හොඳ පුංචි ඡන්දෙ

කතුවැකිය

2017-12-17

පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත් පාලන මැතිවරණය ජනතාවගේ සිත් තුළ වැඩකරන්නේ කෙසේද? මුලින්ම පෙනෙන තත්ත්වය නම් මෙය පුංචි ඡන්දය යැයි හැඳින්වූවාට එහි ඇති පුංචිකමක් නැති බවය.

පුංචි ඡන්දයට ඉදිරිපත්ව සිටින ඇති හැකි අපේක්ෂකයෝ දැනටමත් ප‍්‍රාඩෝ, ඉන්ටකූලර් ආදී රථවල වර්ණ ස්ටිකර් අලවාගෙන මාර්ග සංචාරය කරති. මේක හොඳ පුංචි ඡන්දෙ යැයි කියවෙන්නේ ඒවා දකිනවිටය.

බොහෝ දෙනෙකුගේ අදහස මෙය ගමේ මිනිහා දිනවන ඡන්දයක් නිසා පක්ෂ සහ නායකයන් මේ ඡන්දයට ඒ තරම් අදාළ නොවන බවය. එය හැමදාම කියූ පැරණි අදහසකි. බොහෝ අය එසේ කියූවත් අවසානයේ දී අතිබහුතරයක් ඡන්දය දී තිබෙන්නේ තම තමාගේ පක්ෂවලටය. මෙය ගමේ හිතවතා දිනවන ඡන්දයක්, ඒ නිසා  ඕනෑම කෙනකුට ඡන්දය දිය හැකිය යන කතාව නොකීවේ ජවිපෙ පමණි. මේ වන විට නම් ඡන්දය කාට දුන්නත් එකයි යන ස්ථාවරයට ජනතාව පැමිණ සිටින බවක් පෙනේ. ‘ජවිපෙට ගම දීලා බලමු’ යනුවෙන් ජවිපෙ ගමේ ඡන්දය වෙනුවෙන් නිර්මාණය කළ පෝස්ටරය වඩාත් ආකර්ෂණීය වුවද ජනතාව ජවිපෙට ගම දීලා බලනවා වැනි එක්ස්පෙරිමන්ට් සිදු කිරීමට සූදානමක් ඇති බව සිතිය නොහැකිය. එසේ දීලා බලනවා නම් දීලා බලන්නේ මීට බොහෝ කලකට පෙරය. එක් අවධියක දී ජවිපෙ තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව හොඳින් කළ බව කවුරුත් පිළිගනිති. එහෙත් මහින්ද රාජපක්ෂගේ බල ව්‍යාපෘතිය හමුවේ ඊළඟ ගමේ ඡන්දයේ දී තිස්මහාරාමයත් ජවිපෙන් හෝදාගෙන ගියේය. ජවිපෙ එම කාලය තුළ අදාළ ව්‍යාපෘති 100%ක්ම හොඳින් ඉටු කිරීමට කි‍්‍රයා කර තිබුණි. එහෙත් ඊළඟ ගමේ ඡන්දයේ දී ජනතාව ඒවා ගැන සලකා බැලූවේ නැත. තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව තුළ කටයුතු කළ ආකාරය අනුව නම් ජවිපෙට ගම දීලා බලමු කියන යෝජනාව අසාධාරණ නැත. එහෙත් ජනතාව මේ වන විට කිසිවෙක් විශ්වාස නොකරන මට්ටමකට පත්ව සිටින බව පෙනේ.

එසේ නම් ගම දිනන්නේ කවුද? මෙහිදී ශ‍්‍රීලනිපයට තිබෙන ප‍්‍රධාන වාසිය නම් එය ආණ්ඩු බලය හොබවන පක්ෂය වීමය. එබඳු තත්ත්වයක් තුළ ආණ්ඩු පක්ෂයට ජන සංකේන්ද්‍රණය වැඩිය. එමෙන්ම ඇතැම් පක්ෂවලින් බිඳී ගිය ප‍්‍රධාන හා අප‍්‍රධාන පිරිස් ජනපති හමු වී ශ‍්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත්හ. එය එක්තරා රැල්ලක් ලෙස කි‍්‍රයාත්මක වුවහොත් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂවලට ගමේ ඡන්දයේ දී කළ හැකි දෙයක් නොමැති වනු ඇත. එමෙන්ම ජනාධිපතිවරයා ගමේ ජනයාගේ මනසට ආමන්ත‍්‍රණය කිරීමට සහ ඔවුන්ට සමීප වීමට සාපේක්ෂව වැඩි හැකියාවක් දක්වන නායකයකු ලෙස කැපී පෙනේ. මම ජනතාව සමඟ පාරට බහිනවා යනුවෙන් මෑතක දී ඔහු ප‍්‍රකාශයක් කළේය. සැබැවින්ම ඔහු සමඟ පාරට බසින කොටසක් ඔහුට ඡන්දය දුන් හැට දෙලක්ෂය අතර සිටියි. මේ කාලය තුළ ඔහු ගත් ඇතැම් අදූරදර්ශී තීරණ නිසා ඔහු සමඟ පාරට බසින තීරුව සිහින් වන්නට පුළුවන. තමා සමඟ පාරට බසින තීරුව පළල් කර ගැනීම ජනපතිවරයාගේම වගකීමකි. ඔහු ඒ සඳහා කළ යුතු මඟ හැරුණු කටයුතු රැුසක් ඇත.

මහින්ද රාජපක්ෂ දක්ෂ නළුවකු ලෙස ගමේ ජනයාට සමීප වූ බව සැබෑය. 2015 ජන. 08 ඔහු පරාජය වූයේ 2014 අග බාගයේ සිට ඔහුගේ රංගනය ක‍්‍රමයෙන් ජනතාව අතර හෙළිදරව් වූ නිසාය. සිංහල ජනයා ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් අවුස්සා දමන්නට තවමත් ඔහුට හැකිය. නව ව්‍යවස්ථා යෝජනාවලිය රට බෙදන මර උගුලක් බව ඔහු කියන්නේ එම අරමුණ පෙරදැරිවය. ගමට ගොස් මේ කතාව කියූ විට වැඩිදුර විස්තර සොයා නොබලා ගමේ ජනයා මේ කතාව විශ්වාස කිරීමට ද ඉඩ ඇත. ඒ ක‍්‍රමයටම සංඝ සමාජය ඉදිරියේ කොහොල්ලෑ බබාගේ රංගනය ඉදිරිපත් කිරීමට ද ඔහුට හැකිය. එහෙත් ඒ සියල්ල කළත් මහින්ද 2015 ජන.08 සිට පසු වන්නේ ඡන්ද ලක්ෂ 4ක් නැතහොත් 5ක් පිටුපසින් බව පැහැදිලිය. වත්මන් ආණ්ඩුව හිතූ තරම් හොඳ නැති වුවත් තවමත් ජනතාවට මහින්ද  ඕනෑ වී නැත. ජනතාවට විකල්පයක්  ඕනෑ වන්නට පුළුවන. එහෙත් විකල්පය මහින්ද නොවන බව නම් පැහැදිලිය. එබැවින් ඡුන්දයේ දී ගමේ මිනිහාට වඩා පක්ෂයට ඡන්දය දෙන ප‍්‍රතිපත්තිය උඩට මතු වන බැවින් ඒකාබද්ධ විපක්ෂයට ගමෙහි ලොකු බල අවකාශයක් දිනා ගත හැකි යැයි සිතිය නොහැකිය.

එජාපය පසුවන්නේ එක්තරා ජයග‍්‍රාහී මට්ටමකය. එහෙත් එම ජයග‍්‍රහණය තහවුරු වනු ඇත්තේ ගමේ ඡන්දය මෙහෙය වන පුද්ගලයන්ගේ දක්ෂතාව හා කාර්ය ශුරත්වය මතය. ජවිපෙ හැර සෑම පක්ෂයකටම හුදෙක් සිය පක්ෂ නායකත්වය මත යැපෙන්නට සිදු වීම වත්මන් එජාපයටත් තිබෙන ප‍්‍රශ්නයකි. ජේ.ආර්. ජයවර්ධනට, පේ‍්‍රමදාසට, චන්ද්‍රිකා කුමාරණතුංගට සිටි දක්ෂතා ඇති දෙවැනි පෙළක් මේ කිසිම නායකයකුට නැතිකම අඩුවකි. නායකයා ප‍්‍රධාන තීරණවලට එළඹෙන විට ඒවා හිස් තැන් නොතබා අඩුපාඩු පුරවා එකලස් කර කි‍්‍රයාවලිය ඉදිරියට ගෙනයාමට ශක්තිමත් දෙවන පෙළක් වුවමනාය. ජනපතිට පරිණත දෙවන පෙළක් නැත. රනිල් වික‍්‍රමසිංහටත් නැත. ඔහු දෙවන පෙළ යැයි සිතූ රවී කරුණානායක එම පක්ෂයේ ම ගර්භාවට ලක්ව තිබේ. සජිත් පේ‍්‍රමදාසට රට පිළිබඳ පුළුල් දර්ශනයක් නැත. ඔහු ප‍්‍රාදේශීය නායකයකු ලෙස සෙමින් යළි උඩට මතුවෙමින් සිටියි. ජාතික නායකයකු බවට පත් වීමට නම් වත්මනේ කියන සරල මතිභ‍්‍රමයන්ට විකල්පව ගැඹුරු දේශපාලන දර්ශනයක් ඔහු පිටිවහල් කොට ගත යුතුය. එරාන්, හර්ෂ ආදී දක්ෂයන් ස්වාධීන චින්තනයක් නැති අනුකාරක ස්වරූපයක් උසුලයි. ශ‍්‍රීලනිපය ගතහොත් එස්.බී. දිසානායක ප‍්‍රමුඛ තවත් අය කෑලි හැළෙන ඩට්සන්, ඩයිහට්සු මට්ටමට පත්ව තිබේ. අමරවීර වෙතින් ජනාධිපතිවරයා විසින් අසීරුවෙන් උඩට ඔසවා තැබීමට වෑයම් කරන අර්ධ නායකයකුගේ භූමිකාව රඟ දැක්වෙයි. ඒකාබද්ධයේ බන්දුලලා, ඩලස්ලා, ගමට නරක නැත. එහෙත් නායකත්ව පෞරුෂය පිළිබඳ ඔවුන්ට ප‍්‍රශ්නයක් තිබේ. හැම විටම රාජපක්ෂ සමඟ නැගිටිය යුතු බවට ඔවුන් මත පළ කරන්නේ එනිසාය. ඔවුන් නායකයන් නම් නායකත්වය නම් වූ වපසරිය තුළ රාජපක්ෂගේ පරාජයෙන් පසුව හෝ කැපී පෙනෙන්නට පටන් ගත යුතුය. එබැවින් ගම ඔවුන් සුපසන් හැඟීමෙන් පිළිගනු ඇතැයි සිතිය නොහැකිය.

ජවිපෙ ගැන ගමට පමණක් නොව රටට ද ලොකු අවිශ්වාසයක් නැතත් ලොකු විශ්වාසයක් ද නැති හෙයින් ඔවුන්ට ජනතාව කැපී පෙනෙන බලයක් ලබා දීමට හේතුවක් නැත. ජනතාව, ඔවුන් පාතාලයෙන් ගන්නා වැඬේ කර ගැනීමට පාවිච්චි කරන අතර දැනට ජවිපෙ නොමසුරුවම ජනතාවගේ ඉල්ලීම්වලට හොඳ ප‍්‍රතිචාර දක්වයි. එහෙත් අවශ්‍ය වුවමනාව ඉටු කරගත් පසු ජනතාව ඔවුන් සමඟ සබඳතා අත්හරියි. එබැවින් ගමේ ඡුන්දය පක්ෂවලින් පිට වෙනත් අරුම පුදුම ජනතා බලයක් අභ්‍යාස වන තැනක් බවට පත් වීමට ඉඩක් නැත.

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...