සමයං නොවන සමයං

සමාජ

තැන එතනමඬල වුණත් එතන සිදු වූයේ නොසිදුවිය යුතු දෙයකි. ඒ ගැන ඔබ දැනටමත් තොරතුරු බොහොමයක් දනියි. ධනවාදයේ තුන් වන කාර්තුව ගෙවෙන මේ මොහොතේ ලෝකයේ කොතැනකවත් අහිංසකයන් නොමැති බව ඔබ හොඳින් දැන සිටිය යුතුය. ඇත්ත! අහිංසකයන් සිට ඇත. අහිංසක, අංගුලිමාල වූ කතාව අපි පාසල් පෙළ පොතෙන් පමණක් නොව දහම් පාසල් පෙළ පොතෙන් ද උගෙනගෙන ඇත්තෙමු.

පෙළ පොත්වල කතන්දර පිළිබඳ අප සංවාද කළ යුත්තේ වෙනම තලයක සිටය. එබැවින් කතන්දරය මඟ නොහරින්නැයි ආයාචනා කළ හැක්කේ කාටද? කිසිවකුටත් සැබෑ කතන්දරය මඟහැර යා නොහැකිය. එබැවින් අපි එනිසාම ඔබට නැවත කියමු. ලෝකයේ කොතැනකවත් අහිංසකයන් නොමැති බව ඔබ හොඳින් දැන සිටිය යුතුය.

පළමු මාරයා කඩුවෙල සිටියා

සමයංගේ සමයං කළුතර බන්ධනාග ාරයට කිලෝමීටරයක් එපිටින් සදාකාලිකවම නතර කර දමා ඇත. බන්ධනාගාර බස් රියේ පා පුවරුවේ එල්ලී හැලෙන සමයංගේ රතුම රතු මස් වැදලි අපට මේ මොහොතේ ප්‍රත්‍යක්ෂ කරන පාඩම කුමක්ද? පාඩම් ඇසීමට කිසිවකුත් කැමැත්තක් නොදක්වයි. සැමටම අවැසි පාඩමෙන් අනතුරුව නින්නාද දෙන ප්‍රතිඵලය ඇසීම පමණකි. ඔබටත් අවැසි ප්‍රතිඵලය ඇසීම පමණක්ද? එසේ නම් ඔබ දැනටමත් ප්‍රතිඵලය හොඳින්ම දනියි. අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයං දැනටමත් මළවුන් අතරය! මළවුන් වෙනුවෙන් යාච්ඥා කළ හැකි අවකාශයට ද පාතාලයේ අදිසි හස්තයන් යොමු වෙමින් තිබෙන බව දැන ගන්නට ලැබේ. ඉදින් එය පුදුමයක්ද? මිය ගිය මිනිසුන් අතරත්, දිගු වන හස්ත අතරත් පරතරය කොතෙක් නම් පටු සීමාවක පිහිටා ඇද්ද? පරතරය අතර ප්‍රශ්නය ප්‍රශ්න කළ නොහැකි තරම් ළඟ මෑතකය. (දුර ඈතක නොවේ) ප්‍රතිඵලය ගැන දන්නා ඔබට පසු ඵලය ගැන කියන්නට අප සූදානම්ය. නමුත් ඇත්ත කතන්දරය යනු ප්‍රතිඵලය සහ පසු ඵලය අතර ඇත්තේ ද කෙස් ගසක පරතරය පමණක්මය යන්න පමණකිය.

මීට වසර එකහමාරකට පමණ ඈත අතීතයේ දී ඔව්! නිවැරැදිවම පැවසුවහොත් 2015 සැප්තැම්බර් 23 වන දා කඩුවෙල උසාවි සංකීර්ණය ඇතුළත දී නිශ්චිත එක් පුද්ගලයකු ඉලක්ක කරගෙන උණ්ඩ ප්‍රහාරයක් දියත් කෙරුණේය. ප්‍රහාරය අවසානයේ උරහිසේ දරුණු තුවාල සහිතව වුවත් නිරුපද්‍රිතව සිටින්නට තරම් අවස්ථාවක් ඔහුට ලැබුණේය. රණාලේ සමයං හෙවත් අරුණ දමිත් උදයංග පතිරණ පිළිබඳ සමාජගත කතා බහක් පැන නැඟුණේ එදා එල්ල වූ ප්‍රහාරයත් සමඟිනි. ඉක්බිතිව නිශ්චලව කාලය ගෙවී ගියේය. දවසින් දවස, මාසයෙන් මාසය ගෙවී ගොස් දෙදහස් දහහතේ පෙබරවාරි මස විසිහත් වන උදෑසන එළැඹිණ. උදෑසන සාමාන්‍යයෙන් සෞභාග්‍යයේ සංකේතයකි. නමුත් සෞභාග්‍යය වුව ද විටෙක කෙනෙකුට අභාග්‍යය රැගෙන ආ හැකිය. උතුරු කළුතර, ජාවත්ත පාරේ අප අර කලින් කියූ අන්න අතනම, ඔව්! එතනමඬලම අභාග්‍යය සමයං එනතුරු ඇස ගසාගෙන සිටියේය. එතැනින් එහා කිසිම කතන්දරයක් නැත. සමයංගේ සිරුර බන්ධනාගාර බස් රියේ පා පුවරුවේ වැතිරී තිබුණේය. කුතුහලය රැඳුණු හිත් පමණක් ඔහුව දැක ගනු රිසින් එතනට එබුණේය.

ඉන් අනතුරුව ගොඩනැඟුණු කතන්දර බොහොමය. එසේ සිදු වීම ගැන පුදුමයක් නැත. කතන්දර නම් එහෙමය. ඇතැමකු සමයං පොලීසියෙන් සිදු වූ අසාධාරණයක් නිසා පාතාලයකු වීම පිළිබඳව තොරතුරු උත්කර්ෂයට නංවා තිබුණි. තවකෙක් ඊට විරුද්ධව අදහස් දක්වා සිටියහ. අහිංසකයන් ලෝකයේ කොහේවත් නොමැති වග අපි ආරම්භයේදීම ඔබට කියා සිටියෙමු. එකී කියමනට යටත් වෙන්නැයි අපි ඔබට ආරාධනා නොකරමු. නමුත් ඒ පිළිබඳ සවිඥානික වන්නැයි අපි ඔබට ආයාචනා කර සිටිමු.

සමාජය මත වැරැද්ද පැටවීම

කළ හැකි සියලුම වැරැදි සිදු කර එය සමාජය මතින්, නැතිනම් සමාජයේ එක් කොට්ඨාසයක් මතින් පිටත් කර හැරීම දැන් දැන් විලාසිතාවක් බවට පත් වෙමින් තිබේ. සියල්ලෙහිම ප්‍රතිඵලය සමස්තය වෙත බැර කිරීම කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක් බව සැබෑවකි. නමුත් සියල්ලෙහිම වැරැදිකරුවා අප - ඔබ නියෝජනය කරන අඥාත සමාජයම පමණක් විය හැකිද? තම තමන් අතෙහි වූ අඩුපාඩුකම් පිළිබඳ සවිඥානික වන්නට තරම් විවෘතභාවයක් ඇත්තේ අප අතරින් කී දෙනකු හට පමණක්ද?

අනෙක් අතට සමාජයේ එසේත් නැත්නම් බහුතරයේ බලපෑම නිසා සිදු වන, සිදු වූ, සිදු වීමට නියමිත අකටයුතුකම් නම් කොපමණද? සමස්තයක් ලෙස අපට එතැනින් පහසුවෙන් බැහැර වී යා හැකිද?

එකම කාසියක දෙපැත්ත මෙන් මේ ප්‍රතිවිරුද්ධ තර්ක දෙකම අප ඉදිරියේ දෝලනය වෙමින් තිබෙනු දක්නට ලැබේ. සමයංගේ මරණය අපට ඒ දෝලනය එක් නිශ්චිත ස්ථානයකට ස්ථානගත කර ගත නොහැකි අවස්ථාවක් නොවන්නේද?

අවුරුදු විසිඅටක කොලුවකු පාතාලයකු ලෙසට රූපාන්තරණය වූ රහස ඇත්තේ කොතැනද? අනෙක් අතට ඔහු අතින් සිදු වූ ප්‍රතිවාදී කණ්ඩායම්වල ඝාතන නම් කොතරම්ද? මත්ද්‍රව්‍ය ජාවාරම්, එකිනෙකා අතර ඇන කොටා ගැනීම්, ඝාතන දක්වා මේ සටහන මොන තරම් දුරට රැගෙන යා හැකිද යන්න පිළිබඳ ඔබ දැනටමත් දිනපතා ප්‍රවෘත්ති ප්‍රචාරණවලින් සන්නද්ධ වී අවසානය. එබැවින් අප මේ මොහොතේ සිදු කළ යුත්තේ සමයංගේ මරණය වෙනුවෙන් උද්දාම වීම හෝ හඬා වැලපීම නොවේ.

දේශපාලන ශුක්‍රාණුව සහ පාතාල ඩිම්බය

රණාලේ සමයංලා, අංගොඩ ලොක්කලා, මාකඳුරේ මදුෂ්කලා භෞතිකව නොව ආධ්‍යාත්මිකවම අවසන් කර දැමිය යුතු නිශ්චිත නිමේෂය මෙය බව කළුතර බන්ධනාගාරයට කිලෝමීටරයක් එපිටින් වූ සිදුවීම අපට සාක්ෂාත් කර දී ඇත. සමාජ අසාධාරණයන් බොහොමයක් බිහි වීම සඳහා සමාජ අසාධාරණයම බලපාන බව රහසක් නොවේ. නමුත් සියල්ල ඒ පිටම පටවා අපට නිශ්ශබ්දව සිටිය නොහැකිය. අමන දේශපාලනය සහ මජර බලය නමැති ශුක්‍රාණු නොමැතිව කෙදිනකවත් පාතාලය නමැති ඩිම්බයෙන් සමයංලා, ලොක්කලා, මදුෂ්කලා ආදී කළල බිහි වන්නේ නැත. ඉදින් මිත්‍රවරුනි, අපි හැකි තරම් ඉක්මනින් ගබ්සා කිහිපයක්ම කළ යුතුව ඇත්තෙමු. ඒ ගබ්සා කිහිපය අනාගතයේ දී බිහි වීමට නියමිත නරුම කළල කිහිපයකටම එරෙහිවය. නමුත් සටන එතැනින් නතර වන්නේ නැත. අමන දේශපාලනය සහ මජර බලය සමඟ පාතාලයේ ලිංගික සංසර්ගය ද අප සදාකාලිකවම නතර කර දැමිය යුතුව ඇත්තෙමු. සමයමක් නොවන සමයංගේ සිදුවීම අද දවසේ අපට ප්‍රත්‍යක්ෂ කරවන ප්‍රමුඛතම පාඩම වන්නේ ද එයයි! ඉදින් අප ඒ පාඩමට මේ මොහොතේ ඇහුම්කන් දිය යුතු නැද්ද...?

කසුන් සමරතුංග

janahada

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...