“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම

දේශපාලන
Typography

රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍රශ්නය කුමක්දැයි ඇසුවහොත් සයිටම් යැයි උත්තර ලබා දිය හැකිය. අද වන විට සයිටම් ප්‍රශ්නය ඒ තරමට සමස්ත රටටම පීඩාවක් ගෙන දෙන්නක් බවට පත්ව ඇත. මෙය වත්මන් ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් නොවේ. සයිටම් ඇති වූයේ ඉකුත් ආණ්ඩුව සමයේදීය. එහෙත් ප්‍රශ්නය ඔඩු දුවන්නට ගත්තේ වත්මන් ආණ්ඩුව කාලයේදීය.

සයිටම් නිසා හැම දවසකම වෛද්‍යවරුන් වැඩ වරන තත්ත්වයක් උදා වේ නම් විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණ කරන තත්ත්වයක් උදා වේ නම් මේ ප්‍රශ්නය ඉක්මනින් බේරුමක් කර ගැනීමට අදාළ පාර්ශ්ව පියවර ගත යුතුය. නැතහොත් සිදු වන්නේ වැඩවර්ජන නිසා රෝගීන් බිල්ලට යාමකි. අනෙක් අතට සිසු උද්ඝෝෂණ නිසා මෙරට උසස් අධ්‍යාපනය වළ පල්ලට යාමකි. මේ දෙකම සිදු නොවී අතරමැදකින් මේ ප්‍රශ්න නිරාකරණය කරගත නොහැකිද?

ප්‍රශ්නයේ ආරම්භය

සයිටම් ඇරඹුණේ 2009 වසරේදීය. අධ්‍යාපනයේ පෞද්ගලිකකරණය තවදුරටත් නැවැත්විය නොහැකි කාලයක් එළඹෙද්දීය. නිදහස් අධ්‍යාපනයේ පවා එක්තරා කොටසකට මුදල් වැය කිරීම් වැඩි වර්ධනය වෙමින් පැවැති යුගයකදීය. එහෙත් වසර 7ක පමණ කාලයක් සම්පූර්ණ වන තුරු සයිටම් සමාජයේ සෑම මොහොතකම කතාබහට ලක් වන බරපතළ ප්‍රශ්නයක් වූයේ නැත. ඒ තත්ත්වය වෙනස් වූයේ ඉකුත් 30 වනදා සයිටම් උපාධිය ලැබූ ශිෂ්‍යාවකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස සිවිල් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් හේතුවෙනි. වෛද්‍ය සභාව එම තීන්දුවට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් සමඟ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ ද විරෝධය හේතුවෙන් සයිටම් දෛනිකව උද්ඝෝෂණය කරන ප්‍රශ්නයක් බවට පත් වූයේය.

රජයේ විසඳුම

සයිටම්හි අවසන් පරීක්ෂණය සමත් සිසුන්ට හෝමාගම හා අවිස්සාවේල්ල යන රෝහල්වල සායනික පුහුණුව ලබා දීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවත්වන පරීක්ෂණයකට එම සිසුන් පෙනී සිටීම අනිවාර්ය කිරීම, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම මෙන්ම, වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතීන් නීතිගත කිරීම යනාදිය රජය මෙම ප්‍රශ්නයට ඉදිරිපත් කළ විසඳුම්  යෝජනාය. මෙම මූලික කාරණා පිළිබඳව ප්‍රශ්නයක් නැතත් වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතීන් නීතිගත කිරීම යන්න අර්ථවිවරණය වී නැත. එහි අදහස වෛද්‍ය අධ්‍යාපනය තබා සාමාන්‍ය උපාධියක්වත් හැදෑරීමට සුදුසුකම් නැති පිරිසකටත් වෛද්‍ය අධ්‍යාපනය ලැබිය හැකිය යන්නය. සයිටම් ආයතනයට බඳවා ගනු ලබන සිසු සිසුවියන් සම්බන්ධයෙන් කවර ප්‍රමිතීන් සලකා බලනවාද යන්න. මෙම යෝජනාවලියෙන් පැහැදිලි විය යුතුමය. ජීවවිද්‍යා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකකට හා සාමාන්‍ය සාමාර්ථයකට සයිටම් දොර හැරගත හැකි බව අප දන්නා සත්‍යයකි. එය ඊටත් පහළ යන අවස්ථා ද තිබුණහොත් මේ අවනඩුව කියන්නේ කාටද! සයිටම් දොර හැර ගැනීම සඳහා සැපිරිය යුතු සාමාර්ථ මට්ටම සාමාන්‍ය උපාධියකට ප්‍රශ්නයක් නොවූවත් වෛද්‍ය උපාධියකට ඒ මට්ටම කිසිසේත්ම පිළිගත නොහැකිය. වෛද්‍ය විද්‍යාලයට සමත් විය හැකි ඉසෙඞ් ලකුණුවලට මෙහා සාධාරණ ප්‍රමිතියක් සයිටම් දොර හැරදීම වෙනුවෙන් පවත්වාගෙන යාම අසාධාරණ නොවේ.

රජයේ ස්ථාවරය

සයිටම් අවසන් පරීක්ෂණය සමත් සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දිය යුතුය යන්න කොන්දේසියක් ලෙස පිළිගැනීම රජය එම සිසුන් නෙවිල් ප්‍රනාන්දු රෝහල තුළ ප්‍රමාණවත් සායනික පුහුණුවක් නොලබන බව තහවුරු කිරීමකි. එසේ නොමැතිව හුදෙක් සිසු හා වෛද්‍ය උද්ඝෝෂණ නිසා සයිටම් උපාධියට රජයේ සම්බන්ධයක් හැදීමට මෙවැනි පියවරක් නොගත යුතුය. නෙවිල් ප්‍රනාන්දු රෝහල තුළ ලබන සායනික පුහුණුව ප්‍රමාණවත් යැයි තහවුරු කරගත හැකි නම් සායනික පුහුණුව රජයේ රෝහලක පවත්වන්නටම උවමනා නොවේ. මීළඟට රජය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පවත්වන පරීක්ෂණයකට එම සිසුන් පෙනී සිටිය යුතුය යන ස්ථාවරය දැරීමෙන් පෙනී යන්නේ ඉහත උපාධිය පිළිබඳව සැහීමකට පත් විය නොහැකි බවය. එහිදීත් කිව යුත්තේ උක්ත පරීක්ෂණය හුදෙක් සයිටම් උපාධියට රජයේ සම්බන්ධය තහවුරු කර දීමට කරන එකක් නම් එය නොකළ යුතු බවය.

සයිටම් අවසන් පරීක්ෂණය ප්‍රමිතියෙන් යුතු නම් ඉන් එහා පරීක්ෂණයක් වෛද්‍ය සිසුන්ට යෝජනා කළ යුතු නැත. රජයට මේ ක්‍රියාවලිය තුළ පිළිබඳ නියාමන කාර්ය භාරයක් කරමින් පෙනෙන හිස් තැන් සපුරා දීම වැදගත්ය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මෙම කටයුතු නියාමනය කළ හැකි බවට රජය පිළිගන්නේ නම් ඒ සඳහා ගැටුම් ඇති වීමට පෙර නීත්‍යනුකූල තත්ත්වයක් ගොඩනඟා දීම ද අත්‍යවශ්‍යය. රජය ඉහත දක්වන ලද සයිටම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරන ස්වරූපයේ කරුණු උසාවියට ඉදිරිපත් කර තිබුණේ නම් ජනවාරි 30දා අදාළ සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස කෙරුණු උසාවි නියෝගය වෙනස් වන්නටත් තිබුණි. අප කළ යුත්තේ කෙසේ හෝ සයිටම් ආයතනය වසාදැමීම ද? නැතහොත් ඇතැම් ඇමැතිවරුන් පරිදි සයිටම් අවිචාරවත්ව පවත්වාගෙන යාමට සැලසුම් සකස් කිරීමද? මෙම අන්ත දෙකටම නොයා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අදහස් ප්‍රමිතිගත ප්‍රායෝගික තලයකට ගෙන ඒමට නොහැකිද? රජයට සයිටම් පිළිබඳව තිබෙන සංශය නැතහොත් අවිශ්වාසය පිළිබඳ මතය තීරණාත්මකව ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්නත් අප රජයෙන් ප්‍රශ්න කළ යුතුව ඇත. වට්ටන්නේත් නැති මුළුමනින්ම කෙළින් කරන්නේත් නැති තත්ත්වයට දුර යා නොහැකිය. එම ක්‍රමය අර්බුදවලින් ගහනය. සයිටම් අර්බුදයෙන් පිළිබිඹු වන්නේත් ඒ තත්ත්වයමය.

නිවැරැදි වීම

සයිටම් ආයතනයට බඳවා ගැනීමේ සිටම ක්‍රියාවලිය විනිවිද පෙනෙනසුලු හා ස්ථාවර මට්ටමකින් අනූන විය යුතුය. සයිටම් ආයතනයට බඳවාගත යුත්තේ සම්මාන සාමාර්ථ දෙකක් හා එක් සාමාන්‍ය සාමාර්ථයක් තිබීම බඳු කලා උපාධියකටවත් විශ්වවිද්‍යලයට ඇතුළු විය නොහැකි මට්ටමේ අය නොවේ. ඉසෙඞ් ලකුණුවලින් දශම ගණනක් අඩු, නැතහොත් අඩුම වශයෙන් වෛද්‍ය විද්‍යාලයට සමත් වන ඉසෙඞ් ලකුණුවලින් 70%ක්වත් සම්පූර්ණ කළ අයදුම්කරුවන් සයිටම් ආයතනයට බඳවා ගත හැකිය. අනතුරුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ප්‍රමිතිගත කිරීම අත්‍යවශ්‍යය. රජයේ නියාමන කාර්යභාරය අවශ්‍ය වන්නේ එහිදීය. ප්‍රායෝගික පුහුණුව පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළ ද මේ පැකේජයට ඇතුළත් විය යුතුය. මෙම කාරණා තුන සයිටම් වෛද්‍ය විද්‍යාලය පෞද්ගලික අංශයේම කථා සපුරා දිය නොහැකිද? මෙය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අදහස් රැක ගැනීමට දත කෑමක් නොවේ. මෙය තනිකරම ඊට වඩා වැඩි මුදලක් ගෙවා පිටරට විශ්වවිද්‍යාලයකට යාම වළක්වන වැඩපිළිවෙළකි. අනෙක් අතට ප්‍රමාණවත් සාමාර්ථය ලද සිසුවකු වැය කිරීමේ දෙමාපිය ශාක්‍යතාව ද සහිත නම් සයිටම් වැනි ආයතනයක් ආධාරයෙන් ප්‍රමිතිගතව වෛද්‍යවරයකු වීම වැරැදි ක්‍රියාවක්ද? වෛද්‍ය විද්‍යාලයට යා හැකි වන්නේ ඉහළම සාමාර්ථ ලද අතළොස්සකටය. ඊට කිට්ටුවෙන් විභාගය සමත් මුදල් තිබෙන පිරිසකට වෛද්‍ය උපාධිය අකැප යැයි අපට කිව නොහැකිය.

තවත් තර්කයක්

ශිෂ්‍ය ප්‍රජාවගේ සහ මැදහත් වෛද්‍යවරුන් පිරිසකගේ උපදෙස වන්නේ සයිටම් රජයට පවරාගෙන වෛද්‍ය අධ්‍යාපනයට රුකුලක් දෙන ලෙසය. ඒ අදහස නිවැරැදිය. සයිටම් රජයට පවරා ගත හැකි නම් ඉසෙඞ් ලකුණු තව ටිකක් පහළට දමා තවත් පිරිසක් වෛද්‍ය විද්‍යාලයට බඳවා ගැනීමේ හැකියාව රජයට ලබාගත හැකිය.

එවිට සිදු වන වාසිය නම් උසස් පෙළ ඉහළම සාමාර්ථයට තරමක් යටින් සිටින මූල්‍යමය ශක්තියක් නැති පිරිසකටත් වෛද්‍ය උපාධිය ලැබීමට ඉඩකඩ විවර වීමය. මෙවැනි ක්‍රියාමාර්ගයකට යා නොහැක්කේ රජයට ඒ සඳහා ශක්තියක් නැති නිසාද, මේ සඳහා තිබෙන අභියෝග මොනවාද? මෙය ලංකාවේ බරපතළ ප්‍රශ්නයක් ලෙස කරළියට පැමිණ තිබෙන නිසා රජය වහා තුලනාත්මක පියවරක් ගත යුතුව තිබේ.

ගැටුම් ඇති වීම

අද වන විට මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් රජය හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ගැටුම් ඇති වීම ගැන එම සංගමයේ ලේකම් නලින්ද හේරත් මාධ්‍යයට පවසා තිබුණේ පසුගිය ආණ්ඩු සමයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ වත්මන් ජනපතිවරයා සයිටම් ආයතනය නීත්‍යනුකූල නොවන බවත් ප්‍රමිතියෙන් තොර ආයතනයක් බවත් පිළිගෙන ඇති බවය. එමෙන්ම ඔහු ඉල්ලීම්වලට සවන් දුන් බව ද හෙතෙම කියා තිබිණි. එහෙත් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳා ගැනීම නොකළ හැකි දෙයක්ව තිබෙන බවය. මේ කතාව ඇත්ත නම් හොඳම දේ මේ ප්‍රශ්නයත් ජනපතිවරයා මැදිහත්ව විසඳා දීමය. සෞඛ්‍ය ඇමැති රාජිත මෑත කාලයේ ජනපති ළඟින්ම  අසීරුම අවස්ථාවක සිටි සගයා බව  සැබෑය. එහෙත් එක් පුද්ගලයකුගේ වුවමනාවට ප්‍රශ්න ඔඩු දුවන්නට ඉඩ දිය නොහැකිය. ජනපතිට දැන් කළු හෝ සුදු උත්තරයක් මීට සපයා ගැනීමට අපහසු වන්නට පුළුවන. එබැවින් කළුත් ඇති සුදුත් ඇති උත්තරයක් සෙවීම කෙරෙහි ජනපතිගේ අවධානය යොමු විය යුතුය. රටට වඩාත් උචිත රාජ්‍ය හා පුද්ගලික යන දෙපැත්තම සමබර කරගත් අධ්‍යාපන වැඩපිළිවෙළක් නිසා මේ පිළිබඳ අධ්‍යාපනඥයන්ගේ නිරීක්ෂණ ද අතිශයින් වැදගත්ය.

විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...
ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් ගිය පාසල් මාෆියාවේ හිරවුණු එකේ පැටව්! 2017-08-31 - ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ මාන...

කතුවැකිය

කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...
කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි කතුවැකිය: V 2025ට මිෂන් එකක් අවශ්‍යයි 2017-09-11 - විෂන් 2025 නමින් යුත් රජයේ ඒකාබද්ධ ආර්ථික වැඩ සටහන...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01