පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය!

විශේෂාංග

පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ අපේ සිංහල සමාජයේ සමහර ජනකොටස් තුල සිද්ධ වුණ පෙරළිය, ඔවුන්ගේ චර්යා රටා හා ඔවුන්ගේ පරිවර්තනය පෙන්වන්නේ අපගේ ආධ්‍යාත්මික ඛේදවාචකයයි, සංස්කෘතික පරිහානියයි. ත්‍රස්තවාදීන් අපට කරපු විනාශය මොහොතකට පැත්තකින් තිබ්බොත්, ඒ හරහා මිනිසුන් තම සමාජය තුල ම කරගත් විනාශය ඒ් බෝම්බය තරම්ව විනාශකාරියි.

අවම වශයෙන් පසුගිය අවුරුදු සියයක පමණ කාලයක් තුළ මේ රටේ ආගමික වාර්ගික වෙනස්කම් සඳහා පුළුල් දේශපාලන විසඳුමක් සොයා නොගැනීම නිසා ක්‍රමයෙන් වර්ධනය වෙලා ආ තත්ත්වයක, එක්තරා වර්ධනීය අවස්ථාවක් වන ISIS ප්‍රාහාරයට සමාජ දේශපාලන පසුබිම බොහෝ කාලයක සිට නිර්මානය වෙමින් තිබුණ එකක්. ඒ නිර්මානය වුන පසුබිම වඩාත් පැහැදිලි කරමින් 2019 පාස්කු ප්‍රාහාරයට එනවිට අපි දැක්ක දෙයක් තමයි ඒ කම්පනය යොදාගෙන මිනිසුන් ඉතා දරුණු විදිහට පුද්ගල කෝන්තර පිරිමහ ගන්න උත්සහ කළ හැටි, එකිනෙකාව කොන් කර ගැනීමට, මඩ ගහ ගැනීමට හදිසි වුණ හැටි, බොහෝ අයගේ සැඟවෙලා තිබුණ පුද්ගල කෝන්තර සියල්ල බෝම්බයත් සමග මතු වෙලා ඇවිත් පිපිරිලා ගිය හැටි, කොටින්ම බෝම්බයට පැය කීපයකට පෙරත් සුහදව හිටිය මිතුරා පවා ක්ෂණිකයෙන් සතුරන් බවට පරිවර්තනය වුණ හැටි, කලා, සංස්කෘති නිෂ්පාදන, බුද්ධිමය ක්‍රියාකාරකම් හා කතිකාවලට කිසිදිනක සම්බන්ධයක් නැතුව සිටි පිරිස් පවා වහා පැන ඒවා කඩාකප්පල් කරන්න පටන් ගත්ත හැටි, අනිකාගේ අදහස් ප්‍රකාශ කිරීම අහුරන්නට උත්සහ කළ ත්‍රස්තවාදී අවස්ථා.

අපගේ බොහෝ මිනිසුන් මේ බෝම්බය නිසා එකිනෙකා ගහ ගත්ත දේවල් නිරීක්ෂණය කරල බලනකොට ඒ්වා එකිනෙකාගේ පුද්ගලික රුචි අරුචිකම්, දරන දේශපාලන මතිමතාන්තර හා මතවාද, කලා නිර්මාණවල සිට දේශපාලන ක්‍රියාකාරකම් දක්වා ඔවුන් බොහෝ කාලයක ඉඳන් කරගෙන ආ ක්‍රියාකාරකම් ආදී ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තමයි ඉලක්ක වෙලා තිබුණේ.

අපි සෑම කෙනෙක් ම ප්‍රාර්ථනා කරන්නා වූ ලෝකය, දේශපාලනය තවම අපි කිසිවෙක් දැකලා නැති අතර අප සියලු ම දෙනාට තියෙන්නේ අත්හදා බැලීම්, පර්යේෂණ, අනුමාන කිරීම්, විශ්වාස හා විවාදාත්මක අදහස් ආදියයි. ඒවා ද අත්දැකීම සමග වෙනස්වෙමින් හා සංශෝධනය කරගනිමින් පැවතීම සාමාන්‍යයි. මේක ලෝක අවසානය නොවන අතර සියලුම විනාශයන්ගෙන් පසුත් මිනිසුන් යළි ජීවත්විය යුතුයි.

හරයන් පැත්තෙන් අපේ සමාජයේ තත්ත්වය එහෙම තියෙන අතරේ, ඉංග්‍රීසි සමාජය තුළ නම් මේ තත්ත්වය අපට වඩා ශිෂ්ටසම්පන්නව පැවතුණ බව අපිට දකින්න තිබුණා. (ඉංග්‍රීසි සමාජය කියලා අදහස් කරන්නේ ඉංග්‍රීසියෙන් සන්නිවේදනය කරන අය නෙමෙයි, විශේෂයෙන් මුල් භාෂාව ඉංග්‍රීසි වූ අපේ රටේ ජීවත්වන ඉංග්‍රීසි සමාජය) ඔවුන් බහුතරය ක්‍රිස්තියානි වුවත් ඔවුන් අදහස් උදහස් විවේචන ප්‍රකාශ කරගැනීමේ දී මෙවැනි අප්‍රසන්න පුද්ගල ගැටුම් සහ ’ත්‍රස්තවාදි’ තත්ත්වයක් පෙන්නුවේ නැති බව කිව යුතුයි.

මෑත කාලීනව, අපේ සමාජයේ යම්කිසි සිදුවීමක් වුණාට පසු ප්‍රතිවිරුද්ධ අදහස් මතවාදී තලයෙන් ඔබ්බට ගොස් පුද්ගලික ගැටුම් ලෙස මෙතරම් උග්‍ර වීමට එක ප්‍රධාන හේතුවක් තියනවා. අපේ රටේ සාමාන්‍ය මිනිසා ‘දේශපාලනය’ කරන්නේ පොදු සාධාරණ සමාජයක් දිනාගැනීමට වඩා භෞතික දේවල් මෙන් ම අනිකාට එරෙහි පුද්ගල ආවේග පවා දේශපාලන බලය හරහා සමනය කර ගැනීමටයි. මෙවර ද මේ බෝම්බ සිද්ධියට බොහෝ ප්‍රතිචාර දැක්වීම් ඉලක්ක වී තිබුණෙත් කම්පනය මෙතරම් අප්‍රසන්න කළේත් මේ වසර අවසානයේ ඡන්දයේ දී වෙන්න යන බල මාරුව නිසයි. එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ගැටුම්කාරී හැසිරීමකින් ජාතියක් ආරක්ෂා වෙන්නේ කෙසේද?එයින් පෙන්වන්නේ එම ජාතියේ සංස්කෘතික පරිහානියයි, පුරුෂාර්ථ බිඳ වැටී ඇති තරමයි. බෝම්බයක් ගැසූ පමණින් සමාජයක් ලෙස අපට යනඑනමං නැතිව යන බවයි.

ඇත්තට ම මෙහෙම බෝම්බයක් ගැහුවා කියලා අපි එවැනි පහත් තත්ත්වයකට වැටෙන්න අවශ්‍ය ද? සංස්කෘතියක් ලෙසට සමාජයක් ලෙසට මේ තරම් පිරිහුණු භේද වූ තත්ත්වයක නම් අප ඉන්නේ, එවැනි සමාජයක් ත්‍රස්තවාදයක් පරාජය කරන්නේ කොහොමද? විශේෂයෙන් අපි මතක තියා ගත යුතු කාරණය තමයි ISIS වැනි දරුණු ත්‍රස්තවාදී කල්ලි පවතින්නේ අති විශාල මුදල් කන්දරාවක් එක්ක ගනුදෙනු කරන මත්ද්‍රව්‍ය, ආයුධ ආදී සියලුම නීති විරෝධී මාර්ගවලින් මුදල් හෙවීම හරහා බව. එබැවින් ඔවුන්ව පරාජය කිරීම සම්බන්ධයෙන් ඉදිරි කාලයේ දී ඉතා තීරණාත්මක භූමිකාවක් කරන දෙයක් තමයි ඔවුන්ට අපගේ දේශපාලකයින්ගේ සිට මාධ්‍ය හරහා නිලධාරීන් දක්වා අවශ්‍ය අය මුදල් දී ගන්නට,නිහඩ කරන්නට හෝ තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට මුදලින් හසුරවන්න හැකි ද නොහැකි ද කියන කාරණය. ඒ වගේම රට අභ්‍යන්තරයේ පවතින පුද්ගල හා කණ්ඩායම් ගැටුම්, අවස්ථාවාදී දේශපාලනය පාවිච්චි කරන්න පුළුවන් ද කියන කාරණය. එනම් සමාජයේ පවතින දූෂිත හරයන් බිඳී ගිය සන්ධර්භය ඔවුන් ඔවුන්ගේ වාසියට හා පැවත්මට යොදාගන්නා බව අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි. ශ්‍රී ලංකා ඉතිහාසය පුරා ම විදේශ ආක්‍රමණවලට වඩා ම හසු වූයේ අභ්‍යන්තර තිබුණු දූෂිත සහ ගැටුම්කාරී තත්ත්වයයි. අවාසනාවට මෙවර අපට දකින්නට තිබුණේ ඒක වෙනදාටත් වඩා තදින් තියෙන බවයි.
ප්‍රතිවිරද්ධ මත ද්වේශයෙන් තොරව සාකච්ඡා කරගන්න බැරි, බුද්ධිමය ක්‍රියාකාරකම්වලට ’පුක පක හුක’ භාශාවෙන් කොලප්පන් කරන, සංස්කෘතික විවිධත්වයට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට ගරහන මේ විනාශකාරී සංස්කෘතිය නිර්මානය වූයේ කොතනින් ද? එයට වග කිව යුත්තේ නැවත නැවත අපි විවේචනය කරමින් සිටි, රට ගැන මිනිසුන් ගැන සමාජය- සංස්කෘතිය හා ඉතිහාසය ගැන වැරදි ඉගැන්වූ බුද්ධිමය ක්‍රියාකාරකම් හා ශාස්ත්‍රීය ශීක්ෂණයක් දීමට අපොහොසත්වූ අපේ රාජ්‍ය අධ්‍යාපනයයි, ඒ අධ්‍යාපන සංස්කෘතියයි.

රටක් ලෙසට හෝ ජාතියක් ලෙසට මීට වඩා යහපත් ලෝකයක් පතා ත්‍රස්තවාදය පරාජය කළ හැකි මාර්ගය වැටී ඇත්තේ කොහෙද? එනම් සමාජයක වැළැක්විය නොහැකි සියලු වර්ග, ආගම්,ජාතිභේද, මතවාද, පුද්ගලික වෙනස්කම් ආදිය එකිනෙකාට කැමති පරිදි ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙන යන්න ඉඩ දෙමින් ඒ අතරේ ත්‍රස්තවාදය නම් පොදු සතුරාට විරුද්ධව ඒ් භේද ප්‍රශ්නයක් නොකරගෙන සහජීවනයෙන් මුහුණ දෙන්න ඇති හැකියාවයි. ඒ තමයි අපට තාමත් හසු වී නැති දේශපාලනය.

දැනට පවතින ඉහත කී තත්වය උඩ තවත් මෙවැනි ප්‍රහාර දෙක තුනකට අප හසු වූ පසු මළවුන් බේරි ජීවත්වනවුන් ඉතා දරුණු ආධ්‍යාත්මක විනාශයකට ලක්වී සමාජයක් ලෙසට තව තවත් කැබලි වලට කැඩී බිඳී යාම වැලක්විය නොහැකියි. එබැවන් මේ තීරණාත්මක මොහොත අප යොදා ගත් යුත්තේ සුපුරුදු මෝඩයින් ලෙස බෝම්බයක් වදින පාසා එය එකිනෙකාට කෙලවා ගැනීමට පාවිච්චි කිරීමට නෙමේ එහි අනිත් පැත්ත වූ අපට මෙතෙක් නොහැකි වූ විවිධත්වය තුල එකිනෙකා අතර සහජීවනය හා අව‌බෝධය ගොඩ නගා ගෙන වඩා ශිෂ්ඨ ජනකොටසක් ලෙසට හිටියට වඩා ශක්තිමත් වීමටයි.
-ධනන්ජය කරුණාරත්න -මුහුණු පොතෙන්

janahada

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...