“කුණු කතා කියන්න එපා මිනිහෝ” යැයි නිතරම කියන මිත්‍රයකු අප අතර සිටියි. තමන්ට එරෙහිව හරහට, නෝක්කාඩුවට කියන ඕනෑම කතාවක් ඔහුට අනුව කුණු කතාවක් වෙයි. එබැවින් කිසිවෙකුගෙන් එවැනි කුණු කතා අහන්නට අපේ මිත්‍රයාගේ වැඩි කැමැත්තක් නැත.
සාමාන්‍යයෙන් ඔහු පමණක් නොව කිසිම කෙනෙකු කුණු කතා අසන්නට කැමැති නැත. ඒ නිසා කුණු කතා කියන්නත්, ඒවා ගැන ලියන්නත් අපේ ද ඒ හැටි කැමැත්තක් නැත. නමුත් සියල්ල කුණු වුණු දූපතක සිට දැන් කුණු ගැනම නොලියා අන් කුමක් ගැන ලියන්නද? එබැවින් මේ කතාවත් කුණු ගැනය.
මේ කතන්දරය මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳවය. ඒ ගැන දැන් අපටත් වඩා හොඳින් තොරතුරු ඔබ දනියි. කෙන්ද කන්ද වන තුරු බලා සිටීමේ ප්‍රතිවිපාක මන්ද බුද්ධික හිත්වලට තේරුම් යන්නට මීතොටමුල්ල කුණු කන්ද මිනිස්සුන්ගේ ඔළුව උඩට පත බෑවෙන තුරුම ප්‍රමාද විය. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැතැයි ඔබට නැඟිය හැකි තර්කයට අපි ද හිස නමා එකඟ වන්නෙමු.
‘සිංහල - දෙමළ’ අලුත් අවුරුද්දට පෙර සතියේ අපි ඔබට ‘සුබ’ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමින් මෙහි යම් සටහනක් තැබුවෙමු. රාමසර කන්ද පාමුල, සාලාව යුද හමුදා කඳවුර අවට පමණක් නොව දකුණේත්, උතුරේත් තවමත් අන්ත අසරණ අවතැන් වූ මිනිසුන් ගැන නැවතත් සිහිපත් කරමින් අපි එකී සටහනට එදා තාවකාලික විරාමයක් සලකුණු කළෙමු. ඒ කියා කට ගන්නට ලැබුණේ නැත. අපි දැන් නැවතත් මීතොටමුල්ල කුණු කන්ද අබියස නිරුත්තර වී සිටින්නෙමු. දැන් ඉතින් අප තවත් කුමක් ලියන්නද?
මේ සටහන ලියැවෙන මොහොතේ නාය ගිය කුණු කන්ද අතරින් හාරා පාරා ගොඩට ගෙන ඇති මළ සිරුරු, සංඛ්‍යාවෙන් තිස් ගණනක් ද ඉක්මවා ගොස් තිබේ. අවතැන් වූවන්ගේ ප්‍රමාණය තවමත් හරි හැටි ගණනය කර නැත. වාර්තා පමණක් දිනෙන් දින අලුත් වෙමින් ඇත.
ඒ අතරතුර සිදු කෙරෙන දේශපාලන නරි නාටක ගැන ලියන්නට පත්තර පිටු අපතේ හැරීමත් දැන දැනම කරන ලොකු අපරාධයකි. හොඳයි ! ඒ නිසා ඒ ගැන කතා පැත්තකින් තබා අපි ඇත්ත කතන්දරය දෙසට හැරෙමු.
මීතොටමුල්ල කුණු කන්දේ ගැටලුව දැන් වසර ගණනාවක් තිස්සේ ඇදි ඇදී එන්නකි. වරක් මේ කුණු කන්ද නිසාම මීතොටමුල්ලේ ශ්‍රී රාහුල විද්‍යාලය මාස ගණනාවක් එක දිගට වසා තැබුණේය. පාසල් ශිෂ්‍යයන්ට ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත. ගැටලුවට නිසි පිළියමක් සොයා දෙන මෙන් ඉල්ලා ගම්වැසියන් උද්ඝෝෂණය කළේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ සෑම අවස්ථාවකම පිළිතුරු වෙනුවට ලැබුණේ කඳුළු ගෑස් හා බැටන් පොලු ප්රහාරයන්ය. කන්ද නාය යන තුරුම ඒ කිසිවක් නිසා කිසිවෙකුගේ අවධානය මීතොටමුල්ල වෙත යොමු කෙරුණේ නැත. කුණු කන්ද නාය යෑමෙන් ඉක්බිතිව ද දැන් වැඩිපුර පොලිස් ආරක්ෂාව ප්‍රදේශය වෙත යොදවා ඇත්තේ ජනතා නැඟීසිටීමක් සිදු වුවහොත් එය පාලනය කිරීම පිණිසය. මේ මොන විහිළු සහගත තත්ත්වයක්ද? ජනතාවගේ ඇත්ත ප්‍රශ්න තව කොතෙක් නම් කාලයක් තළා පෙළා නිහඬ කර තබන්නද?
ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරන අන්දමට මීතොටමුල්ල කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ කැනඩාවේ ජීවත් වන ‘සුදේශ්’ නමැති ශ්‍රී ලාංකිකයාට ඊට එරෙහිව වැට බැඳුණේ පසුගිය ආණ්ඩුවේ සිටි ඇමැතිවරයකුගේ අමනෝඥ යෝජනාවක් හේතුවෙනි. මන්ත්‍රීවරයා කියන පරිදි එකී ඇමැතිවරයා ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියේ අයිතියෙන් සියයට පනහක් තමා වෙත ලබා දෙන ලෙස සිය නියෝජිතයකු හරහා සුදේශ්ට බලපෑම් කර ඇත. අවසානයේ ඒ පිළිබඳව කලකිරුණු ආයෝජකයා සිය ව්‍යාපෘතිය ද හකුලාගෙන නැවත කැනඩාව බලා පිටත්ව ගිය බව කියැවේ. ලංකාවේ දේශපාලනය ගැන දන්නා අපට මේවා අරුම පුදුම ප්රවෘත්ති නොවේ. කොහොමටත් මේ කුණු කන්ද පිටුපස තිබුණු - තිබෙන දේශපාලනය පිළිබඳව කිසිවෙකුටත් අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත. තමන්ගේ නොයෙක් ජාවාරම් සහ බල ව්‍යාපෘති සඳහා මේ කන්ද කදිම ආරක්ෂිත ආවරණයක් කර ගත් බොහෝ දේශපාලකයන්ට සහ ව්‍යාපාරිකයන්ට කන්ද පාමුල දුක් විඳින මිනිසුන් ගැන කිසිම හැඟීමක් තිබුණේ නැත. එසේ තිබෙන්නට විදියක් ද නැත. ඔවුන් හැමදාම සිදු කළේ තමන්ගේ දේශපාලන දුර්ගන්ධය වසා ගැනීමට තව තවත් කුණු ගොඩ ගසමින් කුණු කන්දේ දුර්ගන්ධය වැඩි කරලීම පමණකිය.
මීතොටමුල්ල අවට කොළොන්නාව, කඩුවෙල ආදී ප්‍රදේශවල තම තමන්ගේ බලය රැක ගැනීම පිණිස එකිනෙකා මරා ගැනීමේ සිට එකිනෙකාට මඩ ගසා ගැනීම දක්වා විහිදුණු දේශපාලන ඉතිහාසයක කිසිම දේශපාලකයකු ඡන්ද ගුණ්ඩුවක් ලෙස මේ කුණු කන්ද භාවිත කළා විනා ස්ථිර විසඳුමක් ඒ වෙත ලබා දෙන්නට උත්සාහ කළේ නැත. අප අද අත් විඳිමින් සිටින්නේ ඔවුන්ගේ එකී ක්‍රියාවලියේ අනිවාර්යතම ප්‍රතිඵල මිස අන් යමක් නොවෙයිද?
අනෙක් අතට මේ සමස්ත සමාජ - දේශපාලන ක්‍රියාවලියෙන් අත් මිදී ඔබ - අප හැමට පිලාත් නඩුකාරයා මෙන් දෑත් සෝදා පිරිසිදු වී, පසෙකට වී සිටිය හැකි ද? අද මීතොටමුල්ල කුණු කන්ද යට වැළලුණු මිනිස් ජීවිතවල වගකීමෙන් අවම තරමින් අංශු මාත්‍රයක හෝ බරක් මේ මොහොතේ අපේ උරහිස් මත පතිතව නැද්ද? ස්වභාව ධර්මයා පමණක් නොව මිනිසා විසින් නිපද වනු ලැබූ ‘කෘතිම ධර්ම’ පවා විටින් විට, මේ දිගින් දිගටම අපට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන්නේ සමාජයක් ලෙස අප ගමන් කළ යුතු නවමු දිශාවක් ඇති වග නොවේද? ඉතින් තවදුරටත් පමා වන්නේ කුමකටද?
ඉතිහාසය අපට පාඩම් උගන්වයි. ඒ පාඩම් ග්‍රහණය කර ගැනීම හෝ මඟ හැර යෑම අප සතු වගකීමය. වර්තමානය වුව අනාගතයේ දී වැටෙන්නේ ඉතිහාසය ගණනටය. එබැවින් එකී අනාගතයේ දී අප ඉතිහාසයෙන් පාඩම් උගත් බව පෙන්වන්නට නම් වර්තමානයේ ‘මීතොටමුල්ල පාඩමෙන්’ වුව ද ලබා ගත හැකි මඟ පෙන්වීම්, පාඩම් සහ අභ්‍යාස බොහොමයක් තිබේ.
කසුන් සමරතුංග