කෝණංගි-2017-08-06

සතියේ තීරුව

 ඇලෝවීල් ද

මෙලෝ වීල් ද

ඇලෝසියස් මල්ලී ඉන්න විදියට නම් මොකුත්ම අප්සට් වැඩක් කරලා කියලා හිතන්නවත් බැහැ බොස් කියා ජනාධිපතිතුමාගේ පූසා, ලොකු තැන පත්තර පෙරළ පෙරළා ඉන්න වෙලාවක් බලා කීවේය. ජනාධිපතිතුමා ඒ ගැන මොකුත් නොකී අතර පූසා යළිත් කීවේ මෑන්ට අර මුරපදය අමතක වෙච්ච එක නම් මාරම වැඩක් නේද බොස් කියාය.

මුරපදය අමතක වෙන වෙලාවල් ඕනෙ තරම් තියෙන බව කී ජනාධිපතිතුමා එහෙම වෙලාවට මම නම් කරන්නේ නමට ගමට, උපන් දිනයට, වයිෆ්ගෙ නමට ළඟින් යන නමක් ගහලා බලන එක කියාය. පූසා කීවේ ඇලෝ මල්ලිට ළඟින් යන මුර පදයක් හිතලා කියන්නකො බොස් එතකොට බැඳුම්කර කොමිසමට හංගපු විස්තර ටික හොයා ගන්නත් පුළුවන් වෙයිනෙ කියාය. ජනාධිපතිතුමා කීවේ එහෙනං ඇලෝ වීල් වගේ වර්ඞ් එකක් ගහලා චෙක් කරලා බලන්න කියලා කොමිසමට කියපං කියාය. පූසා ඇසුවේ රවී දන්නෙත් නැතුව මෙලා නෝනට ගෙයක් අරන් දුන්නු නිසා ‘මෙලෝ වීල්’ කියලා ගහලා බලන්න කොමිසමට කියන්නද බොස් කියාය. ජනාධිපතිතුමා කීවේ මට ඕවට පැටලෙන්න බැහැ උඹ ඕන රෙද්දක් කරගනිං කියාය.

 

වලාකුළුවලට පම්ප් එකක් ගහපු එකා බැඳලා

ඒ කතා අස්සේ පූසා ජනාධිපතිතුමාට කීවේ රමිත් රඹුක්වැල්ල අද කසාද බැඳලනෙ බොස් කියාය. ඒ කවුද කියා ඇසූ ජනාධිපතිතුමාට පූසා කීවේ ඇයි අර ලංකාවෙ ක්‍රිකට් ටීම් එකට දෙයියන්ගෙ සිලෙක්ෂන්ස්වලින් වගේ ආවත් ලකුණු පහක් ගහගන්න බැරි හාදයා කියාය. ජනාධිපතිතුමා කීවේ මේ දවස්වල මේ ඉතින් ක්‍රිකට් ටීම් එකේ හැමෝටම ඔය අපලෙනෙ ලබල තියෙන්නෙ කියාය. පූසා කීවේ නෑ නෑ අනික් එවුන් ඇඳේ අනිත් පැත්තෙන් නැගිටපු දවසට හරි ලකුණු විසිපහක් තිහක් ගහනවනෙ. මේ යකා වැරදිලාවත් ඇඳේ අනිත් පැත්තෙන් නැගිටින්නෙ නැහැනෙ බොස් කියාය. එහෙම නම් ඉතින් මට කොහොමටවත් මතක හිටින්න විදියක් නැහැ කී ජනාධිපතිතුමාට පූසා කීවේ ඇයි බොස් අර දවසක් දා උඩින් යමිං ගමං ප්ලේන් එකේ දොර ඇරලා වලාකුළුවලට පම්ප් එකක් ගහන්න හදපු හාදයා ඔච්චරටම මතක නැද්ද කියාය. අප්පද බොල කී ජනාධිපතිතුමා ඒ ඉලංදාරිය ගැන ද ඔය කිව්වේ හැබැයි මිනිහගෙ තාත්තා නම් නියම ගැහිලි කාරයානෙ කියා කීවේය. පූසා කීවේ ඒ ක්‍රිකට් නෙමෙයිනෙ කියාය. එතකොට ඔය මෑන්ද අද බඳින්නෙ කියා ඇසූ ජනාධිපතිතුමා අනතුරුව කලබලෙන් මෙන් කීවේ මේ දැන්මම ඔය හාදයට කියපං ඔන්න අද නම් වැරදි දොරක් අරින්න හිතන්නවත් එපා කියලා කියාය.

 

මාතලේ කැරැල්ලට

නම් මරු

මවුබිමේ අඟලක්වත් මොන යකාටවත් දෙන්නෙ නැහැ කියලා බොස් තදවෙලා වගේ කිව්වේ මොකද හම්බන්තොට වරාය දුන්නෙ 99 අවුරුදු බද්දටනෙ කියා පූසා ටිකක් බයෙන් සැකෙන් වගේ ජනාධිපතිතුමාට කීවේය. එතුමා කීවේ නෑ ඉතින් ආයෙ වරාය අපිට හම්බවෙනකොට මට අවුරුදු 164ක් විතර වෙනවා ඒකට මට ටිකක් අප්සට් ගියා කියාය. ඒ වුණාට බොස් ඉඩකඩම් ගැන ඔය විදියට කතා කරන එක අද කාලෙ නායකයකුට ඔබින් නැහැ, ඒවා නිකං බූටෑවෙ රටේ රාළලගෙ කිවුලෙගෙදර මොහොට්ටාලලගෙ කාලෙ කතානෙ කී පූසා ඇත්තටම බොස් කැමැති අටසිය ගණන්වල ජීවත් වෙන්නද අද කාලෙ ජීවත් වෙන්නෙ ද කියා ඇසුවේය.

ජනාධිපතිතුමා කීවේ ඇත්තම කියනව නං බං උඹ ඔය මතක් කරපු ජාතියෙ මගේ කතා නං අද කාලෙ ෆේස්බුක්කාරයන්ට වඩා 1848 මාතලේ කැරැල්ලෙ එවුන්ට නම් හරියටම සෙට් වෙනවා කියලා මටත් දැන් දැන් හිතෙනවා කියාය.

Latest Posts

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...