බීරවාදය

කතුවැකිය

2017-11-19

සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල අඩු කරන්නටත් එපා කියති. මත්පැන් පානයෙහි වින්දනයක් නැතැයි කීමට තරම් අප කුහක විය යුතු නැත. බීර මිල අඩු කළේ ලංකාවේ සැර මත්පැන් පානයේ තිබෙන වේගය තරමක් හෝ බාල කිරීමටය.

ජනාධිපතිවරයා සැර මත්පැන් හෝ බීර පානය නොකරන අයෙකි. ඔහු බීර බදු අඩු කිරීමට විරුද්ධය. රාජිත හා චම්පික වැනි ඇමැතිවරුත් විරුද්ධය. ඔවුන් දෙදෙනාත් මත්පැන් පානය නොකරන අය විය හැකිය. ඔවුන් කියන්නේ මෙම පියවරෙන් සැර මත්පැන් පානය අඩු නොවන බවය. එමෙන්ම බීර මිල අඩු කිරීම නිසා අලූත් පිරිසත් බීර පානයට යොමු විය හැකි බවය. රාජිත කියා තිබුණේ කසිප්පු පානයට තදින් ඇබ්බැහි වූවන් 49%ක් සිටින බවට දක්වා ඇති සමීක්ෂණ වාර්තාවෙහි ඇත්තත් නැති බවය. අප දන්නා සත්‍ය නම් මත් පැන් මිල ඉහළයාම වැඩි වන විට කසිප්පු පානය වැඩි වී තිබීමය. සැර අත්‍යවශ්‍ය වී තිබෙන අප දැන් කරමින් සිටින්නේ බීර කෑනයක් සහ ගල් අරක්කු කාලක් මිශ‍්‍ර කර බීමය. එය අවම වියදමකින් සූර් විය හැකි ක‍්‍රමයක් ලෙස බොහෝ දෙනකු සොයා ගෙන ඇත.

කොළඹ විශ්වවිද්‍යාලය මඟින් කරන ලද සමීක්ෂණයකට අනුව ලංකාවේ බීර භාවිතය 13%කි. වයින් 2%කි. සැර මත් පැන් පානය 85%කි. වෙනත් රටවල මෙම සංඛ්‍යා ලේඛන සලකා බැලූවහොත් බොහෝ රටවල තිබෙන්නේ එහි අනෙක් පැත්තය. ඒ අනුව ලංකාව කුජීත වෙන්නම බීගෙන ඉක්මනින් මැරෙන ජනතාවක් වාසය කරන රටකි. මේ තත්ත්වය වෙනස් විය යුතු නැද්ද? මත් පැන් භාවිතයෙන් තොරව සතියේ දින හයක් වත් ගත කළ හැකි නම් රටේ වැඩ මීට වඩා කාර්යක්ෂම කර ගත හැකිය. මන්ද මත් පැන් පානයට සෑහෙන කාලයක් ගත කිරීමට ද සිදු වෙයි. ගෙදර යන ගමන් දෙකක් නමාගෙන යනවා නම් ඒ සඳහා ලොකු කාලයක් ගත නොවන නමුත් සෙට් වෙනවා යන අදහසින් මිතුරන් සමඟ සාමීචීයට එකතු වීමේදී ගෙදර වැඩත් දරුවන්ගේ වැඩත් රාජකාරී වැඩත් අතපසු වීම නොවැළැක්විය හැකිය.

 ලංකාවේ වැඩි දෙනෙක් ගල්කාරයෝ වෙති. මුදල් යහමින් තිබෙන අයත් ගල් අරක්කු බීමට හේතුව එය ශරීරයට අගුණ නොවන නිසා යැයි කියයි. එහෙත් ගල් ඇඟට ගුණ බව නොකීමටත් ඔවුහු පරිස්සම් වෙති. ඇමැති ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න කීවේ වැඩ කරන අඩු ආදායම්ලාභී බහුතරයක් (කසිප්පු නොබොන) ගල් බොන නිසා රු. 700කට ගල් බෝතලයක් ලබා දිය යුතු බවය. එහෙත් ගල් බාගෙට බාගයක් මිල අඩු කළ හොත් රජයට ඉන් ලැබෙන ආදායම එපමණකින්ම අහිමිවෙයි. එවිට සෙනෙවිරත්න මහතාට ලබා දෙන වරප‍්‍රසාදවලිනුත් බාගයක් කපා හැරීමට සිදුවෙයි. ලංකාවේ ජනයාට ජනාධිපතිතුමා වගේ නොබී සිටියහොත් කුමක් වේද? එය ජනයාගේ ශරීර සෞඛ්‍යයට හොඳ විය හැකි වුවත් ආණ්ඩුවක ශරීර සෞඛ්‍යයට එය හොඳ විය නොහැකිය. ජනාධිපතිවරයා එක් අවස්ථාවක කීවේ බීමෙන් ලෙඩ වන අයට ප‍්‍රතිකාර කිරීමට රජයට ලොකු වැයක් දරන්නට සිදු වන හෙයින් බීලා ලෙඩ වන අයගෙන් රෝහල් ගාස්තු අය කර ගත යුතු බවය. එහෙත් බීලා ලෙඩ වන හැමෝම රජයේ රෝහල්වලට එන්නේ නැත. බීලා ලෙඩ වූවාට පසු කරන වියදමත් ජනතාව, මත් පැන් ප‍්‍රතික්ෂේප කළහොත් රජයට අහිමි වන බදු ආදායමත් සලකා බැලූවහොත් රජය මත්පැන්වලින් ලබන ආදායම වැඩි බව පෙනෙනු ඇත. මත් පැන් බදු ආදායම වැය කරන්නේ රෝහල්වල කටයුතුවලට පමණක් නොවේ.

 රජයකට ලොකු ආදායමක් එන්නේ මධ්‍යසාර බදුවලිනි. එබැවින් ජනතාව සම්පූර්ණයෙන් මධ්‍යසාර ප‍්‍රතික්ෂේප කරන මට්ටමට පත් කළ යුතු නොවේ. එබැවින් මධ්‍යසාර පානයට ඇමැති මංගල සමරවීර යෝජනා කරන වර්ගයේ ප‍්‍රතිපත්තියක් වුවමනාය. සරොම් කඩාගෙන කුජීත වන්නට නොව සිහි නුවණ ඉවත්ව නොයන ආකාරයට ජනතාව මධ්‍ය පානය කිරීමෙහි වරදක් නැත. කොහොමටත් රටේ මේ ගැන දැනුවත් පිරිස් සංවාදයකට අවශ්‍ය උත්තේජනයක් ලෙස මධ්‍ය පානය කරති. නිර්මාණශීලීව හිතන්නට එය උපකාරි වෙයි. මිතුරු ඇසුරට එය වැදගත් වෙයි. 50 - 60 දසකවල දිසාපතිවරුන් වැනි රජයේ උසස් නිලධාරීහු සිය කනිටු නිලධාරීන් සමඟ සන්ධ්‍යාවේ අවන්හලකට ගොඩවැදී මධ්‍යසාර කේන්ද්‍ර කරගෙන එවැනි සංවාදවලට මුල පුරති. රාජකාරිය ඉගැන්වීමේ හා එම කනිටු නිලධාරීන්ට සමීප වීමේ උත්තේජකයක් බවට මධ්‍යසාර පත්වෙයි. එමෙන්ම දවසක වෙහෙස නිමාකර සැහැල්ලූව ළඟාකර ගැනීමට ද මධුවිත උපකාරි වෙයි.

 එහෙත් ප‍්‍රශ්නය ඇති වී තිබෙන්නේ ලංකාවේ ජනයා කුජීත වෙන්නට ගසා අරක්කුවලට ආත්මයේ සිට අන් සියල්ල පාවා දෙන මට්ටමට පැමිණ තිබෙන නිසාය. ගෙවල්වල කටයුතු බීමත්කම නිසා අවුල් කරගෙන තිබෙන හෙයිනි. නුවරඑළියේ වතු ජනයා 95%ක් කසිප්පු භාවිත කරති. පුත්තලමේ එම සංඛ්‍යාව 78% කි. හම්බන්තොට 40%කි. මේ තත්ත්වය උඩ ජනාධිපතිවරයා සියලූ ආකාරයේ මත්පැනට විරුද්ධවීම අතිශයින් සාධාරණය. හවස්වරුවේ වින්දනය පිණිස කරන මේ කවුරුත් රු. 270කට බීර බෝතලයක් පානයෙන් සෑහීමකට පත්වන සංස්කෘතියකට ඇතුළු විය හැකි නම් ඇත්තටම මංගලගේ යෝජනාව පළ දරනු ඇත. ප‍්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, ඩෙන්මාකය වැනි දියුණුම රටවල ස්ප‍්‍රීතු පානය 14% - 20% අතර ප‍්‍රමාණයකි. එනම් 80%කට වැඩි පිරිසක් පානය කරන්නේ බීර හා වයින්ය. ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය නිසැකවම අපට වඩා යහපත් විය හැකිය. එක්කෝ අප, කසිප්පු මේ තරම් නීති විරෝධී දෙයක් බවට පත් නොකර රුසියාවට වොඞ්කා බඳු ලෝකයේම උසස් පානයක් බවට පත් කළ යුතුය. ඒ සමඟම කසිප්පුවල සැර හා ගඳ අඩු විය යුතු අතරම ඊට වොඞ්කා වැනි සුන්දර නමක්ද යෙදිය යුතුය. එවිට වෙනම ලොකු ආදායමක් ද රජයට ලැබිය හැකිය. කංසා වැනි ඖෂධ පවා හේන් පිටින් ගිනි නොතියා පිට රටකට ආනයනය කර රජයට හොඳ ආදායමක් ඉපැයිය හැකිය. කේ.ජී. වැනි ශරීරයට අහිතකර මත්ද්‍රව්‍ය ලංකාවට මේ සා හොරෙන් එනවා නම් නීත්‍යානුකූලව ලංකාවේ කංසා, නෙදර්ලන්තය වැනි කංසා පානය සංස්කෘතියට ඇතුළු කරගත් රටකට අපනයනය කිරීම ගැන සලකා බැලිය හැකිය. වඩා වැදගත් වන්නේ බීර බදු අඩුවීම ගැන වාද කරමින් සිටීම නොව මේවා ගැන මීට වඩා විවෘත මනසකින් බැලීමය. එමෙන්ම වාද විවාද කර පිළිතුරු සපයා ගත යුතු මීට වඩා වැදගත් ප‍්‍රශ්න රටෙහි ඇති බව අවධාරණය කර ගැනීමය.

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...