ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද?

දේශපාලන
Typography

2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ ග්ලයිෆෝසේට් වල්නාශකය යළි මෙරටට ගෙන්වීමට ඉදිරියේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බවට මාධ්‍ය වාර්තා පළ විය. තේ වගාවේ වල් මර්දනයට ග්ලයිෆෝසේට් අත්‍යවශ්‍ය බවට වතු සමාගම් කිහිපයක් කරන ලද ඉල්ලීමකට අනුව මෙවැනි තීන්දුවක් ගැනීමට යන බව ද දැනගන්නට තිබේ.

ග්ලයිෆෝසේට් තහනම් කළේ එය තනිකරම මිනිස් දිවි පැවැත්මට හානිදායක රසායනිකයක් වූ නිසාය. එසේ නම් යළි එම තහනම ඉවත් කරන්නේ මේ වන විට ග්ලයිෆෝසේට් සෞඛ්‍යයට හානිකර නොවන කෘෂි රසායනයක් බවට පත්ව තිබෙන නිසාද? මෙය හානිකර නැතැයි කීවේ කවුද? නැතහොත් මෙම පියවරෙහි වෙනත් අරමුණක් තිබෙනවද? කැබිනට් පත්‍රිකාව ගෙන ඒමට නියමිත වැවිලි විෂයභාර ඇමැතිවරයාගෙන් මෙම ප්‍රශ්න විමසිය යුතුය.

රවුන්ඞ් අප්

ග්ලයිෆෝසේට්හි ප්‍රසිද්ධ වෙළෙඳ නාමය රවුන්ඞ් අප්ය. රවුන්ඞ් අප් ගැසූ විට සියල්ල නැසේ යන අදහස ගැබ් වුණු වෙළෙඳ දැන්වීමක් එකල ප්‍රචාරය වූ බව මතකය. රවුන්ඞ් අප් ගැසූ විට කොළ පැහැය ගත් සියලු පැළෑටි විනාශ වී යයි. එමෙන්ම රවුන්ඞ් අප් නිසා පොළොවේ පස අභ්‍යන්තරයෙහි සිටින පණුවන් පොළොවෙන් උඩට මතු වී මිය යයි. සාමාන්‍යයෙන් ගැඩවිල් පණුවා සිටින්නේ පොළොව මතුපිට සිට අඩි කිහිපයක් යටිනි. ග්ලයිෆෝසේට් යෙදූ පසු පොළොවේ පස් අංශු අතර බන්ධන ශක්තිය හීන වී පස් බුරුල් වන අතර වසර ගණනාවක් ඇවෑමෙන් ඉන් නාය යෑම් අවදානමක් උද්ගත වෙයි. සාමාන්‍ය වර්ෂාවක දී වුව පස් බැමි කැඩී ගංවතුර තර්ජනය ද ඇති විය හැකිය.

සෞඛ්‍ය ප්‍රශ්න

ග්ලයිෆෝසේට් භාවිතය ඇත්තටම තහනම් කෙරුණේ එහි රසායනයේ තිබෙන බරපතළ ක්‍රියාකාරිත්වයෙන් සෞඛ්‍ය ප්‍රශ්න රැසක් උද්ගත වන බවට වෛද්‍යවරුන් කරන ලද කරුණු දැක්වීම්වල සිට මෙරට ගොවි ජනයා මුහුණ දුන් වකුගඩු ප්‍රශ්නයත් මුල් කරගෙනය. රසායනඥ නිගමන අනුව ග්ලයිෆෝසේට්හි ආසනික් සහ කැඞ්මියම් යන රසායනය හා ලෝහ වර්ගය අන්තර්ගතය. ඒ අනුව ග්ලයිෆෝසේට් පිළිකා කාරකයකි. එය හැඳින්වෙන්නේ 2් වර්ගයේ පිළිකා කාරකයක් ලෙසය. ඊළඟට මෙම රසායනය මෙරට බරපතළ ලෙසම ඔඩු දුවමින් පවතින වකුගඩු රෝගයට හේතුවකි. එපමණක් නොවේ ග්ලයිෆෝසේට් තුළ මිනිස් ශරීරයේ හෝමෝන වෙනස් කරන රසායනයක් අන්තර්ගතය. මේතරම් බරපතළ අනතුරක් ග්ලයිෆා්සේට්වලින් සිදු වනවා නම් එය සපුරා තහනම් කිරීම කළ යුතුමය. ලෝකයේ බොහෝ රටවල් ග්ලයිෆෝසේට් තහනම් කරමින් සිටියි. ලංකාව තැත් කරන්නේ තහනම් කළ මාරක රසායනය යළි ගෙන්වා ගැනීමටද?

තේ වගාව

ලංකාවේ තේ වගාව වැදගත් ආර්ථික සංරචකයක් බව සැබෑය. තේ වගාවෙහි වල් මර්දනයට ග්ලයිෆෝසේට් අත්‍යවශ්‍ය බව වතු සමාගම් නියෝජිතයෝ කියති. ඒ නිසා යළි තහනම් කළ වල්නාශකය ගැන සලකා බලන්නට කැබිනට් මණ්ඩලයට සිදු වනු ඇත. එය භයානක තත්ත්වයකි. තේ වගාව වැඩිපුරම සිදු කරන්නේ කඳුකරයේය. කඳුකරයේ පසට එකතු වන ග්ලයිෆෝසේට් ක්‍රමයෙන් ගංගා ජලය සහ වර්ෂාව මඟින් පහළට ගලා ඒම නිතැතින්ම සිදු වන්නකි. වරෙක මතු වූ ප්‍රශ්නයක් වූයේ ග්ලයිෆෝසේට් වැඩිපුරම උඩරට භාවිත කරන්නේ නම් උඩරට ජනයා වකුගඩු රෝගයට ගොදුරු නොවුණේ මන්ද යන්නයි. ඇතැම් විට රසායනය කඳුකරයෙහි නොනැවතී පහළට ගලා ඒම ඊට එක් හේතුවක් විය හැකිය. එහෙත් කඳුරට ජනයාට මෙයින් අනතුරක් නැතැයි කිව නොහැකිය. දිගු කාලයකට පසුව හෝ කඳුරට ජනයා එම අනතුරට මුහුණ දෙන්නට ඉඩ ඇත. මන්ද රසායනයේ සියලු අංශු උඩරට නොනැවතී පහළට ගලා නොඑන බැවිනි.

වකුගඩු රෝගය සහ රසායනය

2013 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළ සිය පර්යේෂණ වර්තාව මඟින් පෙන්වා දී තිබුණේ වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ග්ලයිෆෝසේට් අඩංගු බවයි. රජරට විශ්වවිද්‍යාලයත්, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයත් එක්ව කළ පර්යේෂණවල දී ද මේ බව තහවුරු විය. එසේම රෝගය පැතිර යමින් තිබුණු ප්‍රදේශවල පානීය ජල ප්‍රභව ග්ලයිෆෝසේට් සාන්ද්‍රණය සහිත බව පරීක්ෂණවලින් තහවුරු කෙරිණි. උඩරට තේ වගාවට යොදන ග්ලයිෆෝසේට් රසායනය පහත රට ජල ප්‍රභව දක්වා එන විට අවස්ථා ගණනක දී පෙරීමට ලක් වෙයි. එහෙත් ඉතා සුළු වශයෙන් මෙම රසායනය පානීය ජලයට එකතු වුවත් එය වකුගඩු රෝගයට හේතුකාරක විය හැකි බවට මේ ප්‍රශ්නය ඔඩු දිවූ අවධියේ වෛද්‍ය විශේෂඥයෝ කරුණු දැක් වූහ. ලෝක සෞඛ්‍ය සංවිධානය ග්ලයිෆෝසේට් 2් වර්ගයේ පිළිකාකාරකයක් බව නිශ්චිතවම සිය පර්යේෂණ වාර්තාවකින් එළිදැක්වූයේ 2015 දීය. ඒ වන විට ලංකාව ග්ලයිෆෝසේට් තහනම් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ තහනම

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක සභාව මඟින් පත් කළ දස පුද්ගල විද්වත් කමිටුවක නිර්දේශය මත ලංකාව 2015 ජුනි 15 දා ග්ලයිෆෝසේට් තහනම් කිරීම මෙරට  සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් වැදගත් තීරණයක් විය. විෂ විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයෙක් මෙන්ම එවක පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා ද මෙම කමිටුවට ඇතුළත් වූහ. 2016 ඔක්තෝබර් මාසයේ නෙදර්ලන්තයේ හේග් නුවර රැස් වූ  අන්තර් ජාතික ජූරි සභාවක් තීරණය කර තිබුණේ ග්ලයිෆෝසේට් රසායන ද්‍රව්‍යය භාවිතයට පහසුකම් සැලසීම, නිර්දේශ කිරීම මෙන්ම භාවිත කිරීම මානව වර්ගයාට  එරෙහි සාපරාධී අපරාධයක් බවය. එමෙන්ම එවැනි චෝදනාවකට ලක් වූවකුට අන්තර්ජාතික අධිකරණයේ නඩු පැවරිය යුතු බව ද එම ජූරි සභාවේ ඒකමතික තීරණය වූයේය. මෙම වැදගත් තීරණය ගැනීමට කෘෂිකාර්මික රටක් ලෙස ලංකාවෙන් ඉදිරිපත් වුණු දත්ත සංඛ්‍යා ලේඛන බෙහෙවින්ම උපකාරී වී තිබිණි.

කෘෂිකාර්මික ප්‍රතිපත්තියක්

ලංකාවේ කිසිවකට ජාතික ප්‍රතිපත්තියක් නැත. සමස්තයට ජාතික ප්‍රතිපත්තියක් නැතත් කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් හදන ලෙස අපට විෂයභාර ඇමැතිවරයාට යෝජනා කළ හැකිය. කෘමිනාශක හා වල්නාශක භාවිතය පිළිබඳව ඊට වගන්තියක් එක් කළ හැකිය. එවිට වල්නාශක භාවිත කරනවාද නැද්ද යන්න ගැන ප්‍රතිපත්තිමය තීරණයක්  අප සතු වෙයි. විශේෂයෙන්ම පොහොර භාවිතය පිළිබඳව ඉකුත් සමයේ බලවත් විවාදයක් මතු විය. රසායනික පොහොර භාවිතයේ දී පසට බාහිර පරිසරයට මෙන්ම ජනයාගේ සෞඛ්‍යයට සිදු විය හැකි හානියත් ඊට විකල්ප ලෙස කාබනික පොහොර භාවිතයේ වැදගත්කම ගැනත් දීර්ඝ සාකච්ඡා ඉකුත් සමයේ දී දක්නට ලැබිණි. රසායන පොහොරවලට විකල්පව කාබනික පොහොර භාවිතයේ දී ප්‍රමාණාත්මකව වැඩියෙන් පොහොර භාවිත කිරීමට සිදු වීමත් ඊට සාපේක්ෂව රසායන පොහොර යෙදීම ප්‍රමාණාත්මකව අවම වීම ගැනත් විවාදකරුවෝ පෙන්වා දුන්හ.

මෙහි දී මෙම විෂය පිළිබඳ ප්‍රාමාණිකයකු බව පෙනෙන ආචාර්ය අශෝක රන්වල ඉදිරිපත් කළ මතය වූයේ කාබනික පොහොර සුළු වශයෙන් භාවිත කළ හැකි වන පරිදි කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් තමා සතු වන බවය. එම ප්‍රමාණය සාපේක්ෂව රසායන පොහොර තරමට සුළු ප්‍රමාණයක් නොවුවත් රට කසළ ගොඩක් ලෙස පෙනෙන මට්ටමේ කාබනික පොහොර භාවිතයක් නොවන බව ද හෙතෙම කීවේය. ආචාර්ය රන්වල මේ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇත. වැදගත්ම දේ වන්නේ වල්නාශක විෂයේ දී මෙන්ම පොහොර විෂයේදීත් පොහොර පිළිබඳ අන්තවාදයකට නොයෑමය. පොහොර විෂය පිළිබඳව මෙතෙක් සංවාදවලට එක්වූවන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර පොහොර භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකට පැමිණිය නොහැකිද? ඒ, කෘෂිකර්මයට අදාළ එක් කාරණයක් පමණි. වී වගාව, ගොඩ ගොවිතැන, ගොවීන් කළ යුතු ආර්ථික බෝග කවරේද, වී ගොවිතැනින් පාඩු ලබනවා නම් පාඩුව දරාගෙන තවදුරටත් එය කළ යුතුද, ආදේශක මොනවාද, දෙමුහුන් වගාව, අස්වැන්නට මිලක් ලබා ගැනීම, වෙළෙඳපොළ සැකැස්ම, පොහොර සහනාධාරය, බෝග ප්‍රවාහනය ආදී සෑම විෂයක් පිළිබඳවම ප්‍රතිපත්තියක් සකස් කළ හැකිය. ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස තවදුරටත් සැලකෙන තත්ත්වය තුළ කෘෂිකර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යය. නැතහොත් සිදු වන්නේ පාඩුය. අපට හැමදාම සිදුවී තිබෙන්නේ ඒත් අපි කරනවා යන වදන හැමදාම ගොවීන්ගේ  මුවින් පිට වන ආකාරය බලාගෙන සිටීම ය. අස්වනුවලට මිලක් නැහැ යන හිස් වදන ගොවීන්ගෙන් පිට වනු බලාගෙන සිටීමටය. වල්නාශක හා කෘමිනාශක සමාගම්කාරයන්ගේ සැලසුම්වලට හසුවීමටය. මේ පිළිබඳව කෘෂිකර්මය විෂය භාර අමාත්‍යවරයා සිය අවධානය යොමු කිරීම වැදගත්ය.

තේ කඩා වැටෙයිද?

ග්ලයිෆෝසේට් තහනම නිසා තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක ඇති බව වතු අධිකාරිවරු පෙන්වා දෙති. ඔවුන් කියන පරිදි තේ කර්මාන්තයට ශ්‍රම දායකත්වය ලබා දෙන වතුකම්කරුවන් තේ කර්මාන්තය ආශ්‍රිත රැකියාවලින් කෙමෙන් ඉවත් වෙමින් සිටියි. ඒ ප්‍රශ්නයට විසඳුමක් නොලැබ තිබිය දී තේ ගස්වලට වඩා උසට වල් පැළෑටි වැවී ඇති තත්ත්වය තුළ තේ වතුවල ශ්‍රමිකයන්ට තේ පඳුරු අසලට යෑමේ අසීරුතාවක් ඇතැයි ඔවුන්ගෙන් පැමිණිලි ලැබෙන බව ද වතු අධිකාරිවරු පවසති. මේ නිසා සර්පයන්, දිවියන්, වල් ඌරන්, බඹරුන් එම ලඳු කැලෑ ආක්‍රමණය කර ඇති බව ද ඔවුහු කියති. කම්කරුවන් එම තත්ත්වය තම ජීවිතවලට අවදානම් යැයි පෙන්වා දී තිබේ.

ග්ලයිෆෝසේට් නැති අවධියක මේ ප්‍රශ්න ජය ගත්තේ කෙසේද? වර්මානයේ දී ග්ලයිෆෝසේට් ලීටරයකින් තේ හෙක්ටරයාරයක වල් මර්දනය කළ හැකිය. ඊට වැය වන මුදල රු.4000ක් පමණය. හෙක්ටයාරයක වල් උදලු ගෑම සඳහා මිනිසුන් 20ක් දවසක් තුළ වැඩ කළ යුතුය. එක් අයකුට රු.1000ක දීමනාවක් ලබා දිය යුතුය. ඒ සඳහා වැය වන මුළු මුදල රු.20,000කි. මේ තත්ත්වය තුළ ඕනෑම වතු අයිතිකරුවකු ග්ලයිෆෝසේට් අවශ්‍ය බව කියනු ඇත. එසේ කීම ලාභය පැත්තෙන් සාධාරණය. ග්ලයිෆෝසේට් එන්නට පෙර යුගයේ එනම් මීට වසර 20කට පමණ පෙර දවසේ 2.50 වැටුපට උදලු ගාන්නට කම්කරුවෝ සිටියහ.

ග්ලයිෆෝසේට්වාදීන්ට අභියෝගයක්

ග්ලයිෆෝසේට් විරෝධීන් ඉන් සිදු වන හානිය දක්වන්නේ රසායන සංයෝග හා ඒවායේ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමිනි. එය අපි ලියමු. ජනතාව සංඛ්‍යා ලේඛන තිබෙන නිසා සහ වකුගඩු ප්‍රශ්නයක් රටෙහි තිබෙන නිසා ග්ලයිෆෝසේට්වලින් හානියක් තිබෙන බව පිළිගනියි. තේ පර්යේෂණ ආයතනය වැනි ආයතනවල විද්‍යාඥයන්, පර්යේෂකයන් දැන් කළ යුත්තේ ග්ලයිෆෝසේට්වල ඇති රසායනයන් නිවැරැදිව හඳුන්වා එම සංයුතිය මිනිස් ශරීරයට, පසට පරිසරයට ක්ෂුද්‍ර ජීවීන්ට හානියක් නොකරන බව ඔප්පුකොට පෙන්වීමය. ග්ලයිෆෝසේට් ඕනෑ කියන වතු අධිකාරිවරුන් මේ සඳහා වන බල කිරීම ග්ලයිෆෝසේට්වලින් ප්‍රශ්නයක් නැත කියන විද්‍යාඥයන්ට කළ යුතුය. එය ඔප්පු නොකරන තාක් වලංගු වන්නේ ග්ලයිෆෝසේට් විරෝධී අදහස්ය.

විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සියලු අවුල් ‘ඒකීය’ මනෝභාවය නිසා - පා. ම. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 2017-07-19 - වසර දෙකකට විතර පසුවත් ව්‍යවස්ථා සම්පාදන ක්‍...
මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ, මූලධර්මවාදී ලිබරල් ක්‍රමයක් 2017-07-19 - වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ...

විශේෂාංග

සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ නිදහස සීමා නොකළ යුතුයි 2017-07-20 - සයිබර් අවකාශය තුළ තාරුණ්‍යයේ අදහස් ප්‍රකාශ ක...
රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? රාජපක්ෂලා සහ රාජ+පක්ෂලා තවදුරටත් බේරන්නේ ඇයි? 2017-07-17 - සියල්ල සිදුවෙමින් පවතින්නේ මන්දගාමීව ය. අලුත්...
විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? විද්‍යා, සාමයත් බිහිසුණුයි! අපි කුමක් කරමුද? 2017-07-12 - යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය රටේ බහුලව අසන්නට...

කතුවැකිය

විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක විකල්ප නැතුව ආකල්ප ඉදිරිපත් කිරීමේ විපාක 2017-07-17 - පොලිතින් සහ ප්ලාස්ටික් තහනම සැප් 01 දා සිට ක්‍...
විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම විෂය ප්‍රදේශ ඉක්මවා රාජ්‍ය පාලනයට අකුල් හෙළීම 2017-07-10 - බුද්ධාගමට ප්‍රමුඛ තැන ලැබිය යුතුය යන වගන්තිය...
ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 ආණ්ඩුව, සිවිල් සංවිධාන සහ මොළය අමාරුකාරයෝ - කතුවැකිය ජුලි 02 2017-07-05 - ලංකාවේ සිවිල් සංවිධාන නියෝජිතයෝ, ආණ්ඩු බලයට පත්...

දේශපාලන

කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම 2017-07-17 - ඇමැති විජයමුනි සොයිසා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?...
ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? 2017-06-26 - 2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ...
ගෝඨාභයට වචනයක් ගෝඨාභයට වචනයක් 2017-06-12 - “මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ...
“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම “සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම 2017-06-05 - රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍ර...

Face Book Setup 01