රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ සිදුකළ දේශපාලඥයන් හා ඔවුන්ට ලඟ සම්බන්ධතා තිබූ පුද්ගලයින් අධිකරණය මගින් පසුගිය කාළය පුරාම රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
මෙරට දූෂණයට නම ගිය දේශපාලඥයන්ට අමතරව රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා ලෙස සලකන හිටපු ජනාධිපති ලේකම්වරයාගේ සිට පක්ෂ හෝ පුද්ගල දේශපාලන න්‍යාය පත්රයන් අනුව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් ගණනාවක්ද මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ සිදුකළ වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි. වර්තමානයේදීද අල්ලස් හෝ දූෂණ චෝදනා හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත වෙමින්ද සිටී. මෙරට නීතිය හා නීතියේ ආධිපත්‍ය තුළ අධිකරණයෙන් හෝ බන්ධනාගරයෙන් ජනාධිපතිවරයාට හැරෙන්න වෙනත් කිසිවෙකුට විශේෂ වරප්‍රසාද හිමි නොවේ. එහෙත් ගෙවුණු කාළය පුරාම අධිකරණයෙන් සහ බන්ධනාගාරයෙන් දේශපාලඥයන්ට හා ඔවුන්ට සබැඳි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වරප්‍රසාද හිමි වූ බවට සාක්ෂි සාධක බොහෝමයක් තිබේ.
පසුගිය පාලනය තුළ සහ වර්තමානයේ සිදු වූ රාජ්‍ය දේපළ හා මුදල් අවභාවිතාවන් සම්බන්ධ චෝදනාවන්ට අදාලව අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය කෙළින්ම බන්ධනාගාර රෝහලට ගොස් නතර විය. පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මුදලින් සිල් රෙදි බෙදීමේ චෝදනාවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔවුන්ට පිට කොන්දේ අමාරු ඇති බව දන්වා කෙළින්ම බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින ලදී. ඉන්පසුව හිටපු නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු අමාත්‍ය විමල් වීරවංශ රජයේ වාහන 41ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහුටද අට අනූවක් රෝග ඇති බව පවසමින් බන්ධනාගාර රෝහල වෙත ගොස් පහසුවෙන් සිටින ලදි. පසුව අධිකරණය හමුවේ ඔහුගේ නීතිඥයන් පැවසුවේ තමන්ගේ සේවාදායකයා දින හතළිස් දෙකක් තිස්සේ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් පවා නැති අඩි 8ක් දිග සහ අඩි 4ක් පළල කුඩා සිර කුටියක රඳවා තැබීමෙන් මූලික අයිතිවාසිකම් පවා අහිමිවී ඇති බවයි. පසුව ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්‍යයට අතවනා සිනාවෙමින් ගෙදර යනු දක්නට ලැබිණි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කොට පළාත් පාලන ආයතන වෙත කොඩි කණු බෙදා දුන් බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් නඩු ගොනු කිරීමෙන් පසුව ඔහු තුනටියේ ආබාධයක් ඇති බව පවසමින් අධිකරණයට ආවේ ගිලන් රථයකිනි. පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ පසුවද ඔහු නතර වූවේ බන්ධනාගාර රෝහලේය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස මුදල් අවභාවිතාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහුට එකෙනෙහිම සමේ රෝගයක් ඇති බව පවසා බන්ධනාගාර රෝහල වෙත ගොස් නතර විය. යෝෂිත රාජපක්ෂ සී.එස්.එන්. පෞද්ගලික නාලිකාව ආරම්භ කරමින් රාජ්‍ය මුදල් හා දේපළ ඇතුළු ජාතික රූපවාහිනියේ බඩු භාන්ඩ භාවිතා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහු වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ රෝහල අලුත්වැඩියා කළ බව එවකදී වාර්තා විය. එමෙන්ම සාමාන්‍ය සියල්ලට එකලෙස හිමි විය යුතු නීතිය යටතේ මෙකී විශේෂිතයන් බන්ධනාගාර රෝහල තුළ සුවිශේෂී සහන ලබාගත් අතරම ජංගම දුරකථනද භාවිතා කරමින් සුව පහසුව කල් ගෙවූ බව මාධ්‍ය ඕනෑ තරම් වාර්තා කරන ලදි.
අඩි 8ක් දිග අඩි 4ක් පළල සිර කූඩුවේ තනිවම සිටිද්දී තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව විමල් වීරවංශ කියයි නම් ඔවුන්ට කීමට ඇත්තේ එවැනිම සිර මැදිරිවල ඔවුන් වෙනුවෙන් ජන්දය භාවිතා කරන සහ නඩත්තුවට බදු ගෙවන සාමාන්‍ය මිනිසුන් දසදෙනෙක් තැලී පොඩි වී අවම මානුෂික අයිතීන් හෝ නොමැතිව සිරගතව සිටින බවයි. ඒ අතරින් සමහරෙක් කුසගින්නට කෙහෙල් කැනක් කැපූ, සුළු වරදකට දඩයක් නොගෙවූ අයෙකුය. විශේෂ අධිකරණ සංවිධාන පනත වෙනුවෙන් මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් පසුගියදා අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ කීවේ විශේෂිත පුද්ගලයන්ට විශේෂිත රිමාන්ඩ් මැදිරි ඉදිකිරීමට බලාපොරොත්තු වන බවයි. ඊට හේතුව වශයෙන් එතුමිය කීවේ අභිමත පරිදි බන්ධනාගාර රෝහලට ඇතුල්වනවා වෙනුවට එවැනි සිර මැදිරියක් ඇති කිරීම මගින් ඊට ඇතුළත් කිරීමට හැකිවනු ඇති බවයි. තර්කයක් ලෙස එය නිවැරැදි බවට බැලූ බැල්මට පෙනේ. නමුත් විශේෂිත පුද්ගලයින් කියා කොටසක් නීතිය ඉදිරියේ නොමැත. අනෙක් අතට මහජන බදු මුදල් තුළද විශේෂිත කියා දෙයක් නැත. මෙකී එකවර නැගෙන හොර ලෙඩ රෝගීන් වෙනුවෙන් විශේෂත් සිර මැදිරි ඇති කරනවා වෙනුවට එක සමාන නීතියක් ක්‍රියාත්මක කිරීමත්, අපරාධ විනිර්මුක්තිය නතර කිරීමත් මගින් විශේෂ හොරු සාමාන්‍ය තත්වයට පත්වනු ඇත. ඒ සඳහා තව තවත් හිටපු හෝ අලුත් හොරු, අපරාධකරුවන්ට විශේෂ වරප්‍රසාද දෙනවා වෙනුවට නීතියේ රැකවරණ සැමට එකක් කළ පසු බන්ධනාගාර රෝහල් හෝ විශේෂ සිර මැදිරි අවශ්‍ය නොවනු ඇත.
(කසුන් පුස්සෙවෙල -ලිපියකින් උපුටාගත් කොටසක්)
රැස 10.05.2018