හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට

දේශපාලන
Typography

මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ පොළොන්නරුවේ දී කියා තිබුණි. එය ඇත්තක් වන්නේ බැසිල් රාජපක්ෂ වැනි කුප්‍රකට පුද්ගලයකු පළමු පැයේදීම හිර කර නොදැමීම නිසාය. බැසිල් ඉකුත් ජනාධිපතිවරණය අවසන් වූ ගමන්ම පිටරට පැන්නේ තමාට එල්ල වී තිබෙන චෝදනාවලට මෛත්‍රී පාලනයෙන් සමාවක් නොලැබෙන නියාව දුටු නිසාය. එහෙත් ඉතාම කෙටි කලක් තුළ ආණ්ඩුව එසේ පැරණි තක්කඩි නායකයන් සිර කිරීමට මන්දෝත්සාහී බව පසක් කරගත් බැසිල් වහා ලංකාවට ආවේය. ඔහු එෆ්සීඅයිඩී ගොස් එන අවස්ථාවක මයික් එක ඇල්ලූ පුද්ගලික රූපවාහිනී ආයතනයක නියෝජිතයකුට කීවේ

 

“ආණ්ඩුව හරියට ක්‍රියාත්මක වන්නේ නැති” බවකි. “ඔබේ කාලයේ හරියටම වැඬේ කළාදැයි” අසන්නට මයික්කාරයාට කට තිබුණේ නැත. “හරියට කළා නම් පරදින්නට විදියක් නැති” බව පෙන්වා දෙන්නට කෙනෙකුත් එහි සිටියේ නැත. රාජපක්ෂ ආණ්ඩුවේ හොරු රැළ කොටු නොකළ ආණ්ඩුවක්, හොරුන්ට රිංගා යාමට ඉඩ දුන් ආණ්ඩුවක් සහ හොරුන්ට රජයේ සාක්ෂිකාරයෙක් වී ගැලවී සිටීමට ඉඩ දුන් ආණ්ඩුවක් එක් අතකින් බැසිල්ගෙන් කුප්ප කතා අසා ගැනීම සාධාරණය. එසේ නින්දාසහගත විවේචනවලට ලක් වීම දැන් ඉතින් ඉවසා වදාරා සිටිය යුතුය.

රවී සහ බැසිල්

රාජපක්ෂ ආණ්ඩුව කාලයේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ විනිවිදභාවයෙන් තොරව වැඩ කළ බවට චෝදනා ලද බැසිල්ට වත්මන් ආණ්ඩු කාලයේ දී එෆ්සීඅයිඩී යාමට සිදු විය. මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා නාමල් රාජපක්ෂට එල්ල වන්නේ ද සිය බාප්පා දෙස බලා කටයුතු කරන්නට යාම නිසාය. එකල ලංකාවට එන සෑම ආයෝජනයක්ම ව්‍යාපෘතියක්ම මජර ලෙස උලා කෑවේ කවුරු කවුරුද යන්න කිසිවකුටත් රහසක් නොවීය. බැසිල් හිරේ තිබ්බේ ඨගෂ බට දීම නිසා බව ඔහු පොළොන්නරුවේදී කියා තිබුණි. ඇත්තටම බැසිල් අත්අඩංගුවට ගත යුතුව තිබුණේ එවැනි පුංචි චෝදනා එකකට දෙකකට නොවේ. කොල්ලකාරී ආණ්ඩුවක යතුර ලෙස ක්‍රියාකරමින් සිටි නිසාය. ඨගෂ බට ගැන කීවාට කෝටි ගාණක් වැය කර ඉදි කළ ගම්පහ නිවස සහ ඉඩම එකපාරටම තමන්ගේ නොවන බව කීවේ මන්ද යන්න බැසිල් පොළොන්නරුවේදී කීවේ නැත. එසේ කීමත් රවී මිලියන 165 ගනුදෙනුව ගැන හාංකවිසියක්වත් දන්නේ නැති බව කීම හා සමානය. බැසිල් සහ රවී යන දෙදෙනා ගැනම ලංකාවේ ජනයාට අදහසක් ඇත. විනිශ්චයක් ඇත. ඔවුන්ට ලංකාවේ ජනයා කියන අකුරු දෙකේ පොදු නමක්ද ඇත. මේ දෙදෙනාටම තම නායකයන්ගෙන් මූල්‍ය පරිහරණයට අනවශ්‍ය තරම් නිදහස ලැබී තිබුණි. බැසිල් ඒ නිදහස පාවිච්චි කළ තරම කෙතරම් බරපතළ ද යත් රටේ ජනතාවගේ පමණක් නොව රාජපක්ෂ පවුලේම විවේචනයට හා ගර්භාවට ඔහු බඳුන් වූයේය. රවීටත් බැසිල් පන්නයේම චෝදනා එල්ල වෙයි. මිලියන 165 ප්‍රශ්නය තනිකරම රවීගේ විනිවිදිභාවය පිළිබඳ ප්‍රශ්නයකි. එය මුදල් ඇමතිවරයකු ලෙස ඔහුගේ ආචාරධර්මික භාවය පිළිබඳ ප්‍රශ්නයක් ද වෙයි. අපේ අසරණ අහිංසක ජනතාව කිය කියා රවී කරන්නේ වෙන මංගල්ලයක් බව කවුරුත් දනිති. එහෙත් මේ දේශපාලන ක්‍රමය තුළ පත්කර යැව්වාට පසු ජනයාට කිසිවක් කරන්නට බලයක් නැත. ජනතාව පරාජය කළ එකාවත් යළි ඔසවා තබා ඇමති ධුරයක් දෙන දේශපාලන ක්‍රමයක් තුළ වැරැදි කරන අය ආපසු කැඳවීම ගැන කතා කිරීමත් හාස්‍යයට කරුණකි.

රවී ඉවත් වෙයි ද

මහින්ද අමරවීර කියා තිබුණේ රවී ඉල්ලා අස් නොවන්නේ නම් විශ්වාසභංගයට සහාය දෙන බවය. එය ජනපතිගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිපයේ අදහස වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ජ.වි.පෙ. කියා තිබුණේද විශ්වාස භංගයට සහාය දෙන බවය. දෙමළ ජාතික සන්ධානයට ද ඊට විරුද්ධ වන්නට හේතුවක් නැත. මේ තත්ත්වය උඩ විශ්වාසභංගයෙන් රවී පරදින්නට තිබෙන ඉඩ වැඩිය. එහෙත් එවැනි පරාජයක් ලැබුවහොත් එය ආණ්ඩුවේ පරාජයක් ද වන නිසා එජාපය මෙන්ම ශ්‍රීලනිපය ද මේ ගැන පුළුල් අරුතකින් සිතන්නට ඉඩ ඇත. යහපාලනය දැනටමත් රවී කළු කර ඇත. තරමක් දුරට හෝ මේ උණුසුම පහව යාමට නම් රවී ඇමතිධුරයෙන් ඉල්ලා අස්විය යුතුය.

එහෙත් ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි දක්වා තිබුණේ ඉල්ලා අස්වීමට වුවමනාවක් නැති බවය.

රවී ඉල්ලා අස්නොවුවහොත් සමස්ත ආණ්ඩුව වැටෙන්නේ ලෝක අමාරුවකය. මේ තත්ත්වය ජනපතිට හා අගමැතිට හොඳින් වැටහෙන බැවින් ඔවුන් දෙදෙනා මේ ප්‍රශ්නය පිළිබඳව තුලනාත්මකව කල්පනා කර බලා තීරණයක් ගැනීමට දැන් අවස්ථාව එළැඹ තිබේ.

බැසිල්ට කියන වග නම්

බැසිල් රාජපක්ෂගේ මූල්‍ය ගනුදෙනුවලට වඩා බරපතළ අවුලක් රවී ඇති කරගෙන තිබෙන බව පෙනෙන්නේ කවර හේතුවක් නිසාද? ඔහු රජයේ ප්‍රබල ඇමැතිවරයෙකි. මූල්‍ය ශක්තිය රහිතව විපක්ෂයේ සිටින සමයේ පක්ෂයේ කටයුතුවලට හෙතෙම මුදල් වැය කළ පුද්ගලයෙකි. ඔහු කෙතරම් බලවත් වුවත් ඔහුගෙන් වරදක් සිදු වූ අවස්ථාවේ තම සගයාට ආවරණය සැපයීමට ආණ්ඩුව කල්පනා කළේ නැත. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතා රවීගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේ චූදිතයා භීත වන වෙසක් මවාගෙනය. බැසිල් රාජපක්ෂ කිසි දිනක ඔවුන්ගේ ආණ්ඩු සමයේ මෙවැනි කොමිසමක් හමුවට පමුණුවා තිබේද? කෙබඳු වැරැදි තිබුණත් රාජපක්ෂ ආණ්ඩුවේ චූදිතයෝ සිය ආණ්ඩු කාලයේ කිසිදු පරීක්ෂණයකට මුහුණ නොදුන්හ. ගසා කන්නන්ට ඇති පදම් ගසා කෑමට හිටපු ජනාධිපති ඉඩ සලසා දී තිබුණි. අමාත්‍යාංශවල වැඩකටයුතුවලින් ගසා කෑමට අවකාශයක් නොමැති අයට ටෙලි නාට්‍යයකින් හෝ ගසා කෑමට ඉඩ ප්‍රස්ථාව දී තිබුණි. රාජපක්ෂ පුතුන් ලක්ෂ 900 වාහන මිල දී ගත්තේ රෝසි ආච්චි දුන් මැණික් මල්ල විකුණා ගත් සල්ලිවලින්ද? මැණික් මල්ල මතු වූයේ එෆ්සීඅයිඩී යන්නට පටන් ගත් පසුවය. මුදල් විශුද්ධිකරණය කළ හැකි ක්‍රම අනුගමනය කිරීමට පටන්ගත් විට හෝ එම යෙදවුම් රාජපක්ෂ පුතුන්ගේ ඔඩොක්කුවට කොහෙන් ප්‍රාදුර්භූත වූයේ දැයි කිසිවෙක් සොයා නොබැලූහ. සොයා බලන්නට ගියා නම් එසේ ගිය එකාගේ බෙල්ල යනු නොඅනුමානය. මේ තත්ත්වය හා සසඳා බලන කල වර්තමානයේ දී රවී වැනි චූදිතයෙක් බැඳුම්කර කොමිසමට කැඳවීම ආණ්ඩුවේ මූල්‍ය කටයුතු සම්බන්ධ වැරදි නිවැරැදි කර ගැනීමටත්, මූල්‍ය විනිවිදභාවය පෙන්වීමටත් ගත් කදිම තැතක් ලෙස හැඳින්විය හැකිය. රවී, රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකු ලෙස මේ ආකාරයේ චෝදනාවකට ලක් වූවා නම් බොහෝ විට මෙවැනි කොමිසමක් හමුවට ඔහු නොපමුණුවනු ඇත. බැසිල්, නාමල්, සජින්වාස්, වීරවංශ, මහින්දානන්ද සුදු රෙදි හොරු ඔවුන්ගේ ආණ්ඩු කාලයේ දී නිරුපද්‍රිතව සිටියහ. රවී බැඳුම්කර කොමිසමේ දී මඤ්ඤං වූ බව සැබෑය. එහෙත් ඔහු ලබා ගත් මිලියන 165 නිවාස වරදානය පිළිබඳව ප්‍රශ්න කරන්නට ක්‍රියා කිරීම ආණ්ඩුව පැත්තෙන් ගත් වැදගත් පියවරකි. එම පියවර නිසා සමහර විට ලොකු දෙයක් නොවූවත් තව කෙනෙකුට හෝ රවී වගේ නොවී අරපරිස්සමින් වැඩ කරන්නට මෙයින් ආදර්ශයක් ලැබෙනු ඇත. දැන් බැසිල් රාජපක්ෂලා මේවා දෙස බලා ලොකු අවුලකට පත්ව සිටිනවා වන්නට පුළුවන. ඒ යහපාලන ආණ්ඩුවේ දේශපාලන සංස්කෘතිය රාජපක්ෂ ආණ්ඩුවේ තක්කඩි ක්‍රමවේදයට වඩා වෙනස් බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙනි.

බැසිල්ගේ චෝදනා

බැසිල් පොළොන්නරුවේදී මෙවැනි ප්‍රකාශයක් කර තිබිණි. ‘සුද්දන්ට නැගලා යන්න අලි දුන්නට අද නඩු නැහැ. ඒත් කරඬුව වඩම්මන අලියා ගත්තාට පන්සලේ හාමුදුරුවන්ට නඩු. සාරි, බයිසිකල්, සිල් රෙදි දුන්නාට නඩු’ මේකද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යන්න එම ප්‍රකාශයයි. මේක තමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියා ඍජුව කියන්නටවත් කෙනෙකු මේ ආණ්ඩුව තුළ නැති ද? යහපාලන ආණ්ඩුව නොව ඊට පෙර මෙරට ජනමාධ්‍ය මෙන්ම පරිසරවේදීන් හා ප්‍රගතිශීලීන් විරුද්ධ වූයේ ඉකුත් ආණ්ඩුවේ අනුග්‍රහයලත් ඇතැම් හිමිවරුන්ගේ මහෝස්ත්‍රාත්වරුන්ගේ සිට ආණ්ඩුවට හේත්තු වී සිටි පාදඩයන් දක්වා වූ තක්කඩි එකතුවක් විසින් කරගෙන ගිය අලි හොරකමටය.

එම විරෝධය නඩු දැමීම දක්වාත් ඇතැමුන්ගේ වැඩ තහනම් කිරීම දක්වාත් ගෙන ඒම පිළිබඳව අප වත්මන් ආණ්ඩුවට පැසසිය යුතුය. අලි කෙළිය නිසා රස්සාව අහිමි වු මහේස්ත්‍රාත් කළු කම්බිලි දේවාලය දක්වාම ගොස් දුක කීවත් තවම රස්සාව ලැබී නැත්තේ දෙවියන්ටවත් ඒ වැරැදි නිවැරැදි කර දීමට නොහැකි නිසාය. බැසිල් කියන පරිදි සිල් රෙදි බෙදුවෙත් උපාසක උපාසිකාවන් පිළිබඳ මහා කරුණාවෙන් නොවේ. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර දින නියම කර තිබියදී මහජන මුදල් වැය කර දේශපාලන ප්‍රචාරක අරමුණකින් සිල් රෙදි බෙදීම වරදක් බව නොකියා බැසිල් මෙහිදී කියන්නේ සිල් රෙදි දීමත් නඩු දැමීමට කාරණයක් වූ බවය. හිටපු ජනපති ඡන්ද කාලයේ දී දිනකට හාරපන්දාහ බැගින් ගෙදර ගෙන්වා දන්සල් පැවැත්වීමත් ඒ අනුව වරදකි. බැසිල්ට තවදුරටත් කොළේ වසා ගැසීමට ඉඩ දීම නිසා තුප්පහි කතාව ආණ්ඩුවට එල්ල කිරීම සාධාරණය. රාජපක්ෂලා බඳු තක්කඩි පාලකයන්ට එරෙහිව පියවරක් නොගත් නිසා එබඳු කඩප්පුලි කතා අසා ගැනීමට සිදුව තිබේ. දැන් ඉස්සර වගේ අලි පැටව් බලු පැටව් සේ පන්සල්වල අතරමං වී යන්නේ ද නැති බව බැසිල්ට මතක් කර දිය යුතුයි. පන්සල්වලටත් අලි ප්‍රශ්නය බලපෑවේ ඇතැම් සංඝයා වහන්සේලා කළ රවී, බැසිල් පන්නයේ වැඩ නිසා යැයි බැසිල්ට අවධාරණය කළ යුතුවෙයි.

ධනවාදයේ එකඟතා

ධනවාදයේ එකඟතා තමා ළඟ නැති බවත් තමාට ඒවා අදාළ නැති බවත් දැන් ජනපති කියන්නට පුළුවන. එහෙත් 2015 ජන.9 වනදා පාන්දර රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා රාජපක්ෂ හදාගත්තේ ධනවාදයේ සාමාන්‍ය එකඟතාවයි. ඉන් පසුව රාජපක්ෂලාගේ සමහරු ජනපතිට විටින් විට කොකු ගසා හදාගත්තේ ධනවාදයේ එකඟතාවයි. සජින්වාස් රජයේ සාක්ෂිකාරයකු වී තවත් වර්ගයක එකඟතාවක් හදා ගත්තේය. මෙවැනි එකඟතා කුමටද? ධනවාදය තුළ වැඩි අවකාශයක් සැලසී තිබෙන්නේ දේශපාලනඥයන්ට වැරැදි කිරීමටය. වැරදි කළත් විටින් විට පාලකයන් බවට පත් කරන්නේ ද එම නියෝජිතයන්මය. එස්.බී. ඡන්දය පැරදුණත් රට පාලනය කරන ඇමැතිවරයෙකි. එවිට පාර්ශ්ව දෙකක් මාරුවෙන් මාරුවට රටක් පාලනය කරන විට එක්ස්ගේ වැරැදි වයි විසින් වසා දැමීමත් වයිගේ වැරැදි එක්ස් විසින් වසා දීමත් එකඟතාව අනුව සිදු වෙයි. ධනපති පක්ෂවල හා පුද්ගලයන්ගේ පැවැත්ම රැඳී ඇත්තේ එකිනෙකා විසින් සපයන එම ආරක්ෂාව තුළය. මේ ප්‍රශ්නය ජනපතිට එසේ නොවේ යැයි කියා වෙනත් උත්තරයක් දිය හැකි ද? ජනපතිඳුනි හැකිනම් දෙනු යෙහෙකිය පිළිතුරු.

Latest Posts

කතාබහ

ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ ඇමතිකම් ගැන හිතලා ඇයි මම ඔළුව විකාර කරගන්නේ - බුද්ධික පතිරණ 2018-02-22 - මේ වන විට දේශපාලන කරලියේ කැබිනට් සංශෝධනයක් ප...
මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් මොන බම්බු ආණ්ඩුවකටවත් අපි යන්නේ නැහැ - එම්.කේ සිවාජලිංගම් 2018-02-22 - තමන් කිසිම ආණ්ඩුවකට සහය නොදෙන බවත් එසේ සහය දෙන...
අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති අපි උමා ඔය සටන මැතිවරණ සටනක් කළා - සුනිල් හදුන්නෙත්ති 2018-02-05 - මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක් එක් පක්ෂ ව...

විශේෂාංග

මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් මධ්‍යම කදුකරයේ වියළි කාළගුණය නිසා එළව ̈මිළ පහත වැටිඇත-ගොවින් 2018-02-20 - මධ්‍යම කදුකරයේ පවතින වියළි කාළගුණය හේතුවෙන් ...
පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් පණිවුඩයක් තියා ජගත් රණතුංග ගිහින් 2018-02-20 - ‘කරදිය ලෝලියාගේ තෙතබරිත සැන්දෑව’ නම් අමුතු කවි...
කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි   කොළඹ ආශ්‍රිත මුහුදේ ගිලී ගිය නෞකා රැසක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි 2018-02-15 - ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය ...

කතුවැකිය

ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...
හොඳ පුංචි ඡන්දෙ හොඳ පුංචි ඡන්දෙ 2017-12-20 - 2017-12-17 පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැත...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01