බල්ලන් බළලූන් 785 ක් හදන වඩන සුදු නෝනා (Photos)

විශේෂාංග

ආදරය, රැකවරණය අවශ්‍ය වන්නේ මිනිස් සිත්වලට පමණක්ම නොව සතුන්ට ද එය අවැසි බව පසුගිය දිනෙක අප දැනගත්තේ අහඹුවකිනි. ඒ අසරණ වුණු බල්ලන් බළලූන් සමූහයක් මැද සිටින විදේශීය කාන්තාවකගේ දසුන නෙත ගැටීමත් සමඟිනි.

මේ විදේශීය කාන්තාව වාසය කරන්නේ විදෙස් රටක නොව අපේම රටේය. බුදු දහම මහ ඉහළින් අගයන බෞද්ධයන් වෙසෙන රටක තැන තැන අසරණව, මහ මඟ දමා ගොස් සිටි අසරණ බල්ලන් බළලූන්ට නිසි රැකවරණය, ආදරය ලබා දෙන ඇය බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවක් වන කිම් කූලින්ය. (Kim Cooling)

සතුන්ට ද මිනිසුන්ට මෙන්ම ආදරය රැකවරණය ලැබීමේ අවශ්‍යතාව පවතී. නමුදු ශ‍්‍රී ලාංකිකයන් අතින් බොහෝ දුරට එම කර්තව්‍යය ගිලිහෙමින් පවතින්නේ, අපගේ හදවත් තුළ තෙතමනය වියැකීය මින් පවතින නිසාද යන්න අපි නොදනිමු. කෙසේ හෝ කිසිවකුගේ අවධානයට ලක් නොවූ, රැකවරණය අවැසි වූ නමුත් නිසි රැකවරණයකට යොමු නොවූ, අනේක විධ වධහිංසාවන්ට ලක් වූ, නිසි පෝෂණයක් නොලද මහ මඟ තැන තැන අතහැර දමා සිටි දුකින් පීඩිතව, රෝගාතුරව, අංග විකලව පසුවන බල්ලන් බළලූන් පිරිසකට රැකවරණය, ආදරය ලබා දෙන්නට තරම් ඇගේ හදවත දයාර්ද විය. මවකගේ සිතක තම දරුවන් පිළිබඳව ඇති වන සෙනෙහසට වඩා ඇගේ හදවත තුළ ලියලන සත්ව ආදරය මහත් බලවත් විය. ඒ සෙනෙහස, ආදරය නිසාම ඇය මෙවැනි සද්කාර්යයකට යොමු වූවාය.

ඇය ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ සොබා සො ඳුරු රූ දැකීමටය. නමුදු කිහිප වතාවක්ම ලංකාවට ඇවිත් යන ඇගේ සිත තුළ මතුවන්නේ තැන තැන අසරණව සිටින බල්ලන් බළලූන් පිළිබඳ අනුකම්පාවකි. ඒ අනුකම්පාව නිසාම ඇය මෙයට වසර අට හමාරකට පමණ පෙර එසේ අසරණ වූ බල්ලන් තුන් දෙනකුගෙන් ඇරඹි සත්ව සුරැකීමේ මධ්‍යස්ථානය අද වන විට බල්ලන් බළලූන් දහසකට ආසන්න ප‍්‍රමාණයකට රැකවරණය සපයන තෝතැන්නක් බවට පත් වී අවසානය.

ඉදින් ඇය ඇගේ බලූ, බළල් සුරතලූන් සමඟින් ගතකරන ජීවිතය පිළිබඳ සියසින් දැක ගන්නට හිතාගෙන පසුගිය දිනෙක අපි අහංගම ප‍්‍රදේශයට ගියෙමු. අහංගම, මිදිගම, කෝන්ගස්යාය, පුවක්වත්ත ප‍්‍රදේශයේ දී ඇයගේ Animal SOS Sri Lanka නම් වූ සත්ව රැකවරණ මධ්‍යස්ථානය අප නෙත ගැටුණි. හතර අතින් පවුරු පදනම් ඉදිකරගෙන ඒ මැද නිදහසේ ඔබ මොබ සැරිසරන සත්වයන්ගේ දසුන අප නෙත් අදහාගත නොහැකි විය. අක්කර පහක පමණ වූ වපසරියක් පුරා පැතිර ගිය බිම තුළ තැන තැන ඉදිවුණු නිවාසය. ඒ බලූ සුරතලූන්ම වෙනුවෙනි. සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වන විට මෙහි වෙසෙන බල්ලන්ගේ හා බළලූන්ගේ ප‍්‍රමාණය හත්සිය අසූපහකි. ඔවුන් කිසිවකුත් දරුණු දරදඬු ප‍්‍රතිපත්තිවලින් තොර විය. නාඳුනනවා වුව ද අප සමීපයට පැමිණෙන්නේ ආදරය කරුණාව ඒ සිත්වලට හොඳින්ම ලැබී තිබුණු නිසාමය. ඒ ආදරය, මැනවින් හඳුනන නිසාමය.

මේ සත්වයන් රැක බලා ගැනීමට අවැසි සියලූම පහසුකම් ලබා දීමට කටයුතු කර තිබුණි. සතුන් වෙනුවෙන්ම වෙන් කරන ලද ගෙවල්වල මේ සතුන් වෙසෙන්නේ රංචු වශයෙනි. මේ සත්වයන් තම තමන්ගේ සීමා මායිම් වෙන් කරගෙන ජීවත් වීමට පුරුදුව සිටියි. මිනිසුන් තම හිතැතියන් සමඟින් රංචු ගැසී ජීවත් වෙනවා සේම ඔවුන්ද තැන තැන රංචු ගැසී කල්ලි සැදී ජීවත් වෙයි. තැනැතැන රංචු ගැසී හිඳින මොහොතේ එකෙකු තම සීමාව බිඳගෙන ගියහොත් දෙපිරිස අතර ඇති වෙන්නේ ගැටුමකි. ඔවුන් එලෙසින් තම සීමාව ඉක්මවා යාමට කටයුතු නොකරන අන්දම අපට කියන්නේ එහි සේවය කරන සේවක මහතකු වන රන්ජන් කුමුදු කුමාරය.

‘‘මෙයාලට සීමා මායිම් තියෙනවා. ඒවා වෙන් කරලා දීලා තියෙන්නෙ අපි නෙවෙයි. එයාලා විසින්ම තමා මේ සීමාවන් වෙන්කර ගන්නේ. එයාලා ඉන්නෙ රංචු ගැහිලා. කවුරු හෝ කෙනෙක් ඒ පැත්තට ගියොත් රණ්ඩු කරනවා. එයාලත් මිනිස්සු වගේම තමයි. හැබැයි තමන් ඉන්න ඉසව්වෙන් වෙන පැත්තකට යනවා හරිම අඩුයි. මෙයාලත් එක්ක කටයුතු කරන එක ඒ තරම් අමාරුයි කියලා හිතුවට අමාරු නැහැ. සත්තු වුණත් හරිම කීකරුයි. හරිම ආදරෙයි. කොයි මොහොතකවත් මුරණ්ඩුකම් කරන්නෙ නැහැ.’’

ඔහු පවසන දේ තුළ යම් සත්‍යතාවක් පවතින බව අපට ද වැටහුණි. මේ සතුන් තුළ රෞද්‍රකමක් නපුරුකමක් දක්නට නොම විය. නාඳුනන වුව ද අපට ද ඔවුන් දක්වන්නේ මිත‍්‍රශීලී බවකි. මේ සතුන් අතර තිබෙන විශේෂත්වය ලෙස අප දුටුවේ ඔවුන් සියලූ දෙනාම කුමක් හෝ අසාධාරණයකට ලක්ව තිබීමය. ඔවුන් සියල්ලටම සැඟවුණු කතාවක් තිබුණි. බොහෝ වෙලාවට අප නෙත ගැටෙන්නේ අත් පා අහිමි වූවන්ය. දෑස් නොපෙනෙන සත්වයන්ය. එසේත් නොමැති නම් කවර අන්දමක හෝ අඩුපාඩුවක් සහිත වූවන්ය. නමුදු කිසිම මොහොතක මේ සතුන් අවතක්සේරුවකට ලක් නොවන්නේය. එක් සතකුට හෝ විශේෂත්වයක් ද සිදු නොවන්නේය.

මෙහි සිටින හැම සත්වයකුටම නමක් හිමිය. ඒ නම් සිංහල හෝ ඉංග‍්‍රීසි හුරුවට ගිය ද ඔවුන් මැනවින් තම නම හඳුනයි. නම කියා කතා කරන සැණින් කොතැනක සිටියත් දුවගෙන එන තරමටම ඔවුනට තම නම හුරුය. දිනපතාම බල්ලන් විසිදෙනකු පමණ සෝදා පිරිසිදු කර නාවන්නේය. එය ද සිදු කරන්නේ නම් කියා අඬ ගැසීමෙනි. ඔවුනගේ නාමලේඛනයේ පිළිවෙළට අඬගහන බැවින් කිසිවකුත් මඟ නොහැරෙන්නේය. මාසයක් ඇතුළත ඔවුන් හැමෝම නහවා පිරිසිදු කරන්නේ එලෙසිනි. දිනපතාම ඔවුනගේ සෞඛ්‍යය පිළිබඳ සොයාබලා ප‍්‍රතිකාර ලබා දීමට පශු වෛද්‍යවරයකුගේ ද සේවය ලබා ගෙන තිබුණි. ඔහු ප‍්‍රතිකාර ලබා දෙන කොටසේ එලෙස රෝගාතුරව රැගෙන ආ සතුන් ප‍්‍රතිකාර ලබා දී කූඩුකර සිටියේ සුවපත් වන තුරුය. ඉදින් අපි මේ සත්ව මධ්‍යස්ථානයේ සේවය කරන පශු වෛද්‍ය නිලධාරී අසංක තිලකරත්න මහතා සමඟින් ද කතා කළෙමු.

‘‘මගේ ගම මාතර. මම දැන් මෙතැන සේවයට ඇවිත් මාස දහයක් විතර වෙනවා. මෙතැන ඉන්න සත්තුන්ගෙන් දිනපතාම ප‍්‍රතිකාර අවශ්‍ය අයට ප‍්‍රතිකාර ලබා දෙනවා. මෙතැනට ගෙනෙන ගොඩක් සත්තු ළඟ මොකක් හරි ආබාධයක් නැත්නම් අසනීපයක් තියෙනවා. එයාලට අවශ්‍ය නිසි ප‍්‍රතිකාර ලබා දෙනවා. එයට අමතරව විටමින් වර්ග ලබා දෙනවා. මේ හැමෝටම පොතක් තියෙනවා. ඒ පොතේ එන්නත් ලබා දීම සටහන් කරලා තියෙන්නෙ. නිසි වෙලාවට ඒ අවශ්‍ය එන්නත් වර්ග ලබා දෙනවා. මෙතන ඉන්න බැල්ලන්ට පැටවු බෝ වීම සිද්ධ වෙන්නෙ නැහැ. එයාලා සැත්කම්වලට බඳුන් කරලා තියෙන්නෙ. ඒ දේවල් සිද්ධ කරනවා. සමහර වෙලාවට මෙහෙට ගෙනෙද්දීම පැටවු දාන්න හිටපු අය ඉන්නවා. එයාලට අවශ්‍ය කරන පහසුකම්, විටමින් වර්ග ලබා දෙනවා. පැටවු බිහි කළාට පස්සෙත් වෙන් කරලා තියෙන්නෙ.

ඒ පුංචි පැටවුන්ට කිරි දෙනවා. තුන් වේලටම දෙනවා. කිර බොන්න තේරෙන්නෙ නැති අයට සූප්පුවෙන් පවා කිරි ලබා දෙනවා. මට සහායට අය ඉන්නවා. මේ දවස්වල විදේශයෙන් ආව ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. අපේ රටේ අය එක්ක වැඩ කරනවට වඩා මේ විදේශික අය එක්ක වැඩ කරන්න හරි ලෙහෙසියි. මේක ලොකු සමාජ සත්කාරයක්. අපි වැඩ කරනවට පඩි ගෙවනවා. අපි මෙතන වැඩ කරන්නෙ ලොකු ආත්ම තෘප්තියකින්.’’

වෛද්‍යවරයාගේ අදහස්වලට අනුව මෙය සමාජ සත්කාරයකි. තෘප්තිමත්ව කටයුතු කළ හැකි තැනකි. ඉදින් මෙවැනි පරිසරයක වෙසෙන මේ සතුන්ට කෑම ලබා දීම විශාලතම අභියෝගය විය හැකි වූ බැවින් ඒ කටයුත්ත භාරව සිටින නන්දනී මහත්මියගෙන් අපි ඒ පිළිබඳ විමසුවෙමු.

‘‘මම මෙතනට වැඩට ඇවිත් අවුරුදු අටක් ගෙවිලා ඉවරයි. ලොකුම යුද්දෙ තමයි මට කරන්න වෙලා තියෙන්නෙ. මම හිටියේ මාගොල්ලෙ. ඒත් සුනාමියට අහුවෙලා මේ පැත්තට පදිංචියට ආවා. මෙතැන සත්තු ගෙනාව මුල් කාලෙ මං මෙතැනට ආව වෙලාවක සුදු නෝනා මගෙන් ඇහුවා ඉංග‍්‍රීසි පුළුවන්ද කියලා. මට ඉංග‍්‍රීසි කතා කරන්න හැකියාව තිබුණු නිසා කැමතිද වැඩ කරන්න කියලා ඇහුවා. එහෙම තමයි මෙතනට ආවේ. ඒ වෙද්දි බල්ලො පස්දෙනයි හිටියෙ. නෝනා මෙතන පටන් ගත්තෙ බල්ලො දෙන්නෙකුගෙන්ලූ. එදා ඉඳන් මං මෙයාලට කෑම හදනවා. උදේට දෙන්නෙ බිස්කට්, ආයේ කෑම දෙන්නෙ හවස හතරට. ඒ කෑම හදන හාල් එක වෙනම තියනවා. එළවළු මාළු වෙනම තියනවා. අර ලොකු කල්දේරම්වලට තමා උයන්නේ. ඒ කෑමවලට වට්ටක්කා කිලෝ 70ක්, සෝයා කිලෝ 25ක් මාළු කිලෝ හතළිහක්, බිස්කට් ලොකු පැකට් එකක්, කැරට් කිලෝ දහයක්, ගෝවා කිලෝ දහයක් වගේ එකතු කරනවා. මේ බත උයාගෙන ඉවර වෙලා තමයි එළවළු මාළු බත් මිශ‍්‍ර කරන්නෙ. ඒ මිශ‍්‍රණයට මී කිරි හට්ටි හයක් එකතු කරනවා. එහෙම හදලා හොඳට මිශ‍්‍ර කරලා තමයි කෑම දෙන්නෙ. දවල් එක වෙද්දි කෑම උයලා ඉවරයි. ඊට පස්සෙ කෑම මිශ‍්‍ර කරනවා. හවස හතරට තමයි කෑම දෙන්නෙ. ඔය හදන බත් එකම තමයි පූසන්ට දෙන්නෙ. ඒකට සැමන් ටින් හයක් එකතු කරනවා. ගොඩක් ලොකු වියදමක් යනවා. හරි අමාරුවෙන් විදෙස් රටවලින් ලැබෙන ආධාරවලින් තමයි මේක කරගෙන යන්නෙ. ආධාර කරන්න කැමති අය ඉන්නවා නම් පරිත්‍යාග ගෙනත් බාර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඇත්තටම ලොකු පිනක් සිද්ධ වෙනවා. හිතට ලොකු සතුටක් දැනෙනවා. මේ රැකියාව මේ තරම් කාලයක් හිත සතුටින් කළේ, ඒ ආත්ම තෘප්තිය නිසාමයි.’’

සියල්ලන්ම පසුවන්නේ තෘප්තිමත් මනසෙනි. කෑම දෙන වේලාව යුද පිටියක සිරි ගනු ඇතැයි අපට සිතුන ද එය එසේ නොවන බව සේවක මහතුන්ගේ අදහස විය.

‘‘ගෙදරක බල්ලෙක්ට කන්න දෙන්න ගියොත් රණ්ඩු කරනවා. ඒත් මෙතැන බල්ලො කී දෙනෙක් හිටියත් රණ්ඩු කරන්නෙ නැහැ. හැමෝම කෑම වෙලාවට පෝලිමට ඉඳගෙන බලාගෙන ඉන්නවා තමන්ගෙ කෑම පිඟාන දෙනකන්. අනුන්ගෙ එකකට පනින්නෙ නැහැ. එයාලා දන්නවා හැමෝටම කෑම ලැබෙනවා කියලා.’’

සතුන් වුව ද ඔවුන් තුළ විනයක් ඇත. හික්මීමක් ඇත. අනවශ්‍ය කලබලයක් නැත. කඩදාසි කොළයක් හෝ ඒ බිමෙහි දක්නට නොමැත. ඒ තරමට පිරිසිදුය. පිළිවෙළය. ක‍්‍රමානුකූලය. අනතුරුව අප ගමන් කළේ බළලූන් සමීපයටය. බල්ලන් සමඟ එක්ව සිටින බැවින් ඔවුන් සිටින්නේ කූඩු කරන ලද නිවෙසකය. ඒ බල්ලන්ගෙන් හානි සිදු වෙතැයි බියෙනි. නමුදු ඔවුන් තැනෙක තොටිලි හදාගෙනය. තවත් තැනක කුල්ලක නිදාගෙ නය. තවත් පිරිසක් බිත්ති මත නැග නිදාගෙනය. ඔවුන් අතර ද ආබාධිත වූවන් බොහෝය. හැත්තෑවක් පමණ වූ බළලූන් අතර ආබාධයන්ට ලක් වූවන් වැඩිය. එකෙකුගේ දෑසම අන්ධය. තවකෙකුගේ අත් පා අහිමිය. නමුත් ඔවුන් සියල්ල නිරෝගීය. සුව පහසුව වැතිර නිදන්නෝය. අප දුටු මොහොතේ ඇඟ දැවටෙන්නේ, ආදරය සෙනෙහස හුරු පුරුදු නිසාමය.

අත් පා අහිමි වූ, අංග විකල වූ කුමක් හෝ කඳුළු කතාවකට උරුමකම් කියූ මේ සතුන් පිළිබඳව මේ සත්ව සංකල්පය සිතට ආ කිම් කූලින් නමැති විදෙස් කාන්තාව ඒ පිළිබඳ අපට කියන්නේ මෙවැන්නකි.

‘‘තැන තැන දාලා යනවා. වාහනවලට හප්පලා යනවා. පිළිසරණක් නෑ. කවුරුත් ඇහැ ඇරලා බලන්නෙ නෑ. මගේ පපුව පිච්චිලා ගියා. ඇයි මෙහෙම වෙන්නෙ රකින්න බැරි නම් ඇයි සත්තු හදන්නෙ. මම තීරණයක් ගත්තා. ඒ මෙයාලව රැක ගන්න. මං ලංකාවට ආවා. ඉඩමක් ගත්තා. අසරණ සත්තු තුන්දෙනෙක්ගෙන් පටන් ගත්තා. අද සත්තු හත්සිය අසූපහක් ඉන්නවා. පාරේ දාලා ගිය අය ගෙනාවා. සමහරු අපට ගෙනත් දුන්නා. එයාලා කියන හේතු විවිධයි. ඒවා සාධාරණ නෑ. ඒත් අපි සත්තු ගැන හිතලා බාරගත්තා. මේ හැම සතෙකු ළඟම සැඟවුණු කඳුළු කතාවක් තියෙනවා. මට මහ ගොඩක් සල්ලි නෑ. විදෙස් ආධාර මත තමයි මේවා කරන්නෙ. පාද අහිමි අය ඉන්නවා. එයාලටත් අනිත් අය එක්ක දුවන්න ඕනේ. අපි ආධාරක දීලා එයාලත් ඇවිදින්න, හරි හරියට දුවන්න, ඒ ආබාධ සුව වෙනකන් උදව් කරනවා. අස්ථි බිඳුණු අය ගොඩක් ඉන්නවා. ඇවිදගන්න බැරි සුරතලූන් ගොඩයි. මේ හැමෝම හිනාවෙනවා. ඒ ඇස්වල කඳුළු නෑ. පෝෂ්‍ය ජනක ආහාර ලැබෙනවා. හරිම පුෂ්ටිමත්. අපට කියන්න තියෙන්නෙ සත්තුන්ට ආදරය කරන්න. රැක බලා ගන්න. ගෙදර හදලා ආබාධයක් වුණාම අපට ගෙනත් දෙන්න එපා. ඔයාලත් පුරුදු වෙන්න මේ සත්තුන්ට ආදරේ කරන්න. රැක ගන්න.’’

අප දුටු දේ බොහෝය. හැඟුණු දේ බොහෝය. නමුදු ඒ සියල්ලම ලියන්නට ඉඩකඩ සීමිතය. එකම එක වදනකින් නිමා කරමු. එංගලන්තයේ සුදු කතට දැනුණු සත්ව සෙනෙහස ශ‍්‍රී ලාංකික අපට නොදැනුණේ අපි හැමදාමත්ම බුදු බණ අසන නිසාමද?

- තමාරා පතිරණ
ඡායාරූප: ගිතේන්ද්‍ර ලියනගේ

 SOS Animal 36

SOS Animal 35

SOS Animal 34

SOS Animal 33

SOS Animal 31

SOS Animal 30

SOS Animal 29

SOS Animal 28

SOS Animal 27

SOS Animal 26

SOS Animal 25

SOS Animal 24

SOS Animal 23

SOS Animal 9

SOS Animal 22

SOS Animal 21

SOS Animal 20

SOS Animal 19

SOS Animal 18

SOS Animal 16

SOS Animal 15

SOS Animal 14

SOS Animal 13

SOS Animal 12

SOS Animal 11

SOS Animal 10

SOS Animal 6

SOS Animal 4

SOS Animal 3

SOS Animal 7

SOS Animal 5

SOS Animal 2

SOS Animal 1

SOS Animal 8

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...