මහත්වරුනි ම්ලේච්ඡත්වයට එරෙහි වීම ජාතිවාදයද?

කලා

සරසවි සම්මානෙත් මහින්ද චින්තනේමැයෙන් සත්හඬ-සිහිනයඅතිරේකයේ පළවන සංවාදයට මුක්කු ගසන - මඟතොටදී හමු වූ විට මඳක්  නැවතී වචනයක් දොඩන්නට තරම් අප හා හිතවත් ආරියතිලක පීරිස් මා ජාතිවාදියකු ලෙස ලේබල් ගසයි. ඔහු එසේ පවසන්නේ මඟතොටදී කතාබහ කිරීමෙන් එහා මා පිළිබඳ නොදන්නා කෙනෙකු වන බැවින් මම ඒ ගැන පුදුම නොවෙමි.

යමෙකු ජාතිවාදියෙකු හෝ වර්ගවාදියෙකු ලෙස හංවඩු ගසන්නේ කවර අර්ථයකින්දතමන් අයත්වන ජාතිය හෝ වර්ගය සුපිරි ගණයේ යැයි විශ්වාස කරමින්, අන් ජාතීන් පහත් කොට සලකමින්, ඔවුන් තමන්ගේ යටත් වැසියන් විය යුතු යැයි සිතන හා ඒ අනුව ක්‍රියාකරන, එමෙන්ම ඔවුන්ගේ අයිතීන් පාගා දමමින් දෙවන මට්ටමක පුරවැසියන් සේ යටහත්පහත්ව ඔවුන් විසිය යුතු යැයි සිතන මුග්ධයන් ජාතිවාදීන් ලෙස හැඳින්වීමට මම පසුබට නොවෙමි.

ඉහත ආකාරයේ භාවිතාවක් නැති, තිරිසනෙකු ජාතික කොඩියේ එල්ලාගෙන ඊට වන්දනා මාන නොකරන, පට්ටපල් කෙබර ගයන ජාතික යැයි කියන්නා වූ වන්දිභට්ට ගීයක් හිස මුදුණේ තබා නොගන්නා, දෙමළාට මෙන්ම මුසල්මානුවාට ද සිහලා තරමටම නිදහසේ, තමන් රිසි සේ මේ රටේ ජීවත් වීමට අයිතියක් ඇතැයි කොන්දේසි විරහිතව පිළිගන්නා පුද්ගලයකු වන මා ජාතිවාදියකු ලෙස හංවඩු ගසන්නට යෑම තේරුම් ගත යුත්තේ වචනයෙන් පමණක් ජාත්‍යන්තරවාදියකු සේ පෙනී සිටින එහෙත් චින්තනමය වශයෙන් පොසිලයක් වූවකුගේ ප්‍රලාපයක් ලෙසිනි.

මා තුළ ජාතිවාදියකු සිටී යැයි මා දන්නා හඳුනන කිසිවකුත් නොකියනු ඇත්තේ මගේ භාවිතය එසේ නොවන බැවිනි. සරසවි ශිෂ්‍යයකුව සිටිය දී 83 කළු ජූලිය මුව විට තබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැන නැඟි දෙමළ විරෝධී මෘග ප්‍රහාරය ඉදිරියේ සහෝදර දෙමළ සිසුන් රැක බලා ගනිමින්, අවස්ථානුකූලව ආරක්ෂිත ලෙස සිය ගම්බිම් කරා පිටත් කර හැරීමේ අවදානම්සහගත ක්‍රියාවලියට මූලිකත්වය දුන් ආකාරයද, 83 ජූලියේ සිංහල ජාතිවාදීන්ගේ මෘග, පාදඩ, මිනීමරු ප්‍රහාර ඉදිරියේ ඔවුන්ගේ කඩු කිනිසි මැදින් දෙමළ, මුස්ලිම් පවුල් බේරා ගැනීමට කටයුතු කළ ආකාරය ද, ඉන් පසු බොහෝ අවස්ථාවල දී දකුණේ සිංහලයාගේ නොසන්සුන්තා ඉදිරියේ දෙමළ පවුල්වලට රැකවරණ දීමට පෙරමුණ ගත් ආකාරය ද දන්නා කිසිවකුත් මා ජාතිවාදියකු ලෙස ලේබල් කිරීමට ඉක්මන් නොවනු ඇත.

tagආරියතිලක මා ජාතිවාදියකු යැයි කියන්නේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ, ජන සංහාරක උමතුභාවයට ඔහුගේ භාෂාවෙන්ම පිළිතුරු දීම හැර වෙන විකල්පයක් නොවී යැයි මා කියන නිසාය. වෙනත් ජාතීන්ට අයත් ජනයා තමන් සලකුණු කර ගත් දේශ සීමාවෙන් පිටතට පලවා හැරීමෙන් නොනැවතී, දකුණේ අහිංසක ජනයා සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව බෝම්බ අටවමින්, වෙඩි තබමින් සංහාරයේ යෙදුණු ප්‍රභාකරන් නමැති උමතු භීෂකයා නවතන්නට නොහැකි වූයේ රටේ දේශපාලකයන්ගේ නපුංසක බව නිසාමය. ජේ.ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් මෙන්ම මහින්ද ද කිසියම් කාලයක් තුළ යක්ෂයා පලවා හරින්නට දොළ පිදේනි දුන්නා අපට හොඳින් මතකය. එහෙත් දෙමළාගේම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි EPRLF" EROS" TELO" PLOTE වැනි සංවිධානවල සාමාජිකයින් වූ තම වර්ගයාවම විනාශ කරමින් දෙමළාගේ ධජය සියතට පමණක් ගන්නට අන්ත ෆැසිස්ට්වාදී එළැඹුමක යෙදුණු ප්‍රභාකරන්ගේ ගමන ඔහුගේ භාෂාවෙන්ම නැතහොත් යුද ප්‍රහාරයකින්ම නිමා කරන්නට මහින්ද රාජපක්ෂ නායකත්වය දීම නිවැරැදි යැයි කියන විට මා ජාතිවාදියකු නම්, මා හඳුන්වන්නට සුදුසු නිවැරැදි වචනය එයම නම්.... ඒ ගැන මා වෙත කිසිදු කම්පාවක් නැත.

යුද බිමේ දී කවර තරාතිරමේ නායකයකුට වුව ක්‍රියා කරන්නට සිදු වන්නේ ඉහළ දේශපාලන නායකත්වයේ ඕනෑ එපාකම්වලට අනුවය.   වඩමාරච්චි මෙහෙයුමේ දී ප්‍රභාකරන් කොටු වූ විට බ්‍රිගේඩියර් කොබ්බෑකඩුවට ඉන් එහා පියවර ගන්නට නොලැබෙන්නේ ජේ.ආර්.ගේ නියෝග මතය. ඉන්දියාව මුහුදෙන් ආක්‍රමණය කරන විට ඊට එරෙහිව අවි අමෝරන්නටත්, අහසින් පරිප්පු හෙළා ශක්තිය පෙන්නූ විට IPKF ඉන්දීය සාම සාධක හමුදාවට උතුරේ පාලනය බාර දී ලංකා හමුදාවට  බැරැක්ක තුළ ගාල් වන්නටත් සිදු වන්නේත් ජේ.ආර්.ගේ නායකත්ව තීන්දු මතය. මේ ආනිශංසය සරත් ෆොන්සේකාට කියා වෙනසක් නැත. සියලු අවසන් තීන්දු ගන්නේ දේශපාලන නායකත්වයයි. එහෙයින් මහින්දට උවමනා නොවූයේ නම් ෆොන්සේකාට කරන්නට පුළුවන් කෙංගෙඩියක් නැත.

ඒ ආකාරයෙන්ම දළදා මැදුරට ප්‍රහාර එල්ල කර අරන්තලාවේ භික්ෂු ඝාතනය කළා යැයි ආරියතිලක හඳුන්වන කරුණා අම්මාන් මෙන්ම පිල්ලෙයාන්, කේ.පී. වැන්නවුන් අනිවාර්යයෙන්ම කටයුතු කළේ ද කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නියෝග මතය. සංහාරයේ නියමුවා විනාශ කරන්නට උපක්‍රමශීලීව පසුපෙළ නායකයින් බිලී බා ගැනීමේ යුද උපක්‍රමය සඳහා ඔවුන් තුරුලට ගත්තා යැයි චෝදනා කිරීමෙන් පෙනෙන්නේ ආරියතිලකලා ම්ලේච්ඡ ජන සංහාරක ප්‍රභාකරන් කෙරෙහි දක්වන ලිහිල් අනුකම්පාසහගත ළබැඳියාවයි. මිසයිල් ප්‍රහාරවලින් විසිතිස්දාහක් විනාශ වූවා යැයි ඔහු කම්පා වන්නේ එබැවිනි.

එසේ නොකර යුද්ධය වවාගෙන කමින් වසර ගණන් ඇදී යන අමානුෂික, ජන සංහාරක යුද්ධයේ දී බිම් බෝම්බ, ක්ලේමෝ බෝම්බ, ආර්.පී.ජී. සහ කාල තුවක්කු ප්‍රහාරවලින් දෙපැත්තේම ලක්ෂ ගණන් සාමාන්‍ය ජනතාව මෙන්ම බිලි බෝයිස්ලා ජීවිතක්ෂයට පත් වීම තිස් වසරකටත් වඩා  ඇදී ගිය යුද්ධයේ දී අපි අත් වින්දෙමු. අත් විඳිමින් සිටියෙමු. ආරියතිලකලා කියන්නේ එක වර විනාශය නිමා කිරීමට වඩා දිගින් දිගට කරන හොරා පොලිස් සෙල්ලමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් කිරීම හා ඝාතනය කිරීම වඩාත් හිතකර බවද?

ජේ.වී.පී.යද මේ කතිකාවට සම්මුඛ කොට ගැනීමෙන් ආරියතිලක අදහස් කළේ දකුණේ ජේ.වී.පී. ක්‍රියාකාරකම් හා උතුරේ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාර සංසන්දනාත්මකව ගළප්පා ගැනීමට නම් එය දේශපාලනික නොපැසුණු බව ලෙස මිස අන් කවරාකාරයෙන් තේරුම් ගන්නද?

ඉතිහාසය පුරා සමස්ත ලෝකයම අති වාමාංශික කැරැල්ලක් කොතරම් දරුණු ක්‍රියාමාර්ගවලට පිළිපන්නත් ඊට ප්‍රතිචාර දක්වන ආකාරයත්, ම්ලේච්ඡ ෆැසිස්ට් ව්‍යාපාරයක් දෙස බලන ආකාරයත් එකිනෙකට සහමුලින්ම ප්‍රතිපක්ෂය. ලෙනින්ගේ රුසියානු විප්ලවය දෙස බලන ආකාරයට හිට්ලර්ගේ නාසිවාදී ෆැසිස්ට් ආක්‍රමණය දෙස දේශපාලනිකව බැලීමට නොහැකිවා මෙනි. දෙමළ ජනතාවගේ විමුක්තිය සඳහා ඇරඹුණ විමුක්තිකාමී සටන් සංවිධාන බුල්ඩෝසර් කොට විනාශයම සිය අවිය කර ගත් කොටි සංවිධානය කිසිසේත්ම විමුක්ති සංවිධානයක් නොව ෆැසිස්ට් ව්‍යාපාරයකි.

දැන් සම්මාන පිළිබඳ කතා බහට එළඹෙමු

කල්ලිවාදී නොවන සිනමාකරුවෙකු ලෙස මා සලකන උදයකාන්ත වර්ණසූරිය ඉතා නිවැරැදිව කියා ඇති පරිදිම මහරජ ගැමුණුට සහ ජැක්සන් ඇන්තනීට සම්මාන දීම දේශපාලන ව්‍යාපෘතියක කොටසක් ලෙස ගුණසිරි සිල්වාගේ මතය මාද විශ්වාස කරන්නේ නැත. සම්මාන පිදීමේ දී නොගැළපෙන තැන් නැත්තේ කොයි සම්මාන උළෙලේද..?  “සරසවිසම්මාන උළෙලේදී ද එසේ වී ඇත්තේ ජූරි සභාවේ විවිධ රුචි අරුචිකම් මතය. මා ගුණසිරි සමඟ ගැටුණේ මේ කරුණ අරබයාය.

කොටින්ම ජැක්සන්ට හොඳම නළුවා සම්මානය ලැබීම සහ ඒ සම්මානය ගන්නට ඔහු උජාරුවෙන් ගිය ආකාරය ගුණසිරි විවේචනය කර තිබුණේ මහින්ද චින්තනය ගාවාගෙනය. මේ ගැන ඇති වූ සංවාදයේ දී ගුණසිරි මගේ අවසන් ලිපියට පිළිතුරු දෙන්නට මඳක් තත්ත්පර වී සිටින්නේ ඊට වඩා වැදගත් වැඩ ඔහුට තිබෙන නිසා වන්නට පුළුවන. නැත්නම් සෙක්කුව වටේ කරකැවෙන්නා සේ එකම දේ පුනරුච්චාරණය කිරීමෙන් එලක් නැති නිසා ද වන්නට පුළුවන. (බලධරයන්ගේ අවධානය සඳහා  ලෙස්ටර් පිළිබඳ ඉතා අගනා ලිපියක් ගිය වර සිහිනයඅතිරේකයට ලියන්නට ගුණසිරි කාලය මිඩංගු කර තිබීම අර්ථවත් ය.)

බොහෝදෙනෙකු නොදන්නවා යැයි මා සිතන සංසිද්ධියක් සිදු වූයේ නම් ජැක්සන්ට සම්මාන දුන්නේ මහින්ද චින්තනයෙන් යැයි ගුණසිරිට ලියන්නට සිදු වන්නේ නැත. ශ්‍යාම් ප්‍රනාන්දු රඟන ගුණසිරි උත්කර්ෂයට නංවන නමුදු පරිපූර්ණ රංගනයක් බවට පත් වී නැතැයි මා කියන ඔබ නැතුව ඔබ එක්කචිත්‍රපටයේ ප්‍රධාන චරිතය ප්‍රසන්නගේ පළමු නළුවරණයට අනුව ජැක්සන් රඟපෑවා නම් සරසවිසම්මාන උළෙලේ හොඳම නළුවා වන්නේ එකී චරිත නිරූපණය වන්නට ඉඩ තිබිණ. මන්ද ජැක්සන් ඇන්තනී ප්‍රසන්නගේ ආරාධනය පිළිගත්තා නම් එම චරිතයට ඉහළම සාධාරණයක් කරන්නට ඔහුගේ පුළුල් රංගන ධාරිතාව මත ජැක්සන් කැපවෙන බැවිනි.

■ හෙන්රි වර්ණකුලසූරිය

පෙර ලිපි

හෙන්රි ජාතිවාදීයි! - උළෙලම ඛේදවාචකයක්!!

සම්මාන දෙකෙන් ලොකු එක කෝකද?

මහාවංශය ලිව්වෙත් මහින්ද චින්තනේට අනුවද?

ගැහුවේ චින්තනේට වැදුණෙ හෙන්රිට

මහින්ද චින්තනේ වටේ ම කැරකී තලියේ කිඹුලන් සොයන්නේ ඇයි ?

සරසවි සම්මානෙත් මහින්ද චින්තනේ

janahada

Latest Posts