66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය

දේශපාලන
Typography

ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම රටේ ජනාධිපතිවරයා ද වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද වයස 66 කි. ශ්‍රීලනිපය ආරම්භ වුණු 1951 සැප්තැම්බර් 02 දා රාත්‍රියේ එහි වත්මන් සභාපතිවරයාගේ උපත සිදු වී තිබීම එක් ආකාරයකින් අසිරිමත් සිදුවීමකි. සමහර අසිරිමත් දේවල් සිදුවන්නේ අහම්බෙනි. එහෙත් යම් කිසිවකු ධෛර්යසම්පන්නව වැඩ කිරීමෙන් අහම්බෙන් සිදු වන අසිරිමත් දේවල් ලෝකයේ සදා නොමියෙන විශිෂ්ටතම ක්‍රියාකාරකම් බවට පත් කළ හැකිය. වත්මන් ජනපතිට තමා උපන් දා බිහි වූ පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ නායකත්වය ද හිමිවීමෙන් දැන් එම දුර්ලභ අවස්ථාව හිමි වී ඇත. ඔහු කළ යුතුව ඇත්තේ එක් දෙයකි. එය නම් අයුක්තිය ඉදිරියේ අනම්‍ය දේශපාලනඥයකු ලෙසත් ප්‍රතිපත්තිමය කාරණා ඉදිරියේ නම්‍යශීලී දේශපාලනඥයකු ලෙසත් දුරදකින සමාජ දේශපාලන වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාකාරී වීම පමණි. පක්ෂයට සහ තමාට හැට හය පිරෙන්නට ආසන්නව තිබියදී ඔහු කීවේ ජාතියේ අනාගතය සඳහා පිරිසිදු ජාතික දේශපාලන ව්‍යාපාරයක් බිහි කළ යුතු බවයි.

 

56න් ඔබ්බට

ජනපතිවරයා බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුයන බව නිතර කියයි. හෙතෙම 56 දරුවකු යැයි කිව හැකිය. එවිට බණ්ඩාරනායක ඔහුගේ දේශපාලන පියාය. පුතා පියාගේ නොවුණහොත් එවැනි පුතෙකුට සිංහල සමාජයේ ඇත්තෝ වෙනම නමක් කියති. අප කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පියා කළ දේ නොකළ යුතු පුතකු බවය. එසේ කියන්නේ පියා නරක නිසා නොවේ. පියා උගත් හා ගුණගරුක බවින් අනූන පාලකයකු වුවත් සාර්ථක පාලකයකු ද යන්න පිළිබඳව දේශපාලන ඉතිහාසය තුළ බරපතළ විවාදයක් සහිත නායකයකු වු හෙයිනි.

56 බලවේගය බවට පත් වූයේ සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගයයි. පංච මහා බලවේගය පිළිබඳ අදහස 70 දශකය දක්වාම තිබුණි. ශ්‍රීලනිපයට කාලානුරූපව වෙනස් වන්නට සිදුවූයේ 94න් පසුවය. අප කියන්නේ ශ්‍රීලනිපය තවදුරටත් කාලානුරූප මතුපිට වෙනස්කම්වලට වඩා හරයාත්මකව ගැඹුරු වෙනස්කම්වලට බඳුන් විය යුතුව තිබුණු බවය. ශ්‍රීලනිපය හිටිහැටියේම ජාතිවාදයේ සෙවණල්ලෙන් වැසී යන පක්ෂයක් බවට පත් වූයේ කාලානුරූපවත් හරයාත්මකවත් එම පක්ෂය අභ්‍යන්තරිකව වෙනස් නොවුණු නිසාය. බණ්ඩාරනායක මහතා 56 දී සිදු කළ දේශපාලන වෙනස සමඟ ජනයා තුළ කිසියම් චින්තනමය වෙනසක් ද සිදුවනු දැකීම අපේක්ෂා කළා විය හැකිය. එහි ජාතීන් අතර සංහිඳියාව නිසැක අපේක්ෂාව වන්නට පුළුවන. එහෙත් බණ්ඩාරනායක චින්තනය පසුකාලීනව වැඩිපුර භාවිතා කර තිබුණේ ජාතිවාදයේ චින්තන සංරචනයක් ලෙසිනි. බණ්ඩාරනායක සංඝයා වහන්සේලාගේ, වෙදැදුරන්ගේ හා ගුරුවරුන්ගේ සමාජයෙන් සංකේතවත් කළේ ජාතියට ආදරය කරන අතරම බොදු ප්‍රතිපත්ති මත ජාතීන් අතර සංහිඳියාව තෘප්ත කිරීම විය හැකිය. සැබැවින්ම සිංහල සහ දෙමළ අකුරුවල තාර ගෑම ජාතීන් දෙක අතින්ම සිදුවුවත් රටේ පාලන තන්ත්‍රය තුළ ජාතීන් තුනෙහිම නියෝජිතයන් දක්නට ලැබුණි. තංගරාජා මෙන්ම බද්යුදීන් බණ්ඩානායක සමඟ සමාන්තර රේඛාවක දේශපාලනය කළහ. සඟ, වෙද, ගුරු චින්තනය සහයෝගිතා දිවිපෙවෙතකට ආමන්ත්‍රණය කළත් අමිර්තලිංගම් වැනි නායකයන්ගේ සාධාරණ දේශපාලන ඉල්ලීම්වලට ඉඩ නොදී ඔවුන්ගේ උද්ඝෙෘ්ෂණවලට පහරදී ඔළු පැලුවේ ද සඟ, වෙද, ගුරු චින්තනයෙන් පෝෂණය වුණු සිංහල සමාජය විසිනි. 70 දශකයේදී උතුරේ දී ඇති වූ දෙමළ ජනයා කේන්ද්‍රීය ගැටුමක් මැඩ පැවැත්වීමට රිචඞ් උඩුගම නමැති හමුදා නිලධාරියා උතුරට යවා ගැටුමට සම්බන්ධ දෙමළ වැසියන්ගේ නිවාස ගිනි තැබුවේද සඟ, වෙද, ගුරු චින්තනයෙන් සුපෝෂිත ක්‍රමයක් මඟිනි. ජාතියට ආදරය කිරීම නම් වූ මහාර්ඝ අදහස හොඳ හෝ නරක වශයෙන් ඕනෑම අතකට පෙරළා ගත හැකිය. එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මුළුමනින් කරමතට ගන්නවාට වඩා ආර්ථික සමාජීය හා දේශපාලනික වශයෙන් උද්ගතව තිබෙන රටේ ප්‍රශ්න විසඳන ප්‍රතිපත්ති මාලාවක් අලුතින් නිපදවාගෙන ඒවා අත්හදා බැලීම වඩා ප්‍රායෝගික යැයි හැඟේ. මන්ද 66 වන සංවත්සරය යා යුත්තේ 56ට හෝ 2005න් ඇරඹි ජාතිවාදය දෙසට නොවේ. 66 රටෙහි අනාගතය වෙනුවෙන් තෙවැනි ඇසක් ජනිත කර ගත යුතු කඩඉමකි.

2005 පුද්ගලවාදය

රාජපක්ෂ 2005 දී බලයට පත්ව ශ්‍රීලනිපයේ නාමය පෙරට තබාගෙන ශ්‍රීලනිපය යටපත් කොටගත් රාජපක්ෂවාදී පාලන තන්ත්‍රයක් සකස් කළේය. ඒ සඳහා තනිකරම ඒකාධිපති ක්‍රමයක් මධ්‍යම කාරක සභාවේ සිට කැබිනට්ටුව දක්වාම වැදගත් මුළුදීම් තුළ ගෙන ගියේය. පැවතීමට නම් රාජපක්ෂ, පුද්ගලයකුගේ සිට පක්ෂයක් බවට පත් කිරීම දක්වා දර දිය ඇදීමට කාටත් සිදු විය. එම ඒකාධිපති ක්‍රමය තුළ අදට වඩා ඒකත්වයක් තිබිණැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. විශාල සංවර්ධනයක් ද සිදුවිණි යැයි කෙනෙකුට කිව හැකිය. එහෙත් එම ඒකත්වය වැඩවසම්වාදී ගෝත්‍රික රජ කෙනෙකුගේ පාලනයක ස්වරූපය ගත්තක් නම්, සංවර්ධනය යට මහා මංකොල්ලයක් ක්‍රියාත්මක වුණි නම් එවැනි ගමනක් ජනතාව පක්ෂයකින් අපේක්ෂා කරන්නේ නැත. ශ්‍රීලනිපය අනුදත් ජාතික ආගමික පුනර්ජීවන දේශපාලන වැඩසටහන 2005න් මෙහාට දක්නට නොලැබුණි. පුනර්ජීවන දේශපාලන ව්‍යාපාරය වෙනුවට මහජන මුදල් ගසා කන පාලන තන්ත්‍රයක් ශ්‍රීලනිපය තුළින් බිහි වූයේ 94 දීය. එහෙත් එවරද ශ්‍රීනිපය බවට පත්ව හෝ ඉතුරු වුනු ශ්‍රීලනිපය තිබුණි. රාජපක්ෂ සමයේ දී ඔහු මුළුමනින් ශ්‍රීලනිපය යටත් කර දමා පුද්ගලවාදය කරළියට ගත්තේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරමින් අද පවා රාජපක්ෂ කරමින් සිටින්නේ ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස යටපත් කර දැමීමයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය බිඳ හෙළන භූමිකාවක නොසිටියේය. එමෙන්ම ඔහු තීරණාත්මක අවස්ථාවේදී වැදගත් දේශපාලන තීන්දුවක් ගෙන ව්‍යාකූල වූ පක්ෂයකට එක්තරා ආකාරයක ගෞරවයක් ගෙන දුන්නේය.

රට ඉල්ලන්නේ කුමක්ද?

රට ඉල්ලන්නේ ප්‍රතිසංස්කරණ සිදු කරන සමාජයකි. අධ්‍යාපන හා ආර්ථික ක්ෂේත්‍ර ඉන් ප්‍රධානය. ලංකාව නිදහසින් පසු රටට අනන්‍ය අධ්‍යාපන ක්‍රමයක් ගොඩනගාගෙන තිබේ ද? ජනයාට ගැළපෙන දියුණු පවුණු විය හැකි ආර්ථික ක්‍රමයක් ගොඩනගාගෙන තිබේද? නිදහසින් පසු ඉන්දියාව යටත් විජිත අධ්‍යාපනයේ වැදගත් අංග මුලිනුපුටා දැමීමට කටයුතු කළේ නැත. ඒ නිසා ඔවුහු අදටත් ඉංග්‍රීසි බස උගත් ජාතියක් ලෙස ලෝකයට මුහුණ දෙති. ලංකාව දූපතකි. 56 දී ශික්ෂාකාමී සමාජයකට යාම සඳහා කොතරම් හොඳ මාවතක් ඉදි කළත් ඒ මාවතේ කෙළවර ඒකභාෂී නිරර්ථක මුළුවක් බල ගැන්වුණි. ඒ අනුව බලන විට 56න් පසු ලංකාවේ ජනතාව රැගෙන ගියේ දූපතින් ගල් ගුහාවකටය. 56න් පසු පරම්පරා දෙකකට පමණ එයින් මිදීමක් නොවුණි. ඉන්දියාව අධ්‍යාපනයෙන් පමණක් නොව මෙම කාලය තුළ වාණිජමය ව්‍යාපාරවලින් කර්මාන්තකරණයෙන්, සාහිත්‍යයෙන් සිනමාවෙන් මතු නොව බහුවිධ කලා ශිල්පවලින් රටක් ලෙස ඉදිරියට ගියේය. ඉන්දියාවේ පුංචිම තැන්වලින් මහා පුරුෂයන් බිහි වන්නේ ඒ සඳහා වන විභවයක් දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය මෙන්ම අධ්‍යාපන ක්‍රමය තුළ තිබුණු නිසාය. ඉන්දියාවේ හා ලංකාවේ දේශපාලන නායකයන් නිදසුනක් ලෙස ගනිමු. ඉන්දියාවෙන් මෑත යුගයේ බිහි වූ ආචාර්ය මන් මෝහන් සිං මෙන්ම මහාචාර්ය අබ්දුල් කලාම් සලකා බැලුවත් ඔවුන්ට කිට්ටුවිය හැකි ජනනායකයකු ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබේද? බණ්ඩාරනායක දුර දුටුවා නම් සිංහල සහ දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා බවට පත් කළ යුතුව තිබුණි. සිංහල රාජ්‍ය භාෂාව බවට පත්කිරීමෙන් පසු එහි අවුල දැක දෙමළ බසෙහි ප්‍රශ්නය ඔහු දුටුවත් එය තේරුම් ගන්නා විට වරද යළි නිවැරැදි කර ගත නොහැකි තරම් ඔඩුදුවා තිබුණි. ශ්‍රීලනිපය තුළ ඊළඟ වරද වන්නේ 72 ව්‍යවස්ථාව තුළ බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරීමය. එහි බරපතළ ප්‍රතිඵල පසුකාලීනව අත්විඳින්නට ලැබුණි. ආසන්න දිනක සම්මුතිවාදී ආණ්ඩුවේ ව්‍යවස්ථා යෝජනාවලට පවා සංඝ සමාජය තහංචි පනවන තත්ත්වය එහි භයානක ප්‍රතිඵලයක් බවත් කිව යුතුව ඇත. 66 වැනි සංවත්සරයෙන් ඉක්බිතිව එළඹෙන කාලය මෙම රෝග ාබාධවලින් ලංකාව මුදාගත හැකි කාල පරිච්ඡේදයක් බවට පත් කළ හැකිය. ජනපති සඟ, වෙද, ගුරු බලවේගවල හෝ වෙනත් ආචීර්ණ කල්පිත මතවල සිරකරුවකු නොවී විවෘතව සිතන නායකයකු ලෙස 67 වන වියේ දී ක්‍රියාකළහොත් ඔහුට පළමුව පක්ෂය වෙනස් කර ගත හැකිය. අනතුරුව රට වෙනස් කරන කර්තව්‍යයට අත ගැසිය හැකිය.

ආර්ථික දියුණුව නොතැකීම

56 පිබිදීමක් ලෙස හැඳින්නුවත් 77 දක්වා ආණ්ඩු සතරකටම ලංකාව තුළ ආර්ථික තලයේ තැපී පෙනෙන පිම්මක් පැනීමට නොහැකි විය. ඒ වන විට ලී ක්වාන් යු සිංගප්පූරුව දියුණු රටක් බවට පරිවර්තනය කරමින් සිටියේය. මහතීර් මොහොමඞ් මැලේසියාවට ආර්ථික දියුණුව අත්කර දෙමින් සිටියේය. විශේෂයෙන්ම සිංගප්පූරුව මුලින් වැඩ කළේ ලංකාව දෙස බලාගෙනය. එහෙත් ලංකාව යමක් පටන් ගැනීමට පූර්වාදර්ශයක් සෙව්වාදැයි යන්න සැක සහිතය. ලංකාවේ තිබුණේ න්‍යාය විරහිතව කිසියම් ඉවක් ඔස්සේ වැඩ කරන්නට ගිය ස්වරූපයකි. 56 - 2010 දක්වා කිසිම ආණ්ඩුවකට රටේ ආර්ථික දියුණුව සම්බන්ධයෙන් පිම්මක් පනින්නට නොහැකි වූයේ එනිසාය.

වර්තමාන රජය සහ අභියෝග

මෙතැන් සිට හෝ රට නිශ්චිත සංවර්ධන සැලැස්මක් දෙසට යොමු නොකළහොත් සිදුවන්නේ ඉකුත් වසර 50ක කාලය සේම ඉදිරි වසර කිහිපයත් සාමාන්‍ය පරිදි දෛනික ප්‍රශ්නවලට මුහුණ දෙමින් ගෙවා දැමීමට සිදුවීමය. රවී කරුණානායකගේ ප්‍රශ්නයෙහි කෙළවරක් දැකීමට සති කිහිපයක් වැය කෙරිණි. විජයදාස රාජපක්ෂ ප්‍රශ්නයටත් එහෙමය. ඊළඟට පෝළිමේ සිටින රාජිත ප්‍රමුඛ අයගේ ප්‍රශ්නවලටත් කාලය කා දමන්නට සිදුවුවහොත් ආණ්ඩුවට වැඩ කරන්නට වෙලාවක් නොමැති වන බව සැබෑය. ඒවා ප්‍රශ්නවල කෙළවර නොවන්නේ ඔවුන් ඉවත් වී ගිය වේගයෙන්ම යළිත් සිය ස්ථාන කරා එන බැවිනි. වැරැදි අය තාවකාලිකව හෝ නතර කිරීම වැදගත්ය. එබැවින් මෙම නොවැදගත් ප්‍රශ්න අතුගා දමා ජනපති කියන ආකාරයටම ජාතියේ අනාගතයට පිරිසිදු ජාතික දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුය. එය රට වැසියන් හිස් මුදුනින් පිළිගනු ඇතැයි සිතිය හැකිය. එහෙත් ජනපති මේ වැඬේ කරන්නේ කා සමඟ ද? 66 වන සංවත්සරයෙන් පසුව හෝ ඔහු රට ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය. පක්ෂ නායකයකුට වඩා පොදු අපේක්ෂකයකු ලෙසින් පත් වූ ජනාධිපතිවරයකු ලෙස ඔහු රට දෙස බැලීමට යත්න දැරිය යුතුය.

විමලනාත් වීරරත්න

Latest Posts

කතාබහ

කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන කල් ගියත් අපක්ෂපාතී මැතිවරණයක් සහතිකයි - කාවින්ද ජයවර්ධන 2017-09-12 - ■ පළාත් පාලන ඡන්දයේ සභික අනුපාතය පිළිබඳ ගැසට්...
වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ වැලිකඩ සිද්ධියක් ගැන මං  දන්නෙ නෑ 2017-08-21 -  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්- ගෝඨාභය ර...

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01