පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඉලක්කවල ස්වරූපයෙන් පෙනෙනවා මේක ආනයනිත ත්රස්තවාදයක් ( Imported Terrorism ) බව. මේකේ වෙළෙඳ සන්නාමය ( brand name එක) ISIS. Islamic State of Irak and Siriya. ( ඉරාකයේ සහ සිරියාවල මිලිටරිමය වශයෙන් ISIS පරාජය කළා කියල ඇමෙරිකාව නිවේදනය කලාට පස්සේ ) මේ සංවිධානයේ නම IS - Islamic State ලෙසට වෙනස් වුණා.
රංග භූමියත් වෙනස් වුණා. මේ භාණ්ඩය නිපදවුණේ මැද පෙරදිග වුනාට එහි සැබෑ ඉලක්ක වෙළෙඳපොළ හෙළිදරවු වෙන්නේ දැන්. එය ගෝලීය ( Global ) යි.
කොන්ත්‍රාත්තුවට මේ පොළොවේ සම්බන්ධය
ලංකාව වගේ පුංචි දූපතක් මේ වෙළෙඳපොළ් ප්‍රධාන මධ්‍යස්ථානයක් වෙන්න පසුබිමක් තියෙනවා. ජාත්‍යන්තර භූ-දේශපාලනික කාරණාවලට අමතරව දේශීය කාරණා ඒ අතර වෙනවා. මේ ප්‍රහාරකයන් සියලු දෙනා ම ලංකාවේ පුරවැසියන්. කතෝලික ප්‍රජාව සහ විදේශිකයින් ඉලක්ක කරගන ලංකාවේ මුස්ලිම් අනන්‍යතාවක් ඇති තරුණ පුරවැසියන් සැලකිය යුතු ගණනක් එක්ව මරාගන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවකට වඩා මේ පොළොවට සම්බන්ධ යමක් තිබිය යුතුයි.
විදෙස් බීජ සහ මෙහි සරු පස
කිසියම් භාණ්ඩයක් රටකට ආනයනය කරන්නේ ඒ ආනයනිත භාණ්ඩයට දේශීයව ඉල්ලුමක් තිබුනොත්. භාණ්ඩය ආනයනය කරලා මුල්වතාවට පරිභෝජනය වුනේ පසුගිය පාස්කු ඉරිදා බව ඇත්ත. ඒත් භාණ්ඩයට අවශ්‍ය ඉල්ලුම රට තුළ නිර්මාණය කෙරෙන ව්‍යාපෘතිය යුද්ධයෙන් පස්සේ වසර දහයක් විතර තිස්සේ සිදුවුණා. පශ්චාත් යුධකාලීන අතීතය පිරික්සන කෙනකුට එය පැහැදිලිව දකින්නට පුළුවන්. යුද්ධ කාලේ කොහේ තිබුණ ද කියලවත් දන්නේ නැති, යක්ෂ භූත බල සේනා යුද්ධෙන් පස්සේ හතු පිපෙනවා වගේ මතුවෙලා එක පාරට කිසිම සහේතුක කාරණා නැතුව පොදු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගන ‘‘මැරකම්’’ මුදා හැරුණා. ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුනේ නැහැ. ‘‘මැරකම’’ ට එරෙහිව ‘‘මැරකම’’ ක අවශ්‍යතාව කිසියම් ජනකොටසකගේ මනසේ සාධාරණීකරණය වෙන්නේ එහෙම.
2009 යුද්ධය අවසන් වුනාට පස්සේ ඉඳලම, විටින් විට මතුවුනු මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් කලහ විසින් සමාජය කෙරෙහි කැකෑරෙන වෛරයක් සහිත තරුණයින් පිරිසක් මුස්ලිම් ප්‍රජාව අතරින් බිහිවිය නොහැකිද? බාහිර ත්රස්තවාදයක් ( External Terrorism ) අභ්‍යන්තරීකරණය ( Internalize ) කරගන්න ඕන තරම් හේතු කාරණා මේ බිමේ තිබුණා. බීජ සහ පොහොර ආවේ පිටරටින් තමයි. හැබැයි, ඒවා පැළකරන්න සරු පසක් පසුගිය දස වසර තිස්සේ සැකසෙමින් තිබුණා.
අපි අපිව ම රවටාගැනීම
මේ ප්‍රහාරකයින් නැතිබැරි දුප්පත් පවුල් පසුබිමක් ඇති අය නෙවෙයි. ඉතා ධනවත් ව්‍යාපාරික පසුබිමක් සහිත, සුඛිත මුදිත ජීවිතයක් ගෙවන්නට තරම් ධනයක් හිමි, විදේශීය අධ්‍යාපනය ද ලද තරුණයන් පිරිසක්. මේ පිරිස කන්‍යාවන් 72 ක පහස ලබන්න ‘‘මිථ්‍යාදෘෂ්ටිකයන්’’ හැකිතාක් මරාගෙන තමනුත් දිවිනසා ගත්තා කියා සිතීම අපව ම රවටා ගැනීමක්. ඊටවඩා සාමුහික ඉලක්කයක් ලෙස පැරණි මුස්ලිම් පරමාර්ථයක් වන මහමත්තුමාගේ රාජ්‍යය (Caliphate ) ගොඩනගන්නට දිවි දුන්නා යයි සිතීම වඩා සබුද්ධිකයි. මේ මෙහෙයුම සඳහා ඔවුන් දාර්ශනික පසුබිම සකසා ගන්නේ එහෙම. අතීතයේ රාජාණ්ඩු පසුබිමක ඇඳුණු සභ්‍යත්ව අතර ගැටුම ගෝලීය ධනවාදී කැන්වසයක් තුළ නැවත ප්‍රතිනිර්මාණය වෙන්නේ මෙහෙම.
ප්‍රතික්ෂේප කළ යුතු ආනයනිත භාණ්ඩය
හැබැයි මේ සැලසුමේ ජාත්‍යන්තර මෙහෙයුම්කරුවන්, මේ ප්‍රහාර මුල් කරගන මේ බිමේ මුස්ලිම් සංහාරයක් බලාපොරොත්තු වුණා. 83 හමුදා සොල්දාදුවන් ඉලක්ක කරගන එල්ල කළ බිම් බෝම්බ ප්‍රහාරයෙන් මරුනේ 13 දෙනෙයි. ඊට ප්‍රතික්‍රියා ලෙස නිර්මාණය වුණු කළු ජූලිය LTTE යුධ යන්ත්‍රයක් නිර්මාණය කළ බව සහ ඊට ධනය උපදවන සහ සපයන ඩයස්පෝරාවක් නිර්මාණය කළ බව අපට අමතක නැහැ. මේ සිද්ධියෙන් මළ පිරිස සිය ගුණයක්. වාසනාවට මේ මුල් කරගෙන මුස්ලිම් සංහාරයක් නිර්මාණය වුණේ නැහැ. ඒ සමස්ත ගෞරවය කතෝලික ප්‍රජාවට හිමි විය යුතුයි. කවුරුහරි සුළුවෙන් අවුළුවන්න විතරයි වුවමනා වුණේ. මහා ලැවූගින්නක් වන්නට ගතවන්නේ මොහොතයි. එහෙම වුණා නම් මේ බිම අනුන්ගේ යුද්ධයක යුද බිමක් වෙන එක වළකන්නට බැහැ. ඒ අතින් මේ මොහොත අපට අවස්ථාවක් ( opportunity එකක් ) ලබා දීලා තියෙනවා නැවත හිතන්න. අතිශය ඛේදජනක සිදුවීමක් තුළින් පවා අපට අවස්ථාවක් ලබා දීලා තියෙනවා හැදෙන්න. අපට තවමත් පුළුවන්, මේ ආනයනිත භාණ්ඩය ප්‍රතික්ෂේප කරන්න; බාහිර ත්‍රස්තවාදය අභ්යන්තරකර නොගෙන ඉන්න. ඒ තේරීම තියෙන්නේ සමාජයක් ලෙස අපේ අතේ ම යි. ඒ තේරීම මත රටේ අනාගතය නිශ්චය වේවි.
Asoka handagama