ලෙලි ගසාගත් පොල් ගෙඩිය ඊළඟට කෙළින්ම යන්නේ කුස්සිය හෙවත් මුළුතැන්ගෙටය. පොල් බිඳෙන්නේ එහිය. එක පොල්ගෙඩියේ බෑ දෙක ගෑනු සහ පිරිමි ලෙස නම් කෙරෙන්නේ ද එහිය. පොල් ටික ගාගත් පසුව පොල් කටුව එක්කෝ කුණු ගොඩටය. නැති නම් ළිපටය. තලල්ල උතුර ‘මිදෙල්ලමුර’ ගම්මානයේ නිවෙස්වල දී පොල් කටුවට අත්වන සාමාන්‍ය ඉරණම එසේ වුවත් රූපා කොඩිකාර (54) මහත්මියගේ නිවසේ දී නම් පොල් කටුවට අත්වන්නේ වෙනත් ඉරණමකි.
කුණු ගොඩට හෝ ගිනි ගොඩට යාමට නියමිත පොල් කටුවේ ඉරණම වෙනස් කරන්නේ රූපා කොඩිකාරගේ සහ ඇගේ සැමියා වන සුනිල් වීරසිංහ (59) ගේ දෑත්ය. පොල් කටුව පුරාණයේ දී නම් කෝප්පයක් නැති නම් භාජනයක් ලෙස භාවිත කළේය. ඊට අමතරව පොල් කටු හැන්ද, ලුණු පොල් කට්ට, රා කට්ට ආදී වශයෙන් පොල් කටුව අදත් ගමේ ගොඬේ භාවිතයෙන් ඈත් වී නැත. පොල් කටු අඟුරු ගමේ කම්මලට අමතරව රෙදි මදින ඉස්ත්රික්ක සඳහා අදත් භාවිත කරති. පොල් කටු ගැන ඒ අප කවුරුත් දන්නා දෙයයි. එහෙත් පොල් කටුවෙන් විසිතුරු අත්කම් කරන්නට දන්නේ කීයෙන් කී දෙනාද?
රූපා කොඩිකාර පොල් කට්ටෙන් වැඩ ගන්නා සූත්‍රය හොඳින්ම දනී. 2013ට පෙර ඇය දැන සිටියේ පොල් කටුවෙන් හැඳි හදන්නට පුළුවන් බවය. හැන්දට කපා ගත් පොල් කටුවේ ඉතිරි කොටස පුලුස්සා පොල් කටු අඟුරු නිපදවූයේය. ඒවා විකුණා සුළු වශයෙන් මුදල් උපයා ගත්තේය. ඇගේ මේ පොල් කටු කළමනාකරණයට සැමියාගෙන් ලැබුණේ ද අපමණ සහායකි. පොල් කටු හැන්දට සීමා වී තිබූ රූපාගේ නිර්මාණ හැකියාව වඩා විදාරණය වූයේ 2013දීය. එස්.ඕ.එස්. ළමා ගම්මාන සංවිධානය ‘ජාතික ශිල්ප සභාවේ’ අනුග්‍රහය ඇතිව ඇයට ලබා දුන් පුහුණුව නිසා දැන් ඇය දකුණු පළාතේ සිටින පොල් කටුවෙන් අත්කම් කරන දක්ෂතම නිර්මාණ ශිල්පිනියයි. 2013 තලල්ල එස්.ඕ.එස්. ප්‍රජා මධ්‍යස්ථානය ක්‍රියාත්මක කළ පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහනට සමගාමීව රූපා කොඩිකාරට නොමිලයේ ලබා දුන් පොල් කටුවෙන් විසිතුරු නිමැවුම් කිරීමේ පුහුණුව නිසාම පොල් කටු හැන්දට එහා ගිය අත්කම් ඇය අතින් නිමවූයේය. ඇතැම් නිර්මාණ පොල් කටුවෙන් නිමවූයේ කෙසේ දැයි කෙනෙකුට සිතාගන්නට බැරිතරම්ය. මේ නිසා රූපාගේ ගෙදර පොල් කටු කුණු ගොඩට හෝ ගිනි ගොඩට යන්නේ නැත. රූපා කොඩිකාර සිය නිපදවීම් සඳහා භාවිත කරන උපකරණ කට්ටලයකි. දුනු පීර, දුනු කියත, දඬු අඬුව ඇගේ මූලික උපකරණ කට්ටලය වුවත් පොල් කට්ටේ රළු පෘෂ්ඨය ඉවත් කිරීම සඳහා ඇය ග්‍රයින්ඩරය ද භාවිත කරන්නීය.
පොල් කටු අවශ්‍ය හැඩයට කපා ගැනීම වෙහෙස කර කටයුත්තකි. සියුම් ලෙස කපා ඔපලා ගැනීම ඊටත් වඩා දුෂ්කර කටයුත්තකි. නිර්මාණ කාර්යයේ ඒ දුෂ්කර අවස්ථාවන් සඳහා රූපාට උදව් කරන්නේ සුනිල් වීරසිංහය. විනෝදාංශයක් ලෙස රූපා ඇරඹූ පොල් කටුවෙන් විසිතුරු නිර්මාණ කිරීමේ කලාව අද ඇයට අමතර ආදායමක් එකතු කරන ස්වයං රැකියාවක් බවට පත් වී ඇත්තේය. රූපා ඊට යොමු වූයේ ජීවත් වීම සඳහා වත්කමක් නැති නිසාම නොවේ. ජීවත් වීමට ප්‍රමාණවත් තරම් දේපළ තිබුණත් විවේකය ඵලදායී කටයුත්තක් සඳහා යෙදවීමට ඇය සිතුවේය. මේ නිසා සාමාන්‍ය ගෘහණියකට පැවරෙන කාර්යයන් නිම වූ පසුව දවසේ අමතර කාලය ගෙවුණේ පොල් කටු සමඟය. රූපාගේ නිර්මාණවලට ඇති අධික ඉල්ලුම නිසාම දැන් ඒ තත්ත්වය වෙනස්ය. නව නිර්මාණ අත්හදාබැලීම් සහ නවීකරණය කළ නිපැයුම් වෙනුවෙන් විශේෂයෙන් කාලය වැය කරන්නට සිදුව ඇත. රූපා කොඩිකාර මහත්මියගේ නිර්මාණයන්හි විශේෂත්වය වන්නේ පොල්කටු හැන්ද වුවද ප්‍රියමනාප සිත්ගන්නා සුලු අන්දමින් නිපදවීමය. ඇය කියන්නේ තේ හැන්ද, මේස හැන්ද, ගෑරුප්පුව පවා පොල් කටුවෙන් නිපදවීමට හැකියාව ඇති බවය. ලුණු ඇසුරුම, අළු බඳුන, කුසලානය, පිඟාන, කෝප්පය, ජෝග්ගුව, ලාම්පු ආවරණය රූපාගේ අතින් නිමැවෙන සාමාන්‍ය භාණ්ඩය. නමුත් ඒවා අසාමාන්‍ය වෙහෙසක ප්‍රතිඵලය. ඇතැම් නිර්මාණ කුඩා වුව ද ඒවා සඳහා පොල් කටු 20ක හෝ 25ක කොටස් එකතු කර ඇත්තේය. රූපා සහ සුනිල් එක්ව තැනූ පොල් කටු ජෝගුව සහ කෝප්පය එවැනි නිර්මාණයකි. රුහුණු ශිල්ප අභිමානී 2016 දකුණු පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ දී දකුණු පළාතේ ‘පොල් කටු භාණ්ඩ’ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ද එම නිර්මාණයයි. සිය නිර්මාණය පිළිබඳව රූපා කොඩිකාර කීවේ මෙවැනි අදහසකි.
“මාස කීපයක් තිස්සේ එක එක ප්‍රමාණයේ පොල් කටු කපලා නිර්මාණයට අවශ්‍ය හැඩය තෝර ගත්තා. මේක ඇත්තටම අත්හදා බැලීමක්. මෙවැනි නිර්මාණ කරන්න නම් විවිධ ප්‍රමාණයේ පොල් කටු තියෙන්න ඕන. විවිධ ප්‍රමාණයේ පොල් කටු සොයා ගැනීම ටිකක් දුෂ්කර වැඩක්. ඒ වුණත් අපි මේ නිර්මාණය කළා” නිර්මාණයට දරන ලද වෙහෙස කොපමණදැයි ගණනය කළ නොහැකි නිසාම මේ දුෂ්කර කලා නිර්මාණයට මිල නියම කිරීම පහසු නැත. එනමුදු එවැනි නිර්මාණ බිහි කිරීමට තරම් රූපාගේත් සුනිල්ගේත් දෑත් පදම් වී ඇත්තේය.
ගෙදර පාවිච්චියට පොල් කටු හැඳි හදා කර්මාන්තයට අවතීර්ණ වී ‘දකුණු පළාතෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තරම් වන පොල් කටු භාණ්ඩ නිපදවීමට රූපාට ශක්තියක් වූ ඇගේ සැමියා සුනිල් වීරසිංහ සිය ස්වයං රැකියාවට යොමු වූ අන්දම පිළිබඳ කීවේ මෙවැනි කතාවකි.
“කලින් අපි පොල් කටුවලින් හැඳි හැදුවා. රූපා තමයි විසිතුරු භාණ්ඩ හදන්න එස්ඕඑස් ආයතනයේ පුහුණුව ලැබුවේ. පුහුණුවෙන් පස්සේ අපි විසිතුරු භාණ්ඩ හදන්න පටන් ගත්තා. හොඳ ඉල්ලුමකුත් තියෙනවා. මැෂින්වලින් කරන වැඩ ටික කරලා දෙන්නේ මම. මම හාඞ්වෙයාර් එකක රියැදුරෙක් විදියට කටයුතු කළා. දැන් අසනීප නිසා රස්සාව කරන්නේ නැහැ. ඒ නිසා දැන් රස්සාව මේක. ටිකක් මහන්සි වුණොත් ආදායමක් උපය ගන්න පුළුවන්.”
පොල් කටුවෙන් භාණ්ඩ නිපදවීමේ ස්වයං රැකියාව මේ තරම් ශක්තිමත් නොවූ අවධියේ රූපා කළේ ඉඳිආප්ප, ආප්ප වැනි කෑම වර්ග නිවසේ පිළියෙල කර ඒවා කඩවලට දැමීමය. දරුවන් තිදෙනකුගේ අඩුපාඩු සම්පූර්ණ කරන්නට ඒ අවධියේ ඈ අපමණ දුක් වින්දාය.
පොල් කටුවලින් භාණ්ඩ නිපදවීම පිළිබඳව පාරම්පරිකව ලැබුණු දැනුමක් රූපාට හෝ සුනිල්ට තිබුණේ නැත. එහෙත් ඒ දැනුම ඔවුන් අත්පත් කර ගත්තේය. ඇතැමෙකුට කිසිදු වැදගැම්මක් නැතැයි සිතෙන පොල් කටුවෙන් රූපා ජීවිතය දිනන්නට මාවත සාදා ගත්තාය. “හිත ඇත්නම් පත කුඩාදැයි” ජනවහරේ ඇති කියමන පැවැතෙන්නට ඇත්තේ රූපා වැනි කාන්තාවන් නිසාය. ස්වයං රැකියාව කෙරේ තිබූ ධෛර්යය සම්පන්න භාවය සහ කැපවීම නිසා අද ඇය විවිධ ගරු සම්මානයන්ට පාත්‍ර වන්නීය. අතපය හතර හොඳින් තිබිය දී කෙනෙකුට අතපාන්නේ නැතිව ජීවත් වෙන්නී කොහොමදැයි රූපා කොඩිකාර කියා දී ඇති පාඩම ඇත්තෙන්ම පොල් කටුවෙන් ඇය කළ නිර්මාණවලටත් වඩා දිදුළන්නේය.
දයා නෙත්තසිංහ
ඡායා : අජිත් සෙනෙවිරත්න