත්ම යෝජනාව වූයේ යුද්ධයට තුඩු දුන් ඇත්ත හේතු සොයා බලා ජාතීන් අතර සමඟිය හා සහජීවනය ආරක්ෂා කෙරෙන පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදීමය. ඒ සඳහා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කෙරිණි.

අපේ වග වීම

නිර්දේශ ඉදිරිපත් වී වසර එකහමාරකට වැඩි කාලයක් ගතව තිබේ. නිර්දේශ ගැන අපගේ වගවීම කෙබඳුද! යන්න දැන් විමසා බැලීමට කාලය පැමිණ තිබේ. හරි හතරැස් කොටුවක් තුළ ලංකාවේ රජය වැඩ කර නැතත් ජාතීන් අතර සංහිඳියාවට අදාළ වැදගත් පියවරක් තබන්නට නව රජයට හැකි වී තිබේ. රාජපක්ෂ රජය සමයේ ජාතීන් අතර පැවැති ආරෝව සංසිඳී තිබීමම මෙරට සංහිඳියාව පැත්තෙන් වැදගත් කාරණයකි. වත්මන් ආණ්ඩුව පිහිටුවීම පිළිබඳව දෙමළ - මුස්ලිම් ප්‍රජාව පූර්ණ එකඟතාව පළ කළහ. ජනගහනයට සාපේක්ෂව ප්‍රතිශතයක් වශයෙන් බලන විට යහපාලන ආණ්ඩුව සිංහල ජනයාගේ විශ්වාසයටත් වඩා දෙමළ හා මුස්ලිම් ජනයාගේ විශ්වාය දිනාගත් බවක් පෙනුණි. දෙමළ, මුස්ලිම් ජනයා ආණ්ඩුවට සහයෝගය දුන්නේ කිසිදු කොන්දේසියක් උඩ නොවේ. ඒ තත්ත්වය සලකා බලා ඔවුන්ගේ  අපේක්ෂා ඉටු කිරීම ආණ්ඩුව තම න්‍යාය පත්‍රයේ උඩම තබා ගත යුතුය. යුද්ධය නිසා සිංහල ජනයාටත් වඩා වැඩිම හානි සිදු වූයේ දෙමළ - මුස්ලිම් ප්‍රජාවටය. එබැවින් පළමුව ඔවුන්ගේ ප්‍රශ්න ගැන උනන්දු වීම මහජාතියේ යුතුකමක් ද වෙයි.

යෝජනා

ජිනීවා යෝජනා එකක්වත් ලංකාණ්ඩුව ක්‍රියාත්මක නොකළත් මේ වන විට ජාතීන් දෙකක් අතර පැවැති අනවරත ගහමරා ගැනීම සපුරා නතර කර ගැනීමට දැරූ තැත පිළිබඳ ගෞරවය යහපාලන ආණ්ඩුවට ලබා දිය යුතුය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය හැකි සෑම අවස්ථාවකම සංහිඳියාව පිළිබඳ අදහස පෙරදැරිව ක්‍රියා කළ බව දක්නට ලැබිණි. එම පක්ෂය නායක ආර්. සම්බන්දන් මහතා විපක්ෂ නායක ධුරයට පත්වෙමින් මැදහත් ජනනායකයකු ලෙස ක්‍රියා කිරීමත් සිංහල ජනයා තුළ දෙමළ සමාජය හා දේශපාලනඥයන් කෙරෙහි ධනාත්මක ආකල්පයක් ඇති කිරීමට හේතු වූයේය. මෙම සුහදතාවයෙන් පමණක් ප්‍රශ්න විසඳිය හැකිය යන්න අදහස් නොකෙරෙන අතර සංහිඳියාව යන්න තිරසාර එකක් බවට පත් කිරීම කෙරෙහි රජය මෙතැන් සිට උනන්දු විය යුතුය. ඉකුත් ජිනීවා සැසියේ දී ඒ සඳහා තවදුරටත් කාලය ලැබුණි.

මෙතැන් සිට ඉදිරියට

මෙතැන් සිට ඉදිරියට ලංකාවේ රජය ක්‍රියා කළ යුත්තේ කෙසේද? ඔවුන් වහාම සත්‍ය කොමිසම පිහිටු වීමට කටයුතු කළ යුතුය. වෙනත් නානාවිධ ප්‍රශ්න  නිසා එය අමතක කර නොදැමිය යුතුය. සත්‍ය කොමිසමේ ක්‍රියාකාරිත්වය සාර්ථක කර ගැනීම පිණිස වර්තමානයේ ගොඩනැගී ඇති ජාතීන් අතර ආවේණික සංහිඳියාව පදනමක් කර ගත හැකිය. එමෙන්ම අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ඉෂ්ට නොකළ හැකි කොන්දේසියක් නොවේ. ඒ සඳහා ජනපතිගේ අනුමැතිය අවශ්‍ය වන අතර අප්‍රිකාව සත්‍ය කොමිසම ආරම්භ කර අතුරුදන් වූවන්, අගතියට පත් වූවන්, වධබන්ධනයට ලක් වූවන් සම්බන්ධයෙන්  මැන්ඩෙලා රජය ක්‍රියා කළ ආකාරය මෙහිදී ලංකාවේ ජනාධිපතිවරයාට ආදේශයට ගත හැකිය. මේ වන විට ජාතීන් අතර ප්‍රශ්නය ව්‍යවහාරික තලයේ දී කිසියම් ප්‍රමාණයකට සමනය වී ඇති නිසා ඉහත කටයුතු ජාතීන්ගේ සහයෝගිතාවෙන් ඉටු කර ගැනීමට ද ලංකාණ්ඩුවට අවස්ථාව තිබේ. රජය මේ ක්‍රියාවලියේ මූලික පදනම සකස් කර ගැනීම වෙනුවෙන් පත් කළ සංහිඳියා කාර්ය සාධක බලකාය මඟහැර යා නොහැකි කරුණු ඇතුළත් වාර්තාවක් නිකුත් කර තිබෙන අතර ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව ඔවුන් අනුමත කර තිබේ.

හයිබ්‍රිඞ් අධිකරණය

දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් වූයේ ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීම සඳහාය. මෙම යෝජනාවෙහි සාධනීය පැති ගණනාවක් තිබුණත් ලංකාව තුළ එය බරපතළ ලෙස විවේචනයට බඳුන් වීම ඉකුත් වසර එකහමාර තුළම නොඅඩුව සිදුවන්නකි. කවර ආණ්ඩුවක් රට පාලනය කළත් යම් කිසි වරදක් පිළිබඳව චෝදනාවක් එල්ල වන විට එහි අපකීර්තිය  අත්වන්නේ රටටය. සමස්ත පුරවැසි සමාජයටය. එබැවින් රාජපක්ෂ රජයෙන් වුවත් වෙන කාගෙන් වුවත් සිදු වී ඇත්තේ වරදක් නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම යුක්තිගරුක මානව සමාජය පිළිගන්නා පවර සත්‍යයයි. හයිබ්‍රිඞ් අධිකරණය වැදගත් වන්නේ ඒ අර්ථයෙන් මිස රටෙහි ස්වාධීනත්වයට එය හානියක්ය යන අර්ථයෙන් නොවේ. රටේ ස්වාධීනත්වයට, ගෞරවයට කැළලක් වන්නේ අපගෙන් සිදු වූ වරදක් පිළිබඳව අපම තීන්දුවක් ගැනීමට තැන් කිරීමේදීය. අපක්ෂපාතී බව රැකිය හැක්කේ ජාත්‍යන්තර මිනිසුන් මෙන්ම ලංකාවෙන් ද එම ක්‍රියාවලියට දායක කරගත හැකි ප්‍රමුඛතම නීති වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් විනිසුරුවන් සහභාගි වන බුද්ධි මණ්ඩලයකින්ය යන්න පිළිගත හැකි සත්‍යයකි. එවැනි වැදගත් අධිකරණයක් වෙනුවට දේශීය යාන්ත්‍රණයකින් අගතියට පත්වූවන්ට සාධාරණය ඉටු කළ යුතුය යන මතයද සමාජය තුළ ඉස්මත්තට පැමිණ තිබේ. ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් ලංකාවටත් ක්‍රියාත්මක කළ හැකිය. ඒ සඳහා ගැළපෙන විනිසුරන් මෙරට සිටින්නට ද පුළුවන. එහෙත් අන්තර්ජාතිකව අවධානයට ලක් වූ මෙවැනි සිද්ධියක දී වඩා ගැළපෙන්නේ මධ්‍යස්ථ අධිකරණයකි. ලංකාවෙන් බැහැර කීර්තිමත් නීති විෂය පිළිබඳ විද්වතුන් ලංකාවේ විනිසුරන් සමඟ එකට අසුන්ගෙන මේ ප්‍රශ්නයට අතගැසීම අසිරිමත් ක්‍රියාවක් වනු ඇත. එමෙන්ම  යුද අපරාධ චෝදනාව යනු සංකීර්ණ කාරණයක් නිසා ඒ ගැන කරන විනිශ්චයකට අදාළ විනිශ්චය සභාවකට මැදහත් බව අත්‍යවශ්‍යය. අපක්ෂපාතී ලක්ෂණය අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරව තිබීම තුළ ක්‍රියාවලියට ලැබෙන පිළිගැනීම ද ඉහළ වටිනාකමකින් යුක්ත වනු  ඇත. හයිබ්‍රිඞ් අධිකරණය ගැන අපගේ අවධානය යොමු විය යුත්තේ ඒ අර්ථයෙනි.

ඉදිරි වර්ෂය

ඉදිරි වර්ෂයේ දී ලංකාවට ලොකු වැඩ කොටසක් කිරීමට සිදුව තිබේ. එහි පළමු වැන්න අන්තර්ජාතිකව ගොඩනගා ගත් විශ්වාසය තවදුරටත් රැක ගැනීමය. දෙවැන්න ඉහත යෝජනා පිළිබඳව අප රටක් ලෙස සාධනීයව සිතන හා ක්‍රියා කරන බව අන්තර්ජාතික ප්‍රජාව තුළ තහවුරු කිරීමය. තෙවැන්න මෙම සමස්ත ක්‍රියාවලිය සංකීර්ණ නිසා ඒ සඳහා උචිත කාල රාමුවක් සකසා ගැනීමය. විශ්වාසය රැක ගැනීමක්, සිතන හා ක්‍රියා කරන ආකාරයත්, කාල රාමුවත් යන ත්‍රිත්වය ජයගැනීමට  ලංකාණ්ඩුව සමත්වේ නම් රටෙහි ස්ථාවර සංහිඳියාවක් ඇති කිරීම පැත්තෙන් එය යහපත් තත්ත්වයක් උදාකරන්නක් බව කිව යුතු වෙයි.

විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

ලොක්කො බලය ඇති කාලෙත් යාළුවො නැති කාලෙත් යාළුවො ලොක්කො බලය ඇති කාලෙත් යාළුවො නැති කාලෙත් යාළුවො 2017-06-26 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් - කෘෂිකර්ම අමා...
විප්ලවේට මාර්ග සිතියමක් මට නැහැ - සිරිතුංග ජයසූරිය විප්ලවේට මාර්ග සිතියමක් මට නැහැ -  සිරිතුංග ජයසූරිය 2017-06-12 - එක්සත් සමාජවාදී පක්ෂයේ නායක  ■ මේ  මොහොතේ ...

විශේෂාංග

රටක් වට කළ රෙදි පටක්! හොටක් දිගු කළ ‘අධිකරණයක්’ ! රටක් වට කළ රෙදි පටක්! හොටක් දිගු කළ ‘අධිකරණයක්’ ! 2017-06-26 - මේකට සංවිධානයක් කියා නමක් තිබ්බේ විහිළුවට වගේ...
රටට හිඟන්නාගේ ජීවිතේ ගතකළ නොහැක රටට හිඟන්නාගේ ජීවිතේ ගතකළ නොහැක 2017-06-19 - කැබිනට් සංශෝධන යටතේ තනතුරු වෙනස් වූ ඇමැතිවරුන්ට...
තේ කෝප්පයට සීනි කිලෝ එකක් ! තේ කෝප්පයට සීනි කිලෝ එකක් ! 2017-06-12 - ලෝක වෙළඳ පොළේ සීනි මිල සීඝ්‍රයෙන්  අඩු වී ඇති...

කතුවැකිය

ඥානසාර හිමියනි, වඩා වැදගත් වෛරයද ? මෛත්‍රියද? - කතුවැකිය 2017 ජුනි 25 ඥානසාර හිමියනි, වඩා වැදගත් වෛරයද ? මෛත්‍රියද? - කතුවැකිය 2017 ජුනි 25 2017-06-26 - පොලිස් කණ්ඩායම් හතරක් විසින් සති දෙක තුනක් ත...
ඩෙංගු මැඬීමට සාමාජීය අරමුණකට බද්ධ වෙමු ඩෙංගු මැඬීමට සාමාජීය අරමුණකට බද්ධ වෙමු 2017-06-19 - ඩෙංගු පසු සංකූලතා තත්ත්වය උත්සන්න වී ඉකුත් සතියේ...
කඳු නාය ගියේ සාමාන්‍ය ජනයාගේ වරදකින් නොවේ: කතුවැකිය - 2017 ජුනි 11 කඳු නාය ගියේ සාමාන්‍ය ජනයාගේ වරදකින් නොවේ: කතුවැකිය - 2017 ජුනි 11 2017-06-12 - ගංවතුර බැසයාමෙන් පසුව ජනපතිවරයා කළුතර ප්‍ර...

දේශපාලන

ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? 2017-06-26 - 2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ...
ගෝඨාභයට වචනයක් ගෝඨාභයට වචනයක් 2017-06-12 - “මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ...
“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම “සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම 2017-06-05 - රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍ර...
සන්නද්ධ ගැටුමට පසු දේශපාලනය සන්නද්ධ ගැටුමට පසු දේශපාලනය 2017-05-29 - 2009 වර්ෂයේ එල්ටීටීඊ සංවිධානයේ යුදමය පරාජයට පසු...

Face Book Setup 01