ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද?

දේශපාලන
Typography

හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල් ගෙව්වේ පර්පෙචුවල් ටේ‍රෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් බව මොනාක් රෙසිඩන්සීස් නිවාස ඒකකයේ හිටපු හිමිකාරිය ජුලි 24 දා බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කියා තිබිණ. මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර ගනුදෙනුව බරපතළ වංචාවකට පාර කපා තිබෙන බව පැහැදිලි වෙමින් තිබේ. එය වත්මන් ආණ්ඩුවේ මූල්‍ය විනය මෙන්ම මූල්‍ය විනිවිදභාවය ප්‍රශ්න කෙරුණු සිද්ධියකි. කෝප් කමිටුවේ විමර්ශනය මඟින් බැඳුම්කර ගනුදෙනුවේදී වංචාකාරී ක්‍රියාවක් සිදු වී ඇති බව නිශ්චිතවම ප්‍රකාශ කෙරිණි. ජනපතිවරයා බැඳුම්කර පරීක්ෂණයට පෙර ඉතා නිවැරැදිම තීන්දුවක් ගෙන හිටපු මහ බැංකු අධිපතිවරයා තනතුරෙන් ඉවත් කර නව අධිපතිවරයකු පත්කිරීමට කටයුතු කළේය.

අර්ජුන් ඇලෝසියස් මහතා සහ හිටපු මුදල් ඇමැති ගජමිතුරන් විය හැකිය. එහෙත් මුදල් ඇමැතිගේ නිත්‍ය වාසස්ථානය අලුත්වැඩියා කරන බැවින් වංචා චෝදනාවක් ලද රටේ ඉහළම ධනවතෙකුගෙන් ගෙවල් කුලිය ලබා ගෙන සුපිරි නිවසක සිය පවුල සමඟ පදිංචි වීමට යත්න දැරීම ගැන හිටපු මුදල් ඇමැතිට වරක් දෙවරක් නොව සියවරක් සිතන්නට තිබිණි. දැන් මෙසේ ලියන ලියුම්කරුගේ පුද්ගලික නිවාස ප්‍රශ්නයකට පිළියමක් ලෙස හිටපු මුදල් ඇමැතිගෙන් පුද්ගලික උපකාරයක් ලෙස නිවසක් ඉල්ලාගතහොත් ලියුම්කරුගේ ජනමාධ්‍ය ආචාරධර්මවලට කුමක් සිදුවේද? ඇමැතිවරුන්ටත් ආචාරධර්ම පද්ධතියක් තිබිය යුතුය. ඒවා අනිසි පෙලඹවීමක දී හිතට වධ දෙන ආචාරධර්ම බවට ද පත් විය යුතුය. හිටපු මුදල් ඇමැති නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලබාගෙන තිබෙන ආකාරය බරපතළ ආචාරධර්ම උල්ලංඝනයකි. ලංකාව ඒවා බරපතළ කාරණා ලෙස නොසලකයි. මූල්‍ය වංචාවකට චෝදනා ලද බලවත් පුද්ගලයෙකුට එල්ල වන චෝදනාවලට කටින් ගසමින් සිය තනතුරේ වැජඹිය හැකිය. ඒවා ලංකාව තුළ ලොකු දේවල් නොවේ. මෙවැනි සංස්කෘතියක් සහිත රටක් සුව නොවන තුවාලයක් බවට පත් වීම නොවැළැක්විය හැකිය. වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ඇවෑමෙන් මූල්‍ය විනය උල්ලංඝනය කළ බලවත් පුද්ගලයන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියට පත්ව ඇතත් ඔවුහු සිය තනතුරුවල කරදරයකින් තොරව රැඳී සිටිති. මෙය අගමැති රනිල් වික්‍රමසිංහ වහරන ලිච්ජවී පාලනයට මරු පහරක් නොවෙයිද?

විගණන පනත

රටෙහි මූල්‍ය විනය ඇති කිරීම පිළිබඳ බලවත් අවියක් ලෙස විගණන පනත හැඳින්විය හැකිය. එහෙත් ආණ්ඩුව පත් වී වසරකට වැඩි කාලයක සිටම විගණන පනත ගෙන නොඒමට තෙපර බායි. මෑතක දී ලංකාවේ සංවර්ධන කටයුතු පිළිබඳ ලෝක බැංකු නියෝජිත හමුවකින් පසු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු හා මුදල් අමාත්‍යාංශයේ උපදේශකයකු අතර නිල නොවන සාකච්ඡාවක දී මුදල් අමාත්‍යාංශ උපදේශකයා කියා ඇත්තේ විගණන පනත ගෙන ඒම රජයේ ඉහළ තැනකින්ම වළක්වන බවයි. ඉකුත් සමයේ දී රටේ ප්‍රබල ඇමැතිවරයකු ද විගණන පනතට දිගින් දිගටම බාධා කරනු දක්නට ලැබිණි. ඒ උක්ත ඇමැතිවරයාට අදාළ ගනුදෙනුත් සැකයට තුඩුදෙන ඒවා බව පැහැදිලිව පෙනෙන නිසා විය හැකිය. එහෙත් තම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් මූල්‍ය විනය නොසලකා ක්‍රියා කරන්නේ නම් ලිච්ජවී පාලනයක් යන වරනැගුම අගමැතිවරයාට කළ හැකි ද? කෙටි නිදසුන් දෙකක් ගතහොත් වත්මන් රජයේ හා විපක්ෂයේ මහජන නියෝජිතයන් කී දෙනෙකු වත්කම් බැරකම් නීතියට යටත්ව කටයුතු කර තිබේද? වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැති ධුරය දරන ලද සමයේ මම ඔහුගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසීමි. මම වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලබා දී තිබේ. ඔබ වත්කම් බැරකම් මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දී තිබේ ද යන්න එම ප්‍රශ්නයයි. මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ ඔව් මම වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා යනුවෙනි. ඒ 2010 දී පමණය. එහෙත් එකල මැති ඇමැතිවරු කිසි කෙනෙකුගේ වත්කම් බැරකම් අදාළ පෝරමය පුරවාදීමෙන් පසුත් ජනමාධ්‍යයට ලබා ගැනීමේ අපහසුවක් තිබිණි. වර්තමානයේ දී නම් තොරතුරු පනතට අනුව අදාළ තොරතුරු ලබා ගත හැකි තත්ත්වයක් තිබීම ප්‍රශංසනීය කටයුත්තකි. අද පවා බහුතරයක් මහජන නියෝජිතයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී තිබේද යන්න ගැන වෙනම විමර්ශනයක් කළ යුතුව තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා මේ ගැන තදින් සිටීම පසුගිය කාලයේ දක්නට ලැබිණි. අඩුවෙන් මෙන්ම වැඩියෙන් ද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන තත්ත්වයක් තිබෙන්නට පුළුවන. අඩුවෙන් දෙන්නේ ඔවුන් දේශපාලනයෙන් මුදල් හම්බ කර නැති බව කීමටය. වැඩියෙන් දක්වන්නේ ඉදිරි වසර හය තුළ හම්බ කිරීමට නියමිත මුදල් හා දේපළ වත්කම් බැරකම් ප්‍රකාශය සමඟ සමාන කර පෙන්වීමටය. මේ සියලු වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කරන ක්‍රමයක්ද රටකට තිබිය යුතුය.

වරප්‍රසාද

ජනතාවට බදු වැඩි කර සහ ජනතාවගේ පාරිභෝජනය පැත්තෙන් සීමා කිරීම් කළත් මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සීමා කෙරෙන්නේ නැත. ලක්ෂ හාර පන්සියයේ වාහන, ඒවාට ඉන්ධන රැකවලුන්, කාර්ය මණ්ඩල, ගෙවල් කුලී, පඩිනඩි සහ වෙනත් දීමනා පමණක් නොව පාර්ලිමේන්තුවට එනවාට දීමනාවක් ද මැති ඇමැතිවරු ලබා ගනිති. මේ සියල්ල ලැබීමෙන් පසුවත් රටේ දේපළ හා ධනය කොල්ල කෑ හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබීම කනගාටුදායකය. ව්‍යාපෘතිවලින් ගසා කෑමට ඉඩ ලැබී තිබීම මහත්ම ඛේදයකි. මැති ඇමැතිවරුන්ට දැනට ලැබෙන වැටුපට වඩා වැඩි වැටුපක් ලැබීමේ වරදක් නැත. එහෙත් මහජන මුදල් කොල්ලකෑමට තිබෙන ක්‍රම ඇහිරිය යුතුය. දුර බැහැරින් කොළඹ එන අයට කොළඹ පදිංචියට ගෙවල් කුලියක් දීම සාධාරණය. එහෙත් පිළියන්දල හෝ මහරගම නිවාස පිහිටා තිබෙන මන්ත්‍රීවරයකුට ගෙවල් කුලී ලබා දිය යුතු නැත. අගමැති කියන ලිච්ජවී පාලනයට හෙවත් පාරිභෝජනය කරන දෙය විනිවිද පෙනෙන පාලනයට මේවා මුළුමනින් අදාළය.

ලිච්ජවී උපත

බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ අගමෙහෙසියගේ කුස දරු ගැබක් විය. දස මසක් ගිය කළ ඒ බිසවු තොමෝ දවසක අලුයම් වේලෙහි දරුවකු ලෙස අතිශයින්ම සුරක්ත වූ මස්වැදැල්ලක් වැදූහ. සෙසු බිසෝවරු රන් පිළිම සේ දරුවන් වදති. එහෙත් අගමෙහෙසිය මස්වැදැල්ලක් වැදූ බැවින් ඕ තොමෝ එය නවමු සැලියක රාජමුද්‍රිකාව තබා ගඟ දියෙහි පා කර යැවූහ. සැලියේලූ එ දරුවන්ගේ පින් බෙලෙන් ගඟ අරක් ගත් දෙවියෝ ඊට ආරක්ෂාව සලසා බරණැස් රජ්ජුරුවන්ගේ අගමෙහෙසියගේ දරුවෝ යැයි රන්පතක ලියා සැලියේ අමුණාලූහ.

අනතුරුව දියෙහි පාවෙන මෙම සැලිය දුර බැහැර ගඟ බඩ පන්සලක වාසය කරන තාපස කෙනෙකුගේ ඇස ගැටී හෙතෙම දියෙහි පිහිනා ගොස් සැලිය සුරක්ෂිතව පන්සලට ගෙනඑයි. අනතුරුව සැලිය විවෘත කිරීමෙන් පසු මස්වැදැල්ල දැක එය ආරක්ෂාකාරීව වසා තබයි. පහළොස් දවසක් ගිය තැන ඒ මස්වැදැල්ල දෙකට බෙදී තවත් පහළොස් දවසක් ගිය තැන එම මාංශ කොටස් දෙකෙහි දෑත, දෙපය, හිස ආදී වශයෙන් බේරී රන් පිළිම බඳු කුමරියක හා කුමරකු බිහිවෙයි. මේ දරුවන් මදින් මද ලොකු වන විට අනුභව කළ යම් දෙයක් වෙත්නම් එය කුස අභ්‍යන්තරයෙහි තිබෙනයුරු බාහිරට පෙනේ. මෙසේ දරුවෝ අනුභව කළ දෑ පිටතට පෙනෙන හෙයින් ජීවී නැතියවුන් හෙවත් ලිච්ජවී නම් වෙති.

රාජ්‍ය පාලනයට ලිච්ජවී

අගමැති ලිච්ජවී පාලනය නමින් අදහස් කරන දෙය යථාර්ථයක් නම් එම ලිච්ජවී පාලනයේ නිරත වන නියෝජිතයන්ගේ බඬේ තිබෙන දේ බාහිරට දර්ශනය විය යුතුය. අගමැතිගේ බඬේ අනිසි දෙයක් නැති බව කියත හැකිය. එහෙත් ඔහුගේ ඇමැති මණ්ඩලයේ සෙස්සන් ලිච්ජවී ප්‍රතිපත්තිය අනුගමනය කරනවාද යන්න ගැන සොයා බලන ක්‍රමයක් අගමැතිට තිබේද?

පූජාවලියට අනුව ලිච්ඡවී යනු ඔවුනොවුන් අතරම ආවාහ විවාහ සිදුකරගත් ජන්‍ය විවාහ සම්ප්‍රදායක් පැවැති වෙසෙත් ජන කොටසකි. ඉහත කී මස් වැදැල්ලෙන් දෙකට බෙදුණු කුමරුවාගෙත්, කුමරියගෙත් ප්‍රථම සංසර්ගයෙන්ම දරුවන් දෙදෙනෙක් බිහිවූහ. එසේ ඔවුන් සොළොස් වාරයක සංසර්ගයෙන් දරුවන් දෙතිස් දෙනෙක් වැදූහ. එම වංශයෙහි විකාශනය අතිමහත් වූයේය. ඔවුන් පදිංචි එගම ගම් දෙගම් වී තුන්ගව්වක් ද වූ වටප්‍රමාණයක ගමක් අනතුරුව බිහි විය. මෙසේ එගම කලින් කල විශාලව ගිය හෙයින් විශාලා මහනුවර නමින් ප්‍රචලිත වූයේය. ලිච්ඡවී රජදරුවන් අන්‍ය ජාතියක් සමඟ සම්භෝගයක් නැති හෙයින් විසම්මුතියෙන් තොරව සම්මුතියෙන්ම රාජ්‍ය විචාර වූහ.

ලංකාව තුන්බියකද?

ලිච්ඡවී පාලනයක් ගැන වහරන අගමැතිවරයා සම්මුතිවාදයෙන් රට පාලනය කරන්නට වෑයම් කරන බවක් පෙනේ. එහෙත් සයිටම් බිය, ඛනිජ තෙල් වර්ජන බිය, වෛද්‍ය වර්ජන බිය යන තුන් බියට හසු වී ලිච්ඡවී සංකල්පය ලංකාව නම් වූ විශාලාව තුළ බරපතළ අනතුරකට මුහුණ පාන ලකුණු දැන් පහළ වී තිබේ. මේ තත්ත්වයෙන් ගැලවීමට නම් විශාලාවට ප්‍රායෝගික විසඳුමක් අවශ්‍යය. තාවකාලික පැලැස්තරවලින් තුන් බිය පහ කළ නොහැකි විය. තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය ගතහොත් වෘත්තීය සමිතිවලට කරුණු පැහැදිලි කර දී බුද්ධිමය සාකච්ඡාවකින් අනතුරුව අනාගත වැඩසටහන්වලට අත ගැසිය යුතුය. ඉන්දියාව සමඟ එය සාර්ථක හවුල් ව්‍යාපාරයක් බවට පත් කරනවාද නැතහොත් එය ලංකාව විසින්ම මෙහෙයවන ව්‍යාපාරයක් බවට පත්කරනවාද යන්න ගැන තීරණයක් ගත යුතුය. එහිදී මතු වන ප්‍රායෝගික ප්‍රශ්න සම්බන්ධයෙන් වෘත්තීය සමිති හා විෂය ප්‍රමාණිකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගත හැකිය. සයිටම් ප්‍රශ්නයත් ආණ්ඩුව කළමනාකරණය කරන ආකාරය කමකට නැත. සියලු පාර්ශ්ව කැඳවා සාකච්ඡා කර ඒ පිළිබඳ තිරසාර ප්‍රතිපත්තියකට පැමිණීම වැදගත්ය. ලිච්චජවීන් අඹෙන් උපන්නත් ඔවුන් දිවිගෙවූ විසාලාවේ තුන්බිය පැතිර ගියේය. විසාලාව ප්‍රකෘතිමත් වූයේ තුන් බිය ක්‍රමයෙන් අහෝසි වූ දාය. ලංකාවත් ප්‍රකෘත්තියට පත් කිරීමට නම් සකලවිධ බියෙන් තොර රටක් බවට පත් විය යුතුය.

විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද?  කතුවැකිය-ඇත්තටම උරණ වියයුත්තේ කවුද? 2017-10-16 -  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පක්ෂව අත ඔසවන්නේ...
කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! කතුවැකිය: අතරමඟින් පාසල් හැරයන්නන් අනාථ නොවණු පිණිසයි..! 2017-09-25 - ශිල්පීය නිපුණත්වය සහිත ශ්‍රම බළකායක් නැතිකමෙහි...
කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය කතුවැකිය: මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ලංකාවේ අනාගතය 2017-09-19 - ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 36වන සැසිවාරය ...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01