කෝණංගි - 2017 මැයි 28

සතියේ තීරුව

සැඟවුණු අමුත්තාගේ උපදෙස

ජනාධිපතිතුමා මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව බලා ගුවන් යානයේ සාමාන්‍ය මගියකු සමඟ අසුන්ගෙන ගියේය. සාමාන්‍ය මගියකු සමඟ අසාමාන්‍ය මගියකු එක ළඟ ගමන් යන විට දැනෙන දේ ජනාධිපතිතුමාට දැනෙමින් තිබුණේය. තමා සමඟ ප්ලේන් එකේ ජනේලය අසල තේ බිබී පොතක් බල බලා යන දත්කිටියා ජනාධිපති කෙනෙක් බව සාමාන්‍ය මගියා දැන සිටියේ නැත.

ජනාධිපතිතුමා කල්පනා කළේ එහා පැත්තේ සීට් එකේ ඉන්න කකුලත් අවුරුදු උත්සවයක සැඟවුණු අමුත්තා වගේ ඉන්න කොහේ හරි ඩොටේක මගේ ජාතියේම විධායක ජනාධිපති කෙනෙක්ද දන්නෑ කියාය. ටෝකක් දාලා බලන්න ඕනෑ කියා සිතූ ජනාධිපතිතුමා පටන් ගැන්මක් විදිහට ඒ හාදයාගේ ඇඟේ අත වද්දන්න හිතුවේය. ජනාධිපතිතුමාගේ අතේ වැද්දිල්ල ටිකක් දුර ගිහිං අර හාදයාට එක පාරටම කිචි කැවී ලංකාවේ අමු කිචි තියෙන පොරවල් ඇලපතේ කාගෙ හරි අතක් ගෑවුණොත් දක්වන හඬ ප්‍රතිචාරයට සමාන හඬින් “ඔකිනාවා“ කියා කීවේය. අයෑම් සොරි කියූ ජනාධිපතිතුමාට හිතුණේ මෑන් කියූ ඒ වචනෙ නම් ලංකාවෙ එවුන් ඔය වගේ වෙලාවල්වල දී කියන එක තරම් අසභ්‍ය නැහැ වගේ කියාය. අනතුරුව එතුමා ඇසුවේ වෙයාර් ආ යූ ගොයින් කියාය. මිනිහා දුන්නු උත්තරය පැහැදිලි නොවුණුමුත් ජනාධිපතිතුමා ලක්ෂ උයනේ ඉඟිබිඟියක් සෙල්ලමක් දෙකක් දමා මෑන් එක්ක යාළුවුණේය. පොඩි කොක්සනක් දී ඉයා ඉයා වෙරි නයිස්, ඕ මයිගෝඞ් ආදී වශයෙන් දේවල් කියමින් ඒ හාදයාව සැලකිය යුතු මට්ටමකට ටැකල් කර ගත්තේය.

ඒ හාදයා දුක්බර මුහුණක් හදාගෙන කීවේ මම මැලේසියාවෙ දුප්පත් ගොවියෙක්ගෙ පුතෙක්. මම වෙලේ දඟලලා ගොයම් කොළ පෙරළලා, ඇළේ පීනලා ආපු කෙනෙක් නිසා ක්ෂේත්‍රයේ සෑහෙන්න කැපිලි තියෙනවා සර්, ඒත් මං කවදා හරි රටේ ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්නෙ කියාය. වෙරි ගුඞ් පුතා කී ජනාධිපතිතුමා මං ඔයාට දොම්පෙට යන හරි පාර කියලා දෙන්නම්“ කියා ආප්ප කාලා පැනපුදාට පහුවදා ප්‍රෙස් එකක් තියා අඬා දොඬා විපක්ෂ නායකත් ටැකල් කරගෙන, සුළුජාතීනුත් පට්ටල් කරගෙන දොම්පෙට යන පාර, ඔකිනාවා“ කියා තමාට බැණ වැදුණු කොල්ලාට ගුරුමුෂ්ටි නොතියාම කියා දුන්නේය. ඔබතුමා නම් දෙයියෙක් කී කොල්ලා එතුමාව ඉඹින්න වගේ ළං වෙනකොට ජනාධිපතිතුමා කිව්වේ අපේ අනික් පාර්ශ්වේ එවුන් වගේ මම ඔය සබ්ජෙක්ට් එකේ නැහැ කියාය. ගුවන් යානය සිඞ්නි නගරයට පහත් වෙමින් තිබුණි. කොල්ලා ඇසුවේ හොඳයි ඔබතුමා මට අවසන් වශයෙන් දෙන වැදගත්ම උපදෙස මොකක්ද කියාය. ජනාධිපතිතුමා කීවේ “ප්‍රසිඩන්ට් වෙන්න කලින් ගැම්මට වගේ මම එකපාරයි ඉන්නෙ, විධායක බලතල කපනවා, එයාර්පෝට් වහලා හොරු කුදලනවා වගේ පීකුදු කතා නොකියා කට රැකගෙන ගමන යන්න හිතාගනිං නැත්තං පහු වෙනකොට මුඛ පූට්ටු වෙනවා පුතා“ කියාය.

හොඳම ෆොරින් මිනිස්ටර්

රවීට ආසියාවේ හොඳම මුදල් ඇමැති සම්මානය දුන්නේ ද බෑන්කර් සඟරාවෙන්. ඒත් ඒක හම්බ වෙලා මාස කීයද ගතවුණේ ජනාධිපතිතුමා ඇමැතිතුමාගෙ මුදල් කෝට් එක ගැලෙව්වා. ඒ තීරණය ගැන ෆුල් අන්දොස් වෙච්ච ජනාධිපතිතුමාගෙ අත්දණ්ඩෙක් බෑන්කර් සඟරාවෙ එඩිටෝරියල් එකට කතා කළේ හොඳම මුදල් ඇමැති වීමේ සිද්ධිය සහසුද්දෙන් අහගන්නයි. අපේ එකාගෙ කතාව ඒ ටු ඉසෙඞ් අහගෙන හිටපු මෙහේ සඟරාවල ඉන්න ජාතියේම එහේ කකුලක් කිව්වෙ මේකනෙ මල්ලි වැඬේ, අපේ සඟරාව ගහගන්න සල්ලි නැතුව හිටිය මාසෙක ඔයාලගෙ ෆයිනෑන්ස් මිනිස්ටර් අපේ එකෙකුට මාට්ටු වුණා. අපේ එකා අණ්ඩයා. ඌ උඹලගෙ මිනිස්ටර්ට සම්මානෙ ගැන යෝජනාවක් දාලා දත ගැලෙව්වා. ඒකෙන් උඹලගෙ මිනිස්ටර්ගෙ පොඩි පොඩි කරුංකා ප්‍රශ්නත් යට ගියා. සඟරාව ගහලා අපිට පඩිත් ලැබුණා. දැන් තේරුණාද කියාය. ඒක අහන් හිටපු අපේ එකාට කියවුණේ ඉතින් මෑන්ට අයිති පත්තර දෙකේ එවුන්ටත් මාස දෙකකින් පඩි ලැබිලා නැහැනේ කියාය. බෑන්කර් ඒකේ බුවා ගත් කටටම කීවේ ඉතින් බොසා තමයි ආසියාවේ හොඳම ෆොරින් මිනිස්ටර් කියා සම්මානයක් පට්ටල් කරන්න කියලා ඔය පඩි නැතුව වැඩ කරන පත්තර දෙකේ එවුන්ට කියාපංකෝ. එතකොට පඩි ලැබෙයි කියාය.

සාජහාන් වැල්ලවත්තෙ

වැල්ලවත්තේ කඩා වැටුණු තට්ටු ගොඩනැඟිල්ලේ අයිතිකාරයාගේ නම සාජහාන්ය. බිල්ඩිම ප්‍රමිතියට නොහදපු චෝදනාවට අත්අඩංගුවට ගත් මිනිහාගෙන් පොලීසියට යන ගමන් පොලිස් පොඞ්ඩා ප්‍රශ්න කීපයක් ඇසුවේය.

මුලින්ම පොලිස් පොඞ්ඩා ඇසුවේ තමුසේ මොන ලබ්බටද ඕයි තට්ටු පහකට අනුමැතිය අරන් ඒක උඩ තව තට්ටු දෙකක් අනින්න ගියේ කියාය. සාජහාන් කීවේ මම මුම්ටාස් මහල හදන්නයි ට්‍රයි එකක් දුන්නේ බොස් කියාය. ඒ කිව්වෙ කියා ඇසූ පොලිස් පොඞ්ඩාට සාජහාන් කීවේ ඇයි බොස් ටජ්මහල, මුම්ටාස් දේවි වෙනුවෙන් ආදරේ සංකේතවත් කරන්න හදපු එක අහල නැද්ද කියාය.

පොලිස් පොඞ්ඩා යළි ඇසුවේ ඈ ඕයි ආදරේට මේ වගේ මර උගුල් හදනවද? ඇත්ත කියනවා තමුසේ තමුන්ගෙම ගෑනි මරන්න නේද ට්‍රයි කෙරුවෙ කියාය. සාජහාන් කීවේ පිස්සුද බොස් මුම්ටාස් මරන්න සාජහාන් ප්ලෑන් කළා කියනවා නම් ඒක බලුකතාවක්, එහෙම වැඩ සාජහාන්ලා කරන්නෙ නැහැ කියාය. පොලිස් පොඞ්ඩා තර්ජනාත්මකව කීවේ ඇත්ත කියනවා තමුසෙ මුම්ටාස් මරන්න ප්ලෑන් එක ගහලා තියෙද්දි හෙණ වැස්සක් ආවා, එදා තමුසෙගෙ මර උගුල ගිලා බැහැලා වෙන සෙට් එකක් මළා, පුළුවන්නම් නැහැයි කියනවකො කියාය.

Latest Posts

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...