භාවිතය සබුද්ධික නැති නම් මොන ෆේස් බුක්ද?

මතවාද

පසුගිය සති කිහිපය තුළ ඇති වූ සිදුවීම් දෙස අපහු හැරි බැලීමේදී පෙනීයන්නේ, මේ රටේ මහජනතාව මානසික වශයෙන් එක්තරා අවිනිශ්චිතතාවකට ඇද වැටී සිටින බවය.

නොයෙකුත් සැකසංකා සහිතව බිය මුසු ආකාරයෙන් අනාගතය දෙස බලන ඔවුහු අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. මෙය අද අප සමාජය මුහුණ දී සිටන විශාලතම සමාජ මානසික අර්බුදයයි. සෑම සමාජ කොට්ඨාසයකම ඉහළ සිට පහළට මේ ගැටලුව නිසා අසරණභාවයට පත්ව සිටින බව නිරීක්ෂණය කළ හැකිය. මෙනිසා බොහෝ දෙනා මිට විසඳුම ලෙස තෝරා ගෙන ඇත්තේ මෙරට හැර යාමය. ඇතැමුන් බටහිර රටවලට සංක්‍රමණය වන අතර, තවත් සමහරෙක් නැගෙනහිර ආසියාව දෙසට සංක්‍රමණයවනු දක්නට හැකිය. විශේෂයෙන්ම නාගරික මැද පන්තිය ජාති ආගම් බේදයකින් තොරව මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී සිටිති. මෙයින් අපට තේරුම්ගත හැක්කේ සමාජය වියවුල්කාරී මානසික මට්ටමකට ඇද වැටී සිටින බවය. එය මතු පිටින් පෙනෙන ආකාරයට වඩා අභ්‍යන්තරික වශයෙන් කර ඇති බලපෑම ඉතා විශාලය. එය ඔවුන්ට දෘෂ්‍යමාන වශයෙන් පෙනෙන්ට ඇති සිදු වීම් මඟින් ඇති කරන බලපෑමකි.

වසර තිහක යුද්දයකට මුහුණ දී විශාල ලෙස රෝගී සමාජ දේහයක් අප දරා සිටින බව අමතක නොකළ යුතුය. එහි ප්‍රතිවිපාක උතුරට හා දකුණට එක හා සමානව බලපා ඇත. යුද්ධය පැවති කාලසීමාවේදී එයට ප්‍රායෝගිකව මෙන්ම මානසික වශයෙන් මුහුණ දීමට මුළුමහත් ලාංකේය සමාජයටම සිදු විය. එනිසා වඩා මානුෂීය ලෝකයක් පතන කිසිවකුට නැවත එවැනි කාලකන්නි අඳුරු යුගයකට ගමන් කිරීමට අවශ්‍යතාවක් නොමැත. මෙවැනි ක්‍රියාවන් ඇතිවන විට නැවත එවැනි ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවේද? යන මානසික මට්ටමක් නිර්මාණය වේ. එය ඕනෑම කෙනකු තුළ නිරායාසයෙන් ඇති වන මනෝභාවයකි. එසේම ප්‍රාදේශිය වශයෙන්, ග්‍රාමීය වශයෙන් සලකා බලන්නේ නම් මෙහි දරුණුතම ප්‍රතිවිපාක අත් කර දෙන්නේ කිසිදු හව් හරණක් නැති දුගී දුප්පත් ජනකොටස්වලටය. මන්ද යත් ඔවුන් තම දරුවන්ගෙ අනාගතය ගැන සිහින මවමින් තමනට ළඟා කරගත නොහැකි වූ ලෝකය දකින්නේ දරුවන් තුළින් බැවිනි. ඒ සඳහා ඔවුන් දිවා රෑ වෙහෙසෙති. මෙවැනි සමාජ ව්‍යසනයකින් ඒ මුළු ලෝකයම කඩාවැටී සුනුවිසුනු වී යයි නම් ඔවුන්ගේ ඉරණම කුමක්ද? එවැනි රටක කවර නම් ජාතියකට අනාගතයක් පැවතිය හැකිද?

බොහෝ දෙනා සිතා සිටින්නේ මෙය අප ජීවත්වන ලෝකයේ ස්වභාවය කියාය. නමුත් එය එසේ නොවන බව සෙසු ලෝකය දෙස දැස් විවර කර බලන්නේ නම් අපට හොඳින් නිරීක්ෂණය කළ හැකිය. මෙනිසා අප සමාජ දේහය වෙළාගෙන පවතින සදාචාරවත් නොවන අශීලාචාර පැවැත්ම වෙනස් කළ යුතුවෙමු. දරුවකු පාසලකට ඇතුළත් කිරීමට ගියවිට ඒ සඳහා විවිධ මට්ටමේ අල්ලස් දීමට මව්පියන්ට සිදුවේ. මවකට දුවකට නැගනියකට කොටින්ම ස්ත්‍රියකට හිංසනයකින් තොරව ජීවත් වීමට නොහැකි තත්වයක් උදා වී ඇත. නිවසේදී, බස්රථයේදී, මඟතොටේදී, කාර්යාලයේදී, පාසලේදී, වෙළෙඳ සැලේදී...පමණක් නොව ආගමික ස්ථානවල දී පවා හිංසනයන්ගෙන් මිදී ජීවත් වීමට ඇයට හැකියාවක් නැත. මේ නිසා කාලාන්තරයක් තිස්සෙ බියෙන් ජීවත් වීමට ඇයට බලකර ඇත. අඩුම තරමින් තමා කුඩා කල පටන් ඇති දැඩි වූ නිවසේ පවා තනිව සිටීමට ඇයට බියක් දැනේ. ඇත්තෙන්ම අද අප සමාජයේ සිටින්නේ මානසික වශයෙන් බියපත් වූ ස්ත්‍රියක්ය. 'මේ ජීවිතය ඇත්තට ම මොකකද් 'කියන ප්‍රශ්නය ඔවුන් හමුවේ අභියෝගයක්ව පවතී. නමුත් මේ දක්වා අපි එම ප්‍රශ්නය මතුපිටට ගෙනැවිත් සාකච්ඡා කර නැත.

අනෙක් අතට එළිපිට කතා නොකළද කුල සාධකය තවමත් අපේ සමාජය තුළ ව්‍යසනයක් ආකාරයට මුල් බැසගෙන තිබේ. බෙහෝ දෙනා ඒ ගැන කියන්නේ, "ඒව තිබුණේ ඉස්සර, ඕව ගැන දැන් කතා කරල වැඩක් නැහැ" යනුවෙනි. නමුත් අදත් කුල අනන්‍යතාව හේතුවෙන් ගැටලුවලට මුහුණදෙන පවුල් විශාල ප්‍රමාණයක් ලංකාවේ සිටිති. මෙයින් මිදීමට තම මුල් කුල අනන්‍යතා සැඟවීමට ගන්නා උත්සාහයන්ද ඕනෑ තරම් තිබේ. විවාහය මින් එකක් පමණි. නමුත් ඔවුන් නොදන්නා කාරණය වන්නේ මෙම ගැටලු සහගත තත්ත්වයට ඔවුන් මුහුණ පා ඇත්තේ කුල සාධකය නිසා බවය. කුල අනන්‍යතාව හේතුවෙන් පීඩනයට පත්ව සිටින විශාල ජනකායක් මේ රටේ සිටින බව අප කළ අධ්‍යනයන් තුළින් සනාත වී ඇත. කිසිදු සමාජ බෙදීමක් නොකරන බුදුන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන මහානායක හිමිවරු තුළ පවා මෙම කුල ප්‍රශ්නය විශාල ලෙස පවතී. පිළිගත් නායක ස්වාමින් වහන්සේලා පහළ කුලවලට අයත් නිකායවල ස්වාමින්වහන්සේලාගේ අදහස් බැහැර කරනවා පමණක් නොව අවඥාවටද ලක් කරති. දේශපාලනයෙදි පවා කුල සාධකය හොඳින්ම පෙනෙන්නට තිබේ. එපමණක් නොව කලා සංස්කෘතික පරිසරයතුළ පවා කුල සාධකය විසින් ගැටලු කාරී පරිසරයන් නිර්මාණය කර ඇත. ඇතැම් කලා කටයුතු සඳහා අවස්ථාව හිමිවන්නේ මෙම කුල සාධකය පදනම් කරගෙනය. නමුත් අපි තවම මෙවැනි ප්‍රශ්නයක් පවතින බවවත් පිළිගෙන නැත.

පහුගිය කාලය පුරා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මුස්ලිම් ව්‍යාපාර බොහෝ සෙයින් විවේචනය ලක්වන ආකාරය දැක්ණට ලැබුණු අතර, ඊට සංඝයා වහන්සේලාද මුල් වී සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ රැකියා ස්ථාන, වෙළෙඳසල්, වෙළෙඳ ව්‍යාපාර, ගෙවල් දොරවල්, ආගමික සිද්ධස්ථාන... ආදී නොයෙක් දේ විනාශයට පත් විය. ඒවා කාලානුරූපව යටපත් වී ගියද ඉන් ඇති කළ තුවාල තවමත් අප සමාජය තුළ පවතී.

මේ ආකාරයෙන් බලන කල ජනවර්ග නිසා, ආගම නිසා, ලිංගභේදය නිසා, කුලය නිසා, ඇතැම්විට පරම්පරා තත්ත්වය නිසා, වත්පොහොසත් කම් නිසා, නිලතල නිසා වෙන්න පුළුවන්...නොයෙකුත් හේතුන් නිසා පීඩාවට පත්වෙච්ච විශාල ජනතාවක් මේ රටේ සිටිති. මේවායේ ඉහළ තලවල සිටින අය, වාර්ගික වශයෙන් ගත් කල ඒ ඒ ජාතීන්වල ප්‍රභූ කොටස්, ආගමික ප්‍රභූන්, ව්‍යාපාරික ප්‍රභූන්...ආදී වශයෙන් පහළ තට්ටු වෙත පීඩනයක් යොමු කරමින් පැවතියද මේ ක්‍රමය තුළ ඔවුන්ද අනාරක්ෂිතය. මේ අනාරක්ෂිත බව හේතු කොටගෙන ඔවුන් සිය බලය අනිසි ලෙස යොදාගැනීමටද කටයුතු කරති. මෙනිසා විවිධ විකෘති සහිත ප්‍රතිවිපාක සමාජය තුළ ජනිත වේ. එවැනි ප්‍රතිවිපාක ලෙස පසුගියදා ඇති වූ තත්ත්වය අපට හඳුනා ගත හැකිය. එනිසා අප පළමුව වටහාගත යුත්තේ මෙය ස්වාභාවික තත්ත්වයක් නොවන බවය. ඇතැම් විට සමහරෙක් මතු පිටින් බලා මෙය වෙනත් රටක තත්ත්වයට සමාන කළ හැකිය. නමුත් අප තේරුම් ගත යුත්තේ මෙය අප සමාජය තුළ සැඟව පවතින ප්‍රශ්න රාශියක අතුරු ඵලයක් ලෙසය.

එක් අතකින් අපි දූපතක් නිසා සෙසු රටවල් පිළිබඳව භූදේශපාලනිකව අනියත බියකින් පසුවන අතර, අනෙක් අතින් අපේ ඇත්ත ප්‍රශ්න යටපත් කර බිල්ලන් මවමින් ඒවාට පිළිතුරු සෙවීමට ජනතාව පොලඹවති. නිදසුනක් ලෙස අධිරාජ්‍යවාදී වුවමනාවන් වෙනුවෙන් රණවිරුවන් බිලිදෙනවා, රට ආරක්ෂා කළ නායකයා විදුලි පුටුවට ගෙනයනවා වැනි වගාලාප තුළ ඇත්තේ මෙවැනි මුග්ධ ප්‍රකාශයන්ය.

අපේ සමාජ විඥානයේ පවතින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එදිනෙදා මේ ගැටලු කළමනාකරණය කර ගැනීම සඳහා ජාමේබේරා ගැනීමේ විසඳුම්වලට යොමු වීමය. එසේ නැතිව මෙම මහා ප්‍රශ්නවල හේතුප්‍රත්‍ය තේරුම්ගෙන ඊට පිළිතුරු සෙවීමකට අප තවමත් යොමු වී නොමැත. ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළක්ද අපට තැත. මෙය අපට වඩා හොඳින් තෙරුම් ගත හැක්කේ දකුණු ආසියානු කලාපයේ අප හා සමාන්තරව කටයුතු කළ රටවල් දෙස අවධානය යොමු කිරීමෙනි. නිදහස ලබන කාලය වන විට ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියානු රටවලට වඩා ඉතාමත් යහපත් තැනක සිටින බව බොහෝ විද්වතුන්ගේ මතය විය. සාක්ෂරතාවය, රාජ්‍යපරිපාල ක්ෂේත්‍රය, සමාජ ජීවන මට්ටමේ ඉහළ යෑම, විදේශගතවන ඉහළ වෘත්තීකයන්, කම්කරු හෝ ගෘහසේවයට ස්ත්‍රීන් හෝ පුරුෂයින් වෙනත් රටවලට යොමුකරන තත්ත්වයක නොවීම. කොටින්ම වෙනත් රටවලින් ලංකාවට පැමිණෙන බවට ප්‍රචාරයක් තිබිණ (කල්ලතෝනි උවදුර). නමුත් අද ලංකාවෙන් පැන යන සම්භාවිතාව ඉහළ ගොස් ඇත. මේ ආකාරයෙන් බලන කල අපේ සමාජය මේවන විට මුළුමනින්ම කණපිටට පෙරලී ඇත.

මුස්ලිම් විරෝධී මතවාද රට තුළ ව්‍යාප්තවන අතර තුර, මෙරට කාන්තාවන් වැඩිදෙනා මැදපෙරදිග මුස්ලිම් රටවල ගෘහසේවයට යාවා ඇත. රටට වැඩි වශයෙන් විදේශ විනිමය උපයා දෙන්නේද මේ ගෘහ සේවයේ නියුතු කාන්තාවන්ය. අඩුම තරමින් අපි මෙ පිටත් කර යවන ශ්‍රමය කුමක්ද? යන්න පිළිබඳවවත් අප සොයා බලා නැත. අපි මින් පෙර ලෝකය පුරා වෙනත් රටවලට ගියේ ඉහළ සාක්ෂරතාවයෙන් යුතු වෘත්තිකයන් ලෙසය. මෙරට ගුවන් බලපත්‍රය ලොව ඕනෑම තැනක පහසුවෙන් ගමන් කළ හැකි පිළිගත් තත්වයකට පත්ව තිබුණි. නමුත් මේ වන විට අපේ ගුවන් ගමන් බල පත්‍රය කිසිදු රටකින් ගණන් නොගන්නා මට්ටමකට පත්ව ඇත. එසේ නම් අපට සිදුව ඇත්තේ කුමක් දැයි අප තේරුම් ගත යුතුය.

සෙසු ලෝකය දෙස බැලීමෙදී ඔවුන් මේ ප්‍රශ්න හමුවේ ඔවුන්ගේ රටවල් ගොඩනගාගෙන ඉදිරියට ගිය ආකාරය නිරීක්ෂණය කිරීම අපට අපගේ මතු දවස ගැන කිසියම් බලාපොරොත්තුවක් ඇති කරගැනීමට ඉවහල් වේ. අපේ රට ආසියානු කලාපයේ පැවති අනෙක් රටවල මෙන්ම රාජාණ්ඩු පාලනයක් පැවති රාජ්‍යයකි. මූලික ජීවනෝපාය මුළුමනින්ම කෘෂිකර්මය මත රඳා පැවතුණි. මේ රටේ වෙළඳාම සඳහා යොමු වී සිටියේ සිංහල හෝ දෙමළ ජනතාව නොවේ. වසර හයසීයක පමණ ඈත කාලයේ පටන් මෙරටට සංක්‍රමණයවූ මුස්ලිම් සම්භවයක් සහිත ජනකොටස්ය. වෙළෙඳාම සඳහා කිසියම් විදියකින් අප යොමූ වූයේ 1930 ගණන්වලදීය. මේ නව වෙළෙඳ පන්තිය ඇති වීම නිසා එතෙක් වෙළෙඳාමේ යෙදී සිටි මුස්ලිම් වෙළෙඳුන් සමඟ ගැටුම් කාරී තත්වයන් ඇති විය. මේ වෙළෙඳ පිරිස අතර ඇති වුණ ගැටුම් ඉදිරියට පැමිණියේ ආගමික හෝ වාර්ගික ස්වරූපයකිනි. කෙසේ නමුත් මෙරට දියුණු ආකාරයේ සිංහල වෙළෙඳ ප්‍රජාවක බිහිවූයේ නැත. මෙම සංක්‍රමණ අවධිය අපි වෙනත් රටවල් මෙන් නිවැරදිව වටහා ගත්තේ නැත. නවීකරණය ලෙස අප වටහාගෙන තිබුණේ වැරදි මතයකි. ඒ අනුව බටහිර තාක්ෂණය මෙරටට ගෙන ඒම, අළුත් පාරවල් සෑදීම, අලුත් ගොඩනැගිලි ඉඳිකිරීම, තෙරතුරු තාක්ෂණය හඳුන්වාදීම...වැනි කරුණුය. නමුත් ශාස්ත්‍රීය දේශපාලන ආර්ථික හා සාමාජීය අර්ථයෙන් බැලීමේදී ඒ තුළ ගැඹුරු දේශපාලනික ආරථික තේරුමක් ගැබ්ව තිබුණි. එනම් එම රටවලට ආවේනිකව පැවති පැරණි ජනසමාජයට අයිති ගුණාත්මක සමාජ සබඳතා ඉදිරියට ගෙන ඒමය. මිනිස්සු මිනිසුන් ලෙස හිතමින් ක්‍රියාකරමින් පවත්වගෙන ආ සමාජ සම්බන්ධතා ඉදිරියට ගෙන ඒමය. එය නුතන සමාජ ආර්ථික පර්යාය ලෝකයකින් මෙන්ම, බෞද්ධ සමාජ ආර්ථික පර්යාය ලෝකයකින් විග්‍රහ කළ හැකිය.

මෙම පෙරළියේ මූලික ලක්ෂණය වන්නේ පැරණි සමාජය තුළ පැවති එකිනෙකා කාකොට ගන්නා එකිනෙකා පීඩාවට පත් කරන පීඩාකාරී අවස්ථා අහෝසි කර දැමීමය. උස්පහත් භේදය, ලිංගභේදය, කුල භේදය, පන්ති භේදය... ඈ ආදී භේද නොසලකා සියලු මනුෂ්‍යයන් ගෞරවන්විතව අන්‍යොන්‍ය වශයෙන් සැලකුම් ලබන තත්ත්වයට පරිවර්තනය කිරීමය. මේ නවීකරණයේ මූලික ලක්ෂණය බවට පත් වූයේ එයයි. එන්ම මේ නුතන මනුෂ්‍යයාගේ පැවැත්ම තීරණය වන්නේ මානව සම්බන්ධතා ජාලයක් තුළය. මේ ආකාරයට මානව සම්බන්ධතා නිසි පරිදි පරිවර්තනය නොවීම අප සමාජය විසින් මුහුණ දුන් ප්‍රබලතම ඛේදවාචකයයි. අපට ලෝකය පෙනුනේ ද්‍රව්‍යමය ආකාරයකට මිස මනුෂ්‍ය සබඳතා ලෙස නොවේ. එහි ප්‍රථිඵලයක් විදියට පුද්ගල වටිනාකම්වලට ගෞරව නොකරන ඔහු සතු නැත් නම් ඔහු අත්පත් කරගෙන සිටින භාණ්ඩ හා සේවා මත ගෞරව කරන සබඳතා පවත්වන සමාජය විඥානයක් නිර්මාණය විය. එනිසා අපි අනාගතය ලෙස පරිකල්පනය කළේ අල්ලාගත හැකි භෞතික දේ මිස මානව සම්බන්ධතා නොවේ.

මේ මානව සම්බන්ධතා අපට අවස්ථා තුනක් ලෙස අර්ථ දැක්විය හැකිය. එනම් මනුෂ්‍යයා තමන් හා පවත්වාගනු ලබන සම්බන්ධතාවය, මනුෂ්‍යයා අනෙකා සමඟ තිබෙන සම්බන්ධතාවය, (තමන් නොවන අනෙකුන් කෙරෙහි දක්වන සබඳතාවය) මෙම සම්බන්ධතා ගොඩනැගීමේදී ඇතිවන ව්‍යූහාත්මක පරිවර්ථයන තෙවැනි අවස්ථාව ලෙස දැක් විය හැකිය. ප්‍රංශ විප්ලවය හරහා ප්‍රකාශයට පත්වූයේ මේ මානව සබඳතා පිළිබඳව නව පර්යාලෝකයයි.

ඒ අනුව අපේ රට පිළිබඳව පැමිණිය හැකි නිගමනය වන්නේ මේ මූලික සමාජ නවීකරණ විපර්යාසය අප රට තුළ සිදු නොවූ බවය. අපේ රට තුළ එතෙක් පැවති වැඩවසම් ආකෘතියක් රැගත් මානව සම්බන්ධතා ජාලය ගැඹුරු මානව සබඳතා ජාලයක් ලෙස පරිවර්තනය වූයේ නැත. ඒ වෙනුවට බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රටවකට අයත් ආකෘතියක් අපට තිළිණ කර ගියේය. ඒ අනුව වෙස්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමය, ඡන්දය, නියොජිත ප්‍රජාතන්ත්‍රවාදය...අපට හිමිවිය. එය ඇතුළත හිස් පිට කටුවක් පමණි. එනම් අපට ලබා දුන් මෙම ආකෘතිය හා අපේ සම්බන්ධතා අතර සම්බන්ධතාවයක් නොවුණි. උදාහරණයකට ඉන්දියාවට මෙම ආකෘතිය බ්‍රිතාන්‍යයන් විසින් ඉදිරිපත් කරන විට ඔවුන් ඊට සාපේක්ෂව එරට සමාජ සබඳතා සකස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළේය. උදාහරණයකට එක් ජාතියකට හෝ ආගමකට විශේෂව නොසැලකීම ව්‍යවස්ථානුකූලව පිළිගැනීම පෙන්වාදිය හැකිය. නමුත් අපට ඒ ආකාරයට කටයුතු කළ නොහැකි විය. අපට ඊට අවශ්‍ය ඥානය නොවීය. අනතුරුව අපි නැවත එම ආකෘතියම උපයෝගී කරගෙන පැරණි ලෝකයට අයත් අනපනත් ඊට ඇතුළත් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය ලෙස අප අද අර්ථදක්වන්නේ පෙර පැවති වැඩවසම් ආකෘතියමය. මෙනිසා අප අදටත් ජීවත් වන්නේ බෙදා වෙන් වුණු වෙනස්කම් පිළිනොගන්නා කුල ගෞරවයට වන්දනා කරන පැරණි සමාජයට අයත් ජනතාවක් ලෙසය. එනිසා ඔවුන්ට සමාජජාල යනු තවත් එක් ආකෘතියක් පමණි. ඒ තුළ කටයුතු කරන්නේ අර පැරණි ලෝකටය අයත් බෙදා වෙන්කර සිතන හඟින මිනිසුන්ය. එනිසා මේ සඳහා කිසියම් වාරණයක් තිබීම යෝග්‍යයවේ. එපමණක් නොව මේ රටේ ජනමාධ්‍යවලටද කිසියම් නියාමනයක් අවශ්‍යයය. මන්ද යත් නූතන ලාංකිකයා යනු ඉපැරණි සමාජයේ ප්‍රතිබිම්බයක් විනා නවීකරණය වූ සියලු දෙනා මනුෂ්‍යයින් ලෙස පිළිගන්නා දියුණු මානව සබඳතාවලින් පූර්ණ වූ මිනිසකු නොවන නිසාය. මින් එළියට ඒමට නම් වහා වහා සංවාද කථිකා රටපුරා අතිවිය යුතුයි. ඒ සියල්ලටම පෙර අපි පැරණි සමාජයට අයිති පිරිසක් බව අප පිළිගත යුතුය.
-ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන-දිනමිණ ට

janahada

Latest Posts

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...

දේශපාලන

දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි - ජයදේව උයන්ගොඩ 2018-11-07 - “මගේ රට නැවත පාවා දී තිබේ“- පැබ්ලෝ නෙරූදා (මතක
දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...