එය ඉතාම සෞභාග්‍යමත් කාලයක් විය. එය ඉතාම දුර්භාග්‍යමත් කාලයක් විය. එය බුද්ධියේ යුගය විය. එය මූඪත්වයේ යුගය විය. එය ඇදහිල්ලේ වකවානුව විය. එය අවිශ්වාසයේ වකවානුව විය. එය ආලෝකයේ සමය විය. එය අන්ධකාරයේ සමය විය. එය අපේක්ෂාවේ වසන්තය විය. එය අපේක්ෂා භංගත්වයේ සිසිරය විය. අප ඉදිරියේ සියල්ලම තිබිණි. අප ඉදිරියේ කිසිවක් නොතිබිණි. අප සියලූ දෙනා කෙළින්ම ස්වර්ගයට යමින් සිටියෙමු. අප සියලූ දෙනා අනෙක් අතට යමින් සිටියෙමු. කෙටියෙන්ම කිවහොත් ඒ අවධිය බොහෝ සෙයින්ම වර්තමාන අවධියට සමාන විය"

ඉංග‍්‍රීසි ලේඛක චාල්ස් ඩිකන්ස් (Charles Dickens) මෙසේ සටහන් කළේ 1859දී A Tale of Two Cites කෘතිය රචනා කරමිනි. ඩිකන්ස්ගේ එම කෘතිය ‘එපුරවර සහ මෙපුරවර’ ලෙස සිංහලට පරිවර්තනය කර ඇත්තේ රාණී සේනාරත්න රාජපක්ෂ ලේඛිකාව විසිනි. ප‍්‍රංශ විප්ලවය ආසන්න යුගයේ ප‍්‍රංශයේ රජ කළ 14වන ලූවී රජුගේ සහ එම යුගයේ එංගලන්තයේ රජ කළ 3 වන ජෝර්ජ් රජුගේ යුගයේදී ජනතාවගේ තත්ත්වය පිළිබඳව කෘතියෙන් විවරණය කෙරේ. ඩිකන්ස් මෙසේ ලියා තැබුවේ මීට වසර 156කට පෙරය. කෘතියේ ආරම්භයේදීම මහා දේශපාලන විවරණයකි. එය කෙටියෙන්ම කියන්නේ නම් "තියෙනවා යැයි කියන දෙයම නැත්තේය."

ඩිකන්ස්ගේ මේ "දෙනුවර අන්දරය" ඉකුත් ආණ්ඩු සමයේ මේ දෙරණේ මහපොළොව මත තිබූ යථාර්තයයි.

 

ජාවාරම්! ජාවාරම්!! මිනිස් ජාවාරම්!!!

ආසියාවේ නැගී එන ආශ්චර්යය ගැන අපට කියන විට ජාත්‍යන්තරය ඉදිරියේ ශ‍්‍රී ලංකාව පිළිබඳ ප‍්‍රතිරූපය දියවෙමින් පැවතුණේය. මතින් තොර රටක් ගැන අපට කියන විට කුඩු සහ එතනෝල් වරාය පරිශ‍්‍රයට ආවේ කන්ටේනර් ගණනිනි. නිල්ල පිරුණු හෙටක් ගැන කියන විට රටේ වනාන්තර කපා දමා විනාශ කර ඒ මත හෝටල් තැනීය. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යැයි උදම් අනද්දී රජරට වකුගඩු රෝගයෙන් මරණ බිය ඇවිළී ගියේය. නීතිගරුක සමාජයක් පිළිබඳ අපට කියන විට ඔවුහු නීතියට පයින් ගසමින් ඔවුන්ගේ කැමැත්ත නීතිය බවට පත්කර ගත්තේය. නිදහස සපිරුණු දේශයක් ගැන අපට කියන විට ජනමාධ්‍යවේදීන්ට රට අතහැර විදේශගත වන්නට සිදු වුණේය. බියක් සැකක් නැති හෙටක් ගැන කියන විට සුදු වෑන්වලින් බොහෝ දෙනකු යළි නොඑනා ගමන් ගොස් තිබුණේය. අලූත් ශ‍්‍රී ලංකාවක් ගැන සිහින බුසල් ගණනින් පුරවා දෙන විට අප සිතුවේ ස්වර්ගයේ දොරටුව අභිසයට අප කැඳවාගෙන යමින් සිටින බවය. එහෙත් විවෘතව තිබුණේ අපායේ දොරටුවය.

සෞභාග්‍යයේ අරුණලූ උදාවන බව කීවත් රටේ ජනතාවට සිදුවූයේ දුර්භාග්‍යයේ අන්ධකාරය කරා යෑමටය. බුද්ධියේ යුගය යැයි කීවද මුළු රටම මූඪත්වයේ මඩ ගොහොරුවේ ගිල්වා තැබුවේය.

සංවර්ධනයේ ඝෝෂාව ඇසෙන විට අප ඉදිරියේ සියල්ලම තිබුණාසේය. ජීවිතයට මුහුණ දෙනවිට ඒ කිසිවක් අප ඉදිරියේ නැත.

මේ තත්ත්වය හමුවේ සියල්ල ජාවාරම් බවට පත්කර තිබුණේය.

වල්ලාපට්ටා ජාවාරම, කුඩු-එතනෝල් ජාවාරම, රත්තරන් ජාවාරම, කෞතුක භාණ්ඩ ජාවාරම, වාලම්පුරි, සුදුහඳුන් ජාවාරම, කළු සල්ලි සුදුකරන ජාවාරම එපමණක් නොව කබර හූනන් පිටරට පටවන ජාවාරම්ය. කිරි ඉබ්බෙකුටවත්, සුදු නාගයෙකුටවත්, සුදු කැස්බෑවකුටවත් මේවායින් ගැලවිල්ලක් නොතිබූ බව මුළු රටම දන්නේය. ගහකොළ සතා සීපාවා තබා මිනිසුන්ටවත් මේ ජාවාරම්වලට ගොදුරු නොවී සිටින්නට නොහැකි විය.

ලංකා ඉතිහාසයේ ‘මිනිස් ජාවාරම’ පිළිබඳව (Human Smuggling) අසන්නට ලැබුණේ 2012 වසරේදීය. මේ ජාවාරම ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමය ජාත්‍යන්තරය ඉදිරියේ කෙලෙසා දැමීම සඳහා දෙමළ ඩයස්පෝරාව ක‍්‍රියාත්මක කරන ජාවාරමක් බව ලෝකයාට පෙන්වීමට ආණ්ඩුව උත්සහ කළේය. මේ ජාවාරමට ගොදුරු වූයේ උතුරු නැගෙනහිර ජනතාවය. තිස් වසරක් පුරා යුද්ධයෙන් බැට කෑ මේ අසරණ ජනතාවට ඉන්න හිටින්නට තැනක් තිබුණේ නැත. ආදායම් මාර්ගයක් තිබුණේ නැත.
රැකියාවක් කරන්නට විදියක් තිබුණේ නැත. ගසක් යටවත් නිදහසේ ඉන්නට ඉඩක් දුන්නේ නැත. ජාවාරම්කාර නඩය ප‍්‍රයෝජනයට ගත්තේ මේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නයය. අවතැන් වූ ජනතාවට ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රිස්මස් දුපත පිළිබඳ නව බලාපොරොත්තුවක් ඇතිකරන්නේ ඔවුන් නොසලකා හැරීමේ අවකාශය මතය.

 

ජාත්‍යන්තරය හමුවේ දිය කළ ලාංකේය ප‍්‍රතිරූපය

ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර සිදුකළ මිනිස් ජාවාරම රාජ්‍යතාන්ත‍්‍රික එකඟතා මත සිදුවූවකි. මේ ජාවාරම සිදුකර තිබුණේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු තළා ගැනීමේ න්‍යායට අනුවය. රාජපක්ෂ සමාගමේ සහ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරින්ගේ මඩිය තරකර ගන්නා ගමන්ම මැතිවරණයකදී දකුණේ ජනතාවගේ අනුකම්පාව දිනාගැනීම සඳහා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ බිල්ලා පෙන්වීමට ‘මිනිස් ජාවාරම’ යොදාගත්තේය. මේ නිහීන ක‍්‍රියාවෙන් ජාත්‍යන්තරය හමුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය දියවී යන්නට පටන් ගත්තේය. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් අවතැන් අසරණ ජනතාවට ඕස්ටේ‍්‍රලියානු සිහින මන්දිර ඇති බව පෙන්වා මේ ජාවාරම කර ඇත්තේ රාජකීය ගනුදෙනුවක් බේරාගන්නටය. දැන් මේ හෙළි කරන්නේ ඒ ජුගුප්සාජනක ගනුදෙනුව පිළිබඳවය.

 

රාජකීය රහස් ගිවිසුම

ඕස්ටේ‍්‍රලියානු රජය සිය 44 වන පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර ගැනීමට පාර්ලිමේන්තු මැතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නේ 2013 අගෝස්තු මස 5 වන දිනය. විසි අට වන අගමැති ධුරය සඳහා එහිදී අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වූහ. ටෝනි ඇබෝට් (Tony Abbott),කෙවින් රඩ් (Kevin Rudd)එම දෙදෙනාය. ‘ඇබෝට්’ ලිබරල් පක්ෂයෙන් ඉදිරිපත් වනවිට ‘රඩ්’ ලේබර් පක්ෂයෙන් මැතිවරණයට තරග කළේය. මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2013 සැප්තැම්බර් මස 18 වන දිනය.

මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ටෝනි ඇබෝට්ගේ මැතිවරණ ප‍්‍රකාශනයේ මූලික පොරොන්දුව (Stop the Boats) හෙවත් අනවසර සංක‍්‍රමණිකයන් එරටට පැමිණීම වැළැක්වීමට පියවර ගන්නා බවය. ටෝනි ඇබෝට්ට මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීමට ඔහු ලබා දුන් මූලික පොරොන්දුව එරට ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත්විය යුතුය. මේ සඳහා රාජපක්ෂ රෙජීමය සමඟ ටෝනි ඇබෝට් රහසිගත රාජ්‍යතාන්ත‍්‍රික ජාවාරමක් සැලසුම් කළේය. ඒ වෙන කිසිවකට නොව ටෝනි අගමැති වීමේ මෙහෙයුමේ කොටසක් ලෙසය.

මෙකී දේශපාලන වුවමනාව වෙනුවෙන් මුළු රටක කීර්තිය මහ මුහුදේ පා කර හැරියේය. ශ‍්‍රී ලංකාවෙන් සහ ඉන්දුනීසියාවෙන් ඕස්ටේ‍්‍රලියාවට අනවසර සංක‍්‍රමණිකයින් පෝළිමේ යන්නට විය. ටෝනි ඇබෝට්ගේ සිහිනය දලූලමින් පැවතියදී ශ‍්‍රී ලංකාවේ යුද්ධයෙන් අවතැන් වී සිටි ජනතාවගේ සිහින බොඳවෙමින් පැවතියේය. යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නියමිත පරිදි යළි පදිංචි කරනු වෙනුවට ඔවුන් සරණාගතයන් ලෙස ඕස්ටේ‍්‍රලියාවට පිටත්කර හැරීමේ මෙහෙයුම නැතහොත් ජාවාරම ක‍්‍රියාත්මක කළේය.

2012.07.10 වන දින ට්‍රෝලර් යාත‍්‍රාවක පටවා පළමු මගීන් 43 දෙනා ඕස්ටේ‍්‍රලියාවට පිටත් කර හැරියේය. එතැන් සිට අවස්ථා ගණනාවකදී ටෝලර් යාත‍්‍රාවල පටවා සරණාගත ලේබල් ඇලවූ මගීන් 12000කට වැඩි පිරිසක් ඕස්ටේ‍්‍රලියාවට පිටත් කරනු ලැබ තිබේ. මේ මිනිස් ජාවාරම ක‍්‍රියාත්මක කිරීමේදී එක් මගියකුගෙන් අයකර තිබූ මුදල ඩොලර් 7600ක් නැතහොත් රුපියල් 988000කි. ශ‍්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිට සති තුනක ගමනාන්තයකින් පසුව ඕස්ටේ‍්‍රලියාවට යා හැකි බව මගීන්ට දැනුම් දී තිබුණේය. යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර මිනිස්සු තමන්ගේ දේපළ බැංකුවට උකස් කළේය. ඇතැම් අය තම දේපළ කුණු කොල්ලයට විකුණා දැමුවේය. කනේ කරේ අතේ යන්තමින්වත් ඉතිරි වී තිබූ ආභරණ නිවහල් නවාතැනක සිහිනය වෙනුවෙන් ගලවා පරිත්‍යාග කළේය. කෙසේ වෙතත් අවසානයේ ඕස්ටේ‍්‍රලියානු නාවික හමුදා භාරයට පත්වීමෙන් පසුව මේ අසරණ ජනතාවට යන්න සිදුවූයේ පැපුවා නිව්ගිනියාව නම් අනාථ වූවන්ගේ දුපත වෙතය.

ජාවාරමට සම්බන්ධ වූ නාවික කොමදෝරුවාගේ සිට ආරක්ෂක ලේකම් දක්වා වූ ඉහළ නිලධරයෝ මුදල් ගරාගත්හ. රාජපක්ෂවරු, ත‍්‍රිකුණාමලයේ ශ‍්‍රීලනිප සංවිධායක සුසන්ත පුංචිනිලමේ ඇතුළු ද්‍රවිඩ සන්ධානයේ ප‍්‍රාදේශීය දේශපාලනඥයෝද මේ අසරණ ජනතාව උගසට තබා මුදල් ගැරුවෝය. මේ මිනිස් ජාවාරම රාජතාන්ත‍්‍රික ගනුදෙනුවක ප‍්‍රතිඵලයක් ලෙස නොදත් රහස් පොලීසිය ජාවාරම්කරුවන් සම`ග සරණාගතයන් ගමන් ගත් යාත‍්‍රා යාපනය, මන්නාරම, හලාවත, මීගමුව, ගාල්ල, හම්බන්තොට, ත‍්‍රිකුණාමලය, මාතර ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගත්තෝය. එහෙත් මෙහෙයුම ක‍්‍රියාත්මක කළ රහස් පොලිස් නිලධාරීන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබුණේය. පරීක්ෂණ යට ගැසුවේය. මේ යහපාලන සමයේත් ඒ සියල්ල එසේමය.

 

සරණාගත යාත‍්‍රාවේ ඉහළ නාවික හමුදා නිලධාරින්

2013 සැප්තැම්බර් 10 වන දින ඕස්ටේ‍්‍රලියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද සරණාගත යාත‍්‍රාවක නාවික හමුදාවේ ලෙෆ්ටිනන් කමාන්ඩර් සංජීව අන්නකුගොඩ ඇතුළු ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් සිවුදෙනකු සිටි බව AFP පුවත් සේවය මුළු ලොවටම වාර්තා කර සිටියේය. නාවික හමුදාවේත් යුද හමුදාවේත් ඉහළම නිලයන් මේ මිනිස් ජාවාරමට සම්බන්ධ වී ඇති බවට සාක්ෂි ඇත්තේය. සාගරික බුද්ධි නිලධාරි ක‍්‍රිෂාන්ත වෙලගෙදර, අධ්‍යක්‍ෂ නාවික බුද්ධි නිශාන්ත උඩුවේතැන්න, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා (අධ්‍යක්‍ෂ ජනරාල් නාවික මෙහෙයුම්), ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී මේජර් ජනරාල් හෙන්දාවිතාරණ මිනිස් ජාවාරමට සම්බන්ධ වූ ප‍්‍රධාන පෙළේ නිලයන්ය. මේ සියලූ දෙනාම ක‍්‍රියාත්මක වූයේ එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා යටතේය.සේනාධි නායකයා යටතේය. දැන් ඉතිං ජාවාරම කෙරුණේ කොහොමද කියන්නට තවත් උදාහරණ අවශ්‍ය නැත.

රාජ්‍ය අනුග‍්‍රහය යටතේ සිදුකළ මේ මිනිස් ජාවාරම හේතුවෙන් දොළොස් දහසකට වැඩි ශ‍්‍රී ලාංකික පිරිසක් පැපුවා නිව්ගිනියාවේ දහදුක් විඳිති. ඔවුන්ගේ සිහින හොරු අරගෙනය. 2013 සැප්තැම්බර් 07 වන දින ඕස්ටේ‍්‍රලියාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ටෝනි ඇබෝට් ආසන 114න් ආසන 90ක් දිනා ඕස්ටේ‍්‍රලියාවේ 28 වන අගමැතිවරයා ලෙස පත්වූයේය. 2013 නොවැම්බර් 16 ශ‍්‍රී ලංකාවේ පැවති චෝගම් සමුළුවට ආ ටෝනි ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට ස්තුතිය පළකරන බවත් මිනිස් ජාවාරම සම්බන්ධයෙන් එම තත්ත්වය පාලනය කිරීමට ශ‍්‍රී ලංකා රජය ලබා දුන් සහායට තමා ස්තුතිවන්ත වන බවත් සඳහන් කළේය. ටෝනි අගමැති වීමත් සමඟ ඕස්ටේ‍්‍රලියාවට ශ‍්‍රී ලංකාවෙන් සරණාගතයන් යැවීමද නතර වූයේය.

මේ මිනිස් ජාවාරමට සම්බන්ධ නාවික හමුදාවේ ඇතැම් නිලධාරින් දැන් යහපාලනයේ ලොකු අතු යට සෙවණ ලබන්නේය. මිරිස්සේදී සරණාගත යාත‍්‍රාවක් අත්අඩංගුවට ගත් ඩී. බී. හපුගොඩ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැන් ඉන්නේ මැලේසියාවේය. ජාවාරමට සම්බන්ධ වූ නාවික හමුදාවේ සී.අයි. රත්නායක, අයි.පී. හේවාවඩු, කේ.සී. වෙලගෙදර යන නිලධාරින් දැන් සිටින්නේ ඕස්ටේ‍්‍රලියාවේය. ඇතැම් අය ඕස්ටේ‍්‍රලියාවේ තානාපති කාර්යාලයේ සේවය කරති. ජාවාරමට සම්බන්ධ වූ කාගෙ කාගෙත් අතේ මී පැණි තැවරුණේය. ක‍්‍රිස්මස් දුපත ගැන බලාපොරොත්තුවෙන් මේ ජාවාරමට හසුවූ පැපුවා නිව්ගිනියාවේ සිටින ශ‍්‍රී ලාංකික අසරණයන්ගේ අත්වල මේ දැනුත් තැවරෙන්නේ ඔවුන්ගේ දෙනෙත්වලින් වැගිරෙන කඳුළුය.


- දයා නෙත්තසිංහ

Write comment (0 Comments)

ඈතින් ‘මට දෙව, මට දෙව, මට මැ යළි දෙව!' යි ගුගුරනා පරිසියා යැ. මෑතින් "අප තොපව සිහසුන් ගැන්වූයේ යළි උහුට මැ දීම ටැ දෝ හෝ" යි අසනා විකුම්සිහයා යැ. ඈතින් "දෙමළා යනු බිළාලයා යැ, මා පැරදවූයේ උහු යැ, ඉදින් රට බිළාලයා ටැ යාමට පෙර මට මැ දෙව" යි පපුවටැ තඩි බා ගන්නා පරිසියා යැ. මෑතින් "සකල දෙමළෝ මැ බිළලායෝ නොවෙනා හ. ඉදින් බිළාලයා පරිසියා විසින් මැ අවසන් කළැයි කී හෙයින් බිළාල නොවන්නා වූ දෙමළා ටැ හිමි යමෙක් උහු ටැ දිය යුතු"යි කියනා විකුම්සිහයා යැ. මෙත්පලයාණෝ මෙවන් වූ විප‍්‍රකාරයෙන් සපිරි කල දවසෙක් ගෙවෙන්නේ වුව කිමෙක් හෝ කාංසාවකින් නිරන්තරයෙන් පෙළෙනාහ.

'යමක් අහිමි වූ නියා යැ' යි මතුරමින් රජගෙහි එකෙල මෙකෙල සක්මන් කෙරෙන්නේ වරෙක උහු ඇඹේනිය ඇඟැ හැපෙනා හ. 'සාමිනී, කිනම් සිහියෙකින් මෙසේ තාරව වනැ නියාදැ’යි ඈ අසනා කල මෙත්පලයාණෝ ‘සොඳුර, යමෙක මහත් වූ අඩුවෙක් දැනෙනා නියා යැ’යි පවසනා හ. ඇඹෙණියෝ හෙවත් බිසවදැ හැඬුම් ස්වරයෙන් පවසන්නේ, ‘අප පුතණු දහමයා තරමක් කෙළිලොල් බැව් සැබැවි. එහෙත් එක් සිදුවීමෙක් අළලා තොප උන් නොරට යැව් නියා යැ. ඉදින් මේ උහු නොමැති අඩුව යැ”යි වැලපුම් අරඹනා හ. ‘නොවලප ව සොඳුරිය !! මේ එවැන්නක් නොවනා හ. මේ වෙනස් යමෙකැ’යි පවසා එතුමෝ මැදුරින් පිටතට පැමිණෙනා හ.

උයනට වන් කෙණෙහිම රජසබ වරණයට නම් දීම ටැ පැමිණ හුන් දුමිඳු සිලූවා නම් නැඩයා එතොමෝ ඇස ගැටෙනා හ. ‘දුමිඳුව, යමක් බොහෝ සේ මතකයට නැඟෙනා හ. එහි අඩුව දැනෙනාය” කී එතුන්මන්ට දුමිඳුවා ‘එසේය ස්වාමීනි, මට දැ යමෙක් මතකයට නැඟිය යුතුබැව් දැනෙනාය, එහෙත් නොමතක වෙනා ය. සෙසු සියල්ලක් මැ මතකයට එනා ය. ඒ එකක් පමණක් මැ අමතක වෙනා හ. ඔබවහන්සේ දැ සිංහපුර මහාධිරාජිධෑන්ගේ ඔසු හළට හෝ .... ‘කියද්දී මැ, මෙත්පලයාණෝ’ තෝ මෙතැන් නොසිටැ යන අතක යා !”යි කෝපයෙන් ගුගුරා උහු එළවා ගන්නා හ.

මුහු ඇසුරෙන් විසඳුමෙක් නොවෙනා නියා යැ. තනිව මැ සොයමියි සිතා එතුමාණෝ පළක් බැඳ හිඳ කල්පනාවට වැටෙනා හ.

ඇමැති සබයෙහි දී ඇමැත්තන්ටැ ගිරියෙන් කෑමොර දෙන්නටැ ආක්‍රෝශයෙන් පරිභවැ කෙරෙන්නටැ අයෙක් නැත්තා හ. ඇමැත්තන්ටැ කහවණු වෙන් කෙරෙද්දී නැලි ගණෙනින් බෙදා ගන්නා සොයුරු හවලෙක් නැත්තා හ. ඉදින් ඇමැත්තන් එකිනෙකා කෙරෙහි කොටවා තබා වුව තනි තනිවැ මෙඟක මුණ ගැසුණු කෙණෙහි නාභියටැ ඇණැ, කරටැ අත දමා සුරතල් කරන්නටැ යමෙක් නැත්තා හ. එමෙන්මැ පවසනා යමෙක් එදිනමැ මහතැනටැ දන්වනු පිණිසැ බික්ති මස්තකයෙහි පවා කන් පිහිටුවා චරපුරුෂයින් යොදනා ලේකමෙක් නැතුවා යැ. කනබොන අතවැසි දේටැ පවා මහමෙර බරටැ බදු පටවනා එකකු නැතුවා යැ. ඉදින් පානය පිණිසැ දිය බිඳෙක් ඉල්වූ පසල් දනව්වැසියන්ටැ ගිනිබිඳ මරා දමනා එකෙකු නැතුවා යැ. කළැ මෙහෙයටැ පසු ගෙවුම් පිණිසැ තැබූ කහවණු ඉල්ලනා දාසයින්ටැ ගිනිබිඳැ මරනා එකකු නැතුවා යැ. දිසාපාමොක් ඇසුරෙහි සිසුවෝ පෙර මෙන්මැ මහ මඟැ රාජපුරුෂයින් අතින් බැට කනා මුත් උහු සඟවා රැගෙන ගොස් අතර මඟැ යකඩ අසු පිටින් වැටී මිය ගිය සැටියෙක් දක්වාමුත් හිස් තළා දමනට එකෙක් නැතුවා යැ. කොටින්මැ ධවල රථ සැරියක් ගැන අසනුවවත් නැතුවා යැ. සොරුන් මංපහරන්නන් ආයු පෙන්වමැයි රැගෙන ගොස් මහ මඟ මරනා එකකු නැතුවා යැ. පතපොත ලියනා ගත් කරුවෝ පුවත්පත් කරොවෝ මහ මඟ අතුරුදන් කෙරෙනා එකකු නැතුවා යැ. අවමයෙන් උහු තළාපෙළා අතැපයැ බිඳ උහු රැවුළු උහුට මැ කවනා එකකු හෝ නැතුවා යැ. වෙනෙකක් තබා රථයෙක් නොව ගවයකු හෝ නිතර නොයනා මං මාවත් පවා යොදුනක් පළලටැ බුමුතුරුණු විල්ලූද අතුරා සරසන්නටැ එකකු නැතුවා යැ. අනෙකකු දු නොව තමන්දැ මණ්ඩප මස්තකයෙහි කොණෙක සිටියදී මණ්ඩප අරා මහා වානරයා සේ පපුවටැ තඩිබාගනිමින් ‘මගේ රට !! මගේ රට!!’යි මර හඬ දෙන්නටැ එකකු නැතුවා යැ.

එක් අහිමි වීමෙකින් තවත් අහිමි වීමෙකට මෙනෙහි කෙරෙනා අතර තුර මැ මෙත්පලයාණෝ එක් ධ්‍යානයකින් තවත් ධ්‍යානයකට වෙසෙන් සමවදිනා හ. අවසනැ අහිමි වීම, අහිමි වීමටැ හේතුව, අහිමි බැව් නැති කෙරුම, අහිම්බැව් අහිමි කර ගැනුම් මඟ යැ යනාදී ලෙසින් චතු මරාර්ය සත්‍ය අවබෝධ කැරැු ගන්නා එතුමෝ දැහැණින් නැගී සිටැ ඇතුළු ගෙය කරා නික්මෙනා හ. ඇතුළුගෙයි වැදැ දුරබණුව ගත් එතුමෝ සුසිල පෙම්ජයායැ, පියදසුන් යාපයා යැ, විමලායැ, දිනේසයා යැ, ගෙම්බන්පිලයා යැ යන පස්වග අමනුන් අමතා ”මට දැ මෙකී මෙකී දෑහි අඩුවෙක් දැනෙනා හ, මේ නැතිකෙරුම් පිණිසැ පරිසියාමැ යළි කැඳවිය යුතු. එහෙයින් පරිසියාටදැ රජසබ වරණයටැ නම් දෙව්!!” යැයි පවසනා හ.
පරිසියා යළි කැඳවීම මෙසේ නිමියේ යැ.

Write comment (0 Comments)

'යක්ෂයාගේ පාරාදීසය' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ දකුණු ඇමෙරිකාවේ චිලී රට ආශ‍්‍රිතව පිහිටා ඇති අටකාමා කාන්තාරයයි. මිනිසුන්ට ජීවත්වීමට නොහැකි තරමට වියළි කාලගුණයක් පැවතීමත් ‘ලෝකයේ වියළිම’ ස්ථානය ලෙස සැලකීමත් මෙසේ හැඳින්වීමට හේතු වී ඇත. මේ කාන්තාරයේ චිලී භාෂාවෙන් ලියූ සුවිශේෂී වැකියක් තිබේ. අභ්‍යාවකාශයට පවා පෙනෙන පෘථිවිය මත ලියූ එකම වැකියද එයයි. මේ වැකිය පිළිබඳ ලොවට අනාවරණය වූයේ 2004 වසරේ ගූගල් සමාගමට අයත් (Google Earth) පරිගණක වැඩසටහන මඟින් පෘථිවියේ ත‍්‍රිමාණ භූගෝල සටහන් නිරීක්ෂණය කිරීමේදීය. කිලෝමීටර් 3.15ක් දුරට කාන්තාරයේ වැලි මත චිලී බසින් සටහන් කර ඇති එම වැකිය Ni pena ni miedo යන්නයි. එම වැකිය ඉංග‍්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ No Shame No fear යනුවෙන්ය. එහි සිංහල තේරුම ‘ලැජ්ජා නැත බය නැත’ යන්නය.

වැකිය ලියා තිබුණේ අටකාමා කාන්තාරයේ වුවත් ලැජ්ජාත් නැති බයත් නැති වැඩ කෙරුණේත් කෙරෙන්නේත් මෙහිය. සසිරිබර මෙසිරිලකය.

 

ලැජ්ජ නහර සුන්නත් කළ රාජ්‍ය නායකයෝ

ලැජ්ජාත් නැති බයත් නැති වැඩ ඇරැඹුණු අවධියේ ලෝකයට පෙනෙන්නට ලෝක ප‍්‍රසිද්ධියට මේ රට නම් කරනු ලැබුවේ ‘ආසියාවේ ආශ්චර්යය’ කියාය. එකල්හි රටේ නායකයා හැඳින්වූයේ ජනමූල නායකයා කියාය. ආඩම්බරකාර අප්පච්චි කියාය. ශ‍්‍රී රෝහණ ජනරංජන කියාය. වෝහාරපති කියාය. විශ්ව කීර්ති ශ‍්‍රී ත‍්‍රිසිංහලාධීෂ්වර ඇතුළු හැටහුටහමාරක් ගරු නම්බු නාමද පිදුණේය. ආශ්චර්යය කෙසේ වෙතත් එකල්හි ‘යක්ෂයාගේ පාරාදීසය’ ගොඩනගමින් තිබුණේය. මේ තත්ත්වය නොඉවසූ මෙරට හැටදෙලක්ෂයක් තරම් වූ බහුතර ජනතාවක් මේ රජා සිංහාසනයෙන් නෙරපා දැමුවේය. ඒ ඉකුත් ජනවාරි මස අටවැනි දිනය. රාජ සභාවේ අග‍්‍ර ඇමැතිකම ඉල්ලා පසුගියදා නාමයෝජනා දුන්නේ ලැජ්ජාවක් නැති ඒ ‘රත්තරන්’ හොරුය. ඊට ඉඩ දුන් මෛත‍්‍රී නම් පාලකයාටත් ලැජ්ජාවක් තිබුණේ නැත.

රත්තරන් ‘හොරකම’ ඉකුත් වසර දහයක කාලය තුළ ලොව සිදුවූ දැවැන්තම කොල්ලකෑම්වලින් එකකි. දකුණු ආසියාවේ රාජ්‍ය නායකයකු කරන ලද විශාලතම හොරකමද මෙයයි. ලංකා ඉතිහාසයේ කිසිදු රජෙකු හෝ රාජ්‍ය නායකයකු මෙවැනි ජනතා දේපළ කොල්ලකෑමක් සිදුකර නැත. එවැනි ඉතිහාසයක් අපට තිබුණේද නැත. ඒවා සියල්ලම පහළ වූයේ ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කරන්නේ යැයි දිවුරා පොරොන්දු දුන් මැදමුලනේ කාඩරජාගේ සමයේදීය.

මෙතෙක් ලෝකයාගෙන් සහ රටේ ජනතාවගෙන් වසන් කළ ලොව විශාලතම රන් කොල්ලයේ ආශ්චර්යය මෙසේය.

යුද්ධය පැවති සමයේ නැතහොත් ආණ්ඩුවට අනුව මානුෂීය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු රත්තරන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. රත්තරන් සමඟ එම සංවිධානය සතු බැංකුවල තිබූ මුදල් සේප්පු රැසක්ද අත්අඩංගුවට ගත්තේය.

යුද්ධය පැවති සමයේ මේ අත්අඩංගුවට ගත් මුදල් සහ රත්තරන් ට‍්‍රැක්ටර්වල පටවා රැගෙන යන දර්ශන ගෙදර ආලින්දයේ සිට රූපවාහිනියෙන් ඔබද දකින්නට ඇත.

යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් රත්තරන් සහ මුදල් නියමිත පරිදි ඔවුන් විසින් වගකිව යුතු ආයතනවලට ලිපි ලේඛන සමඟ භාර දෙන ලදී. ඔවුහු ඔවුන්ගේ වගකීම ඉටුකළහ. ඉන්පසුව සිදුවූයේ කුමක්ද?

 

රන් ප‍්‍රවාහනය කළවුන් ද අතුරුදන්ය

යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් මුදල් සහ රත්තරන් තොග 2009 ජූලි මස 11 වන දින වනවිට හෙලිකොප්ටර් යානා සහ ටිපර් රථ මඟින් කොළඹට රැගෙන ආවේය. ඉතා රහසිගත ස්ථානයක ඒවා ගබඩා කර තැබුවේය. රැගෙන ආ මුදල් ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් කිසිදු ලිඛිත සාක්ෂියක් අපට නැත. එහෙත් ඒවා කොළඹට රැගෙන පැමිණි හා රහසිගත ගබඩාවල තැන්පත් කළ පුද්ගලයන් ජීවතුන් අතර සිටිනවාද නැතිනම් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පස් කඳුවලට යට වුණාද දන්නේ නැත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් රත්තරන් ප‍්‍රමාණය ටොන් තුන්සිය පනහක් හෙවත් කිලෝ තුන්ලක්ෂ පනස් දහසකට ආසන්නය. ඒවා නියමිත ක‍්‍රියා පටිපාටියට අනුව රජයට භාරදුන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සාක්ෂි දරන්නේය. එහෙත් භාර දුන් බවට යුද හමුදාව සතුව තිබූ ලිඛිත සාක්ෂි දැන් අතුරුදන්ය. ඒවා රාජපක්ෂ පවුලේ ප‍්‍රධානියකුගේ නියෝග මත පුලූස්සා දමා ඇති බව දැනගන්නට ඇත.

යුද්ධය අවසන් වීමත් සමඟ හමුවූ රත්තරන් හා මුදල් පිළිබඳ කසුකුසුවක් ඇසෙන්නට පටන්ගත්තේ 2010 ජනාධිපතිවරණ වේදිකාවේය. නැගුණු ප‍්‍රශ්න කිරීම් හමුවේ රත්තරන් ටොන් 39.66ක් 2011 වසරේ විකුණා දැමීම සිදුවූ බව හෙළි විය. සරලව කිවහොත් රත්තරන් ටොන් 350න් ආසන්න වශයෙන් ටොන් 40ක් රාජ්‍ය භාණ්ඩාගාරයේ ලේඛනවලට ඇතුළත් කර තිබිණි.

2011 වසරේ විකිණූ රත්තරන් ගැන 2012 ජුනි මස 08 වන දින ජාත්‍යන්තර මුල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී මහ බැංකුවේ එතරම් රන් සංචිතයක් පැවතීම ගැන ගැටලූවක් පැනනැගුණු අතර එම ප‍්‍රශ්නයෙන් සරත් අමුණුගම කර ඇරියේය. දයාසිරි ජයසේකර මෙම ප‍්‍රශ්නය නගා තිබුණේ මහ බැංකුවේ වාර්තා පදනම් කරගෙනය. එම වාර්තාවලට අනුව මහ බැංකුවේ ඒ වනවිට පැවතියේ ටොන් 21ක රන් සංචිතයක් පමණි. එහෙත් සරත් අමුණුගම පාර්ලිමේන්තුවේදී කීවේ
ශ‍්‍රී ලංකාව සතු රත්තරන් සංචිතයෙන් මෙටි‍්‍රක් ටොන් 39.66ක් 2011 වසරේ විකුණා දැමූ බවය. ඉන් ඇමෙරිකානු ඩොලර් කෝටි 196.6ක මුදලක් උපයාගෙන තිබෙන බවත් හෙතෙම පැවසීය. විකුණා උපයාගත් මුදල් විදෙස් ව්‍යවහාර වත්කම් ලෙස ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාතික සංචිතයන්හි රඳවා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. රාජපක්ෂගේ රන් කොල්ලයේ තොරතුරු එළියට එන්නේ මේ හෙළිදරව්වත් සමඟය.

 

තැරැව්කරුවෝ අටදෙනෙක්

2011 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුව මඟින් ජපන් සමාගමක් වන Credit Suisse Securities (Japan) Limited මඟින් ජපන් රජයට රත්තරන් ටොන් 40ක් විකුණාදැමීම සිදුකරන්නේ තවත් තැරැව්කරුවන් අටදෙනකු සමඟ ඇතිකර ගත් එකඟතාවය මතය. එකී එකඟතාව අනුව රන් කිලෝවක් සඳහා ගෙවනු ලබන ඇමෙරිකානු ඩොලර් හතළිස් හය දහසෙන් ඇමෙරිකානු ඩොලර් දෙදහසක් තැරැව්කරුවන්ට ලබාදීමට ගිවිසුම් ගැසුවේය.
තැරැව්කරුවන් අටදෙනා වන්නේ,
01. මර්සුමුරා (ජපන් ජාතික)
02. තුවාන් බාගුස්
03. රාජ් ගෝපාල් කර්තීපන්
04. එස්. සෝමසේකරන්
05. අයි. උපුල් කරුණාරත්න
06. තරංග මහේෂ් ඉන්දික සමරසිංහ
07. යෝගරත්න විමල්සිරි ඉලංගකෝන්
08. නෙවිල් යෝගේන්ද්‍රන් ක‍්‍රිෂ්ටි සුරේෂ් කුමාර යන පිරිසය.

අට දෙනාගෙන් සිවුදෙනකු එවකට අරලියගහ මන්දිරයේ සෙවණේ සිටි අයය. එස්. සෝමසේකරන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ සේවකයෙකි. ගිවිසුම් ප‍්‍රකාරව කොමිස් මුදලින් කොටසක් හෝ ලබාගෙන තිබුණේ මර්සුමුරා (ජපන් ජාතික), තුවාන් බාගුස්, රාජ්ගෝපාල් කර්තීපන්, එස්. සෝමසේකරන් යන සිවුදෙනාය. ඉතිරි අයට කොමිස් මුදල ලබා දුන්නේ නැත. නීත්‍යනුකූලව ගිවිසුම් ප‍්‍රකාරව ගනුදෙනුව සිදුකළත් රාජපක්ෂගේ දේශපාලන බලයෙන් සියල්ල යටපත් කළේය. තැරැව්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙව්වේ නැත. මේ ගැටලූව නිරාකරණය කර දෙන ලෙස එක් තැරැව්කරුවකු වන උපුල් කරුණාරත්න මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වරින් වර ඇවටිලි කළේය. අරලියගහ මන්දිරයටත් මැදමුලන වලව්වටත් ගියේය. අනතුරුව 2013.12.03 වන දින ලිඛිතවම දැනුම් දුන්නේය. පිළිතුරක් නැත. වැඩක් වූයේ නැත. ඉන්පසුව 2015.05.09 වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන්ද උපුල් කරුණාරත්න මහතා ඉල්ලා සිටියේ මෙම ගැටලූව නිරාකරණය කරදීමට මැදිහත් වන ලෙසයි. මේ මහා රන්කොල්ලය පිළිබඳ ලංකා ඩේලී වෙබ් අඩවිය මඟින්ද වරින් වර හෙළිදරව් කළේය. ජනමාධ්‍යවේදීන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවලදී මැති ඇමැතිවරුන්ගෙන් විමසා සිටියේය. ඉකුත් ආණ්ඩුව සේම යහපාලන ආණ්ඩුවේ කිසිවකු පිළිතුරු දීමට ඉදිරිපත් වුයේ නැත. රන් ගනුදෙනුව සම්බන්ධ ගිවිසුම (AGREEMENT) අත්සන් තබා සහතික කර ඇත්තේ නීතිඥ සහ ප‍්‍රසිද්ධ නොතාරිස් දිවුරුම් කොමසාරිස් සම්පත් චාමින්ද ගමගේ මහතා ඉදිරිපිටදීය.

 

තැරැව්කරුවන්ටත් පොල්ල

මේ එකඟතා ලියවිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ අතට පත්කරන්නේ ඔහුගේ රහස් ගනුදෙනු මෙහෙයුමේ ප‍්‍රධානියා වූ සප්හානී සෝමසේකරන් විසිනි. ඒ 2011 නොවැම්බර් 19 වන දිනය. රත්තරන් ටොන් හතළිහේ ගනුදෙනුව සඳහා ජපන් රජය වෙනුවෙන් ක‍්‍රියා කළ සමාගම් දෙක වූයේ ජපුගා හෝල්ඩිංග්ස් (Japuga Holdings Company Limited) සහ ක්‍රෙඩිට් ස්විස් (Credit Suise Securities Limited) යන සමාගම් දෙකය. ගනුදෙනුව වෙනුවෙන් මැදිහත් වූ ජපන් ජාතික ව්‍යාපාරිකයා වන්නේ (Keiji Matsumura) කෙයිජි මට්සුමුරාය. සියයට 999.5 පිරිසුදු කිලෝ එකේ සහ කිලෝ 12.5 රත්තරන් පොලූ (bar) ටොන් 40ක් එක කිලෝවක් ඇමෙරිකානු ඩොලර් (46000) බැගින් ජපන් සමාගම් විසින් මිලදී ගනු ලැබීය. මෙම රත්තරන් වසර පහක් පැරැණි බවද වාර්තා වේ. රජය සඳහා ඇමෙරිකානු ඩොලර් (44000)ක් බැගින් එක් කිලෝවක් සඳහා ගෙවූ අතර තැරැව්කරුවන්ට කිලෝ එකකින් ඩොලර් 2000ක් සමසේ ලබාදීමට නියමිතව තිබුණි. තැරැව්කාර ගාස්තුව ඒ අනුව රුපියල්වලින් නම් රුපියල් කෝටි හයසියයකි.

එහෙත් රාජපක්ෂගේ හිතවත් සිවුදෙනකුට පමණක් යම් ප‍්‍රමාණයක කොටස් මුදලක් ලැබී තිබිණි. ඉතුරු සියලූ මුදල් රාජකීය පවුලේ සාක්කුවට ගියේය. නිර්ලජ්ජිත කොල්ලයේ තතු එසේය. ඒ නීත්‍යනුකූලව කළ රත්තරන් ගනුදෙනුව හෙවත් (AU) වෙළෙඳාමේ හෙලූවය. නීති විරෝධීව කළ කොල්ලය ඊට හපන්ය. 2012.04.28 වන දින රන් ගනුදෙනුවේ එක් තැරැව්කරුවකු වූ අයි. උපුල් කරුණාරත්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යොමුකරන ලද ලිපියෙන් කියැවෙන්නේ තවත් රත්තරන් ටොන් තුන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් ජපන් සමාගම් හරහා ජපන් රජයට විකුණා ඇති බවයි. ජපනා සමඟ මේ හොර ජාවාරම කළේ කවුරුන්ද යන්න නැවත කිව යුතු නැත. මේ ගනුදෙනුවට අදාළ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයේ ගිණුම්ගත කළේ නැත. එය සිදුකරන ලද්දේ රහසිගත ගනුදෙනුවක් ලෙසය. ජපනාගේ ලිපි ලේඛනවලට අනුව ගනුදෙනුව කෙරී ඇත්තේ 2012.03.12 වන දිනය.

කොළඹ රහසිගත ගබඩාවක තැන්පත් කර තිබූ රත්තරන් ටොන් 310 කන්ටේනර් 16ක පටවා කොළඹ වරායෙන් ජපානයට පිටත්කර හැරියේය. මේ ගනුදෙනුව සහසුද්දෙන්ම දන්නේ තිදෙනෙකි. ඒ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් හා වරාය අධිකාරියේ හිටපු සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රමසිංහය. කොළඹ රහසිගත ගබඩාවක තිබූ රන් තොගය පරීක්ෂා කිරීමට පැමිණියේ ජපන් ජාතික (Keiji Matsumura) කෙයිජි මට්සුමුරා, (Rajagopal Kartheepn) රාජගෝපාල් කර්තීපන් ඇතුළු ජපන් නියෝජිත පිරිසකි. රන් තොගය පරීක්ෂා කර එම රන් පොලූවල එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සලකුණු ඇති නිසා ඒවා ඉවත් කර දෙන ලෙස දැනුම් දී තිබිණි. පසුව ඒවා මකා දැමීමට පියවර ගත්තේය. ජපන් නියෝජිත පිරිස රන් තොගය පරීක්ෂා කරන ආකාරය කිසියම් පුද්ගලයකු වීඩියෝ කරනු ලැබීය. ඔහු දැන් අතුරුදන්ය. මේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අත්අඩංගුවට ගත් රත්තරන් යනු මාල, වළලූ, මුදු කරාබු නොවේ. ඒවා තිබී ඇත්තේ සුළු ප‍්‍රමාණවලිනි.

 

නිමි රන් ආභරණ ආර්යාව යටතට

ආර්යාව වගකීවේ ඒවාටය. රන් ආභරණ තිබී ඇත්තේ ටොන් දෙකකට ආසන්න ප‍්‍රමාණයකි. අනෙක් සියල්ලම ලොව පිළිගත් ප‍්‍රමිතියෙන් යුතු ඉහළම රත්තරන් පොලූය. ඒවා එල්.ටී.ටී.ඊ. බැංකුවලත් පොළොව යටත් ගබඩා කර තිබූ ඒවාය. මේ රත්තරන් ගැන ඔත්තුව ලබාදී ඇත්තේ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ය. රාජපක්ෂ සමාගමට රන් නිධානය පෙන්වා දුන් නිසා ඔහුට ජීවිත දානය ලැබුණේය. එල්.ටී.ටී.ඊ. සතු විදෙස් වත්කම් තිබුණේද කේ.පී.ගේ නමටය. ජීවිතය බේරාගැනීම සඳහා කේ.පී.ට එම වත්කම් තිබෙන තැන් පෙන්වා දීමට සිදුවුණි. වෙන මොනවා නැතත් රත්තරන් ටොන් ගණනින් සඟවා තිබූ තැන් ගැන තොරතුරු ලබාදීමම ප‍්‍රමාණවත්ය. මේ රත්තරන් තොගය වෙනුවෙන් ආර්යාවගේ ගණකාධිකාරීවරයා වන ප‍්‍රසන්න ලියනාරච්චි ඇතුළු ඇමැතිවරු කිහිපදෙනකුම උනන්දු වූ බව ටොන් 40 (AU) හෙවත් රත්තරන් වෙළෙඳාමට අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිසගේ අදහසයි.

මේ මහා කොල්ලයෙන් රාජපක්ෂ සමාගම උපයා ඇති මුදල කොපමණද? රත්තරන් කිලෝග‍්‍රෑම් එකකට ඇමෙරිකානු ඩොලර් 46000 බැගින් රත්තරන් කිලෝ ග‍්‍රෑම් තුන්ලක්ෂ දසදහසකට ඇමෙරිකානු ඩොලර් බිලියන 14.2 (14260000000)ක් උපයා ගත්තේය. මෙම මුදල රුපියල්වලට හැරවූ පසු ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්ලක්ෂ අසූපන්දහස් තුන්සිය අසූව (1,853,800,000,000)කි. මේ මුදලින් එක රුපියලක්වත් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබුණේ නැත. මේ මහා කොල්ලය සාමාන්‍ය ජනතාවට නම් හිතාගන්නවත් බැරිය.

 

ඇතෙක් බර වස්තු

ඉතිහාසයේ මෙරට රජවරුන් සතුව ඇතෙක් බරට වස්තුව තිබූ බව ජනප‍්‍රවාදයේ එයි. ඇතෙක් බරට වස්තුව රුවන්වැලිසෑයේ තැන්පත් කළ බවද කියැවේ. ඒ වස්තුව රන්, රිදී, මුතු, මැණික් ඇත්දත්වලින් සමන්විත වූවකි. තනිකරම රත්තරන් නොවේ. ඇතෙකුගේ සාමාන්‍ය බර කිලෝග‍්‍රෑම් 5500ක් හෙවත් ටොන් පහ හමාරකි. ඒ අනුව රත්තරන් ටොන් 350ක් යනු ඇතුන් හැත්තෑවකගේ පමණ බරකි.

ශ‍්‍රී රෝහණ ජනරංජන කොල්ල කෑ රත්තරන් තොගයේ බර ඇතුන් හැත්තෑවකගේ බරට සමානය. ලෝකයේ මෑත යුගයේ සිදුවූ දැවැන්තම රත්තරන් කොල්ලයේ තරම තේරුම් ගැනීමට මේ ඇත් උදාහරණය ප‍්‍රමාණවත්ය.

තක්කඩි පාලකයන් යළිත් බලයට ඒමට පොරකන්නේ මේ හොරකම් වසාගැනීමටය. මේ රන් කොල්ලය සම්බන්ධව රහස් පොලීසියට පැමිණිලි කෙරුණත් රාජපක්ෂ ආණ්ඩුව ඒවා විමර්ශනය කිරීමට ඉඩ දුන්නේ නැත. යහපාලන ආණ්ඩුව බලයට ඒමත් සමඟ රත්තරන් වෙළෙඳාමේ අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිස් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යළිත් පැමිණිලි කළෝය.

 

නිරුවත් දේශපාළුවෝ

දූෂිතයන්ට දඬුවම් දෙන බවටත් වංචාව දූෂණය කොමිස් ගැහිලි නවතා දමන බවටත් ජනතාවට පොරොන්දු කප්පරක් දුන් යහපාලන නායකයෝ තද නින්දේය. ජනාධිපතිවරණ සමයේ වංචාවට දූෂණයට එරෙහිව නැගූ හඬ තුනී වී ගොස්ය. දූෂිතයන්ට දඬුවම් දෙන බව කී ඇතැම් නායකයෝ දැන්දූෂිතයන් සමඟ එකම වේදිකාවකය. හොරුන්ට, වංචාකාරයන්ට, කුඩුකාරයන්ට නාමයෝජනා නොදෙන බවට අපේ කන් රිදෙනතුරු මොර දුන් පාලකයෝ අද මීක් සද්දයක් නැත. අප දැන් සිටින්නේ කිසිදු දූෂණයක් වංචාවක් නොකෙරුණු රටක වාගේය. බඩගින්නට වෙරළු ගෙඩියක් ඇහිඳ කෑ හය වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනකු එම වෙරළු ගසටම තබා බැඳ දඬුවම් කරනු ලැබුවේ ඉකුත් ජූලි මස අටවැනි දිනය. ඒ හැටන් ලිඳුල ප‍්‍රදේශයේය. හොරු සිංහාසනාරූඪ වන්නට දඟලන රටක වෙරළු අහුලාගත් දරුවන් ගස්බැඳීම කෙතරම් නිවට ක‍්‍රියාවක්ද? මේවා අහන දකින විට පළමුව සිනහ යන්නේය. දෙවනුව බර කඳුළු වැටෙන්නේය. වෙරළු ඇහිඳ ගත් වරදට දඬුවම ගස් බැඳීම නම් මේ රාජකීය හොරුන්ට දෙන දඬුවම කුමක්දැයි තීන්දු කිරීම සාධු ජනයන්ගේ ජනතා අධිකරණයට බාරය.

- දයා නෙත්තසිංහ

Write comment (0 Comments)

දැරියක යොවුන් වියට පත් වීම නැතහොත් ‘මල්වර වීම’ හේතු කොටගෙන ජ්‍යෝතිෂ්‍යය සමඟ පටලවාගත් මිථ්‍යා විශ්වාස රැසකි. දැරියක වැඩිවියට පත්වීම උත්කර්ෂයට නැංවීමේ සංස්කෘතික මෙහෙයුම හේතුවෙන් කාන්තාව සහ පිරිමියා සම්බන්ධ වෙනස් කොට සැලකීමේ සමාජ මනෝභාවයක්ද පෝෂණය වන්නේය.

Read more ...
Write comment (0 Comments)

එක් රටක පරිසර පද්ධතියක් යනු පෘථිවියේ කොටසක් මිස එකී රටට පමණක් අයත් බූදලයක් නොවේ යන්න ලෝකයේ පිළිගැනීමයි. පරිසරය අයිති කාටද යන්න පිළිබඳ එක් පරිසර හිතකාමියකු මෙසේ සඳහන් කර තිබිණි. ‘බොහෝ දෙනෙක් මියගියා වූද කිහිපදෙනෙක් ජීවත් වන්නා වූද ගණනය කළ නොහැකි තරම් ප‍්‍රමාණයක් ඉපදීමට සිටින්නා වූද දැවැන්ත පවුලකට මේ භූමිය අයත් යැයි මම අවබෝධ කර සිටිමි’

Read more ...
Write comment (0 Comments)

වසර 25 ක් තිස්සේ ලිංගික සේවනයේ යෙදුණු කාන්තාවක් ඒ ජීවිතයෙන් ඈත්වී නිදහස් දිිවියක් වෙත පැමිණෙනවා. ඇය බ්‍රෙන්ඩා මෙයර්ස් පවෙල් ය. බෙන්ඩ‍්‍රා ලිංගික සේවනයේ යෙදෙන්නියක් බවට පත්වෙන්නේ 1970 දීයි. චිකාගෝහි ජීවත්වූ ඇයට වයස මාස 6 ක් වෙත්ම ඇගේ මව අහිමිවනවා. ඉන්පසු ඇයව රැුකබලා ගනු ලබන්නේ නිවසක බැලමෙහෙවරකම් කරන ඇගේ මිත්තණිය විසිනුයි. බ්‍රෙන්ඩා ජීවත්වූ වීදිය අසළ සුන්දර ලෙස ඇඳ පැළඳගත් කාන්තාවන් රැසක් ජීවත්වනවා. මොවුන් මෙලෙස දිවිගෙවීම පුංචි බ්‍රෙන්ඩාට පුදුමයක්. ඔවුන් කවුරුන්දැයි ඇය මිත්තණියගෙන් විමසා සිටිනවා. ඇය ඊට පිළිතුරු දෙන්නේ ඒ ගෑණු තමන්ගේ යට ඇඳුම් ගළවනවා. එතකොට මිනිස්සු එයාලට සල්ලි දෙනවා ලෙසයි.

Read more ...
Write comment (0 Comments)

තමන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් මහපාරට බැස උද්වේගකාරී උද්ඝෝෂණ කරන මිනිසුන් සහ ඔවුන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කළ අවස්ථා දකින්නට ලැබීම මෙරටෙහි දුලබ සිදුවීමක් නොවේ. නමුත් අනුන්ගේ කුණු තමන්ගේ හිසට පාත්වීමට එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කිරීම පාපයක් වී පොලීසියේ ජල ප‍්‍රහාරයට ලක් වූ ජනතාවක් ගැන පසුගියදා වාර්තා වූයේ කොළඹ මීතොටමුල්ලෙනි. කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද අසල ජීවත්වන මේ පිරිස සොයා අපි ගියෙමු.

Read more ...
Write comment (0 Comments)

පතිරණගේ මනස නොඉවසිලිමත්ය. දැන් දැන් ජයසේකර ජවිපෙ කඳවුර කරා යන ගමන පිටත් වේදැයි පතිරණගේ ගතට වඩා අසන්නේ සිතය. පතිරණට ඊශ්‍රායලයේ දී ලද පුහුණුව සිහි වේ.

Read more ...
Write comment (0 Comments)

පතිරණගේ මනස නොඉවසිලිමත්ය. දැන් දැන් ජයසේකර ජවිපෙ කඳවුර කරා යන ගමන පිටත් වේදැයි පතිරණගේ ගතට වඩා අසන්නේ සිතය. පතිරණට ඊශ්‍රායලයේ දී ලද පුහුණුව සිහි වේ.

Read more ...
Write comment (0 Comments)