එජාප ප්‍රතිසංවිධානය ගැන කැබිනට් සංශෝධනය ගැන තනි එජාප ආණ්ඩුවක් ගැන චමින්ද විජේසිරි කතා කරයි

කතාබහ

ඔබතුමන්ලා පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කතා කරන පක්ෂයේ වෙනසක් විය යුතුයි කියන කණ්ඩායම. පක්ෂයේ නායකත්ව වෙනස්කම් ගැන කතා කරන්න ගිහිල්ල විනය පරීක්ෂණවලට මුහුණ දෙන්න වෙයිද?

අපි පක්ෂෙට අලුත් යෝජනා ඉදිරිපත් කිරීමක් සිද්ධකළේ. ඒ යෝජනා තුළ පක්ෂෙට හානියක් වෙන යෝජනා නෑ. කවුරුහරි එහෙම හිතනව නම් ඒක වැරදියි. විනය පරික්ෂණ කරන්න කවුරු හෝ උත්සහ දරනව නම් අපිට වඩා විනය පරීක්ෂණ කල යුතු විනය පරික්ෂණ තිබිය යුතු අය ඕනතරම් ඉන්නව. අපි කියන්නෙ අපේ යෝජනා හා අපේ අදහස් වලට අවස්තාවක් දෙයි කියල.

 

යම්කිසි ආකාරයකින් පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතුයි කියල කෙනෙක් අදහස් දක්වන්න ගිහිල්ල ඒ කෙනාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන්න පක්ෂය සූදානම් වුනොත් ඔබතුමන්ලාගේ ඊළඟ පියවර මොකක්ද?

පක්ෂ නායකත්වය වෙනස්විය යුතුයි කියන කාරණය බොහෝ දෙනෙක් කියන්නෙ නෑ. සමහර කණ්ඩායම් කිවුවට. අපි අදහස් දැක්වුවෙ නායකත්වය කොහොමද ඉදිරියට ගෙනියන්න පුලුවන් වැඩපිළිවෙල, මොකද එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වෙලා තියන අවශ්‍යතාවය සහ හැමෝම එකතුකරගෙන කොහොමද යන්නෙ කියන කාරණය. අපි එකමුතුව සාකච්ඡා කරල තීන්දුවක් යෝජනා කරනවා.

 

පක්ෂෙ ව්‍යවස්ථාව අනුව නායකත්වය වෙනස් කරන්න බැරිකමක් තියනව නේද?

පක්ෂයේ ව්‍යවස්ථානුකූලව අපේ යෝජනාව ඉදිරිපත් කලා. අපේ ඉල්ලීමට සහ අපේ යෝජනාවට නායකතුමා ඇහුම්කන් දුන්න. මෙ කියන ඒව ව්‍යවස්ථාවට ඇතුල්කරනවයි කියන කාරණය අපිට කිවුවා. අපි බලගෙන ඉන්නවා ඒ කටයුත්ත එතුමා කරයි කියලා.

 

මැයි දිනයේ දී ඔබතුමා පේන්න හිටියෙ නෑ. ඒකට හේතුව මොකද්ද?

මැයි දිනය දා ඇත්තටම මම අසනීපෙන් හිටියෙ සහ මගේ අත්තම්මාගෙ මළගම තිබුණු නිසා මට සහභාගි වෙන්න බැරි වුණා. මම කලින්ම කිව්වා අපේ පක්ෂෙ තියන වැඩපිළිවල කඩා හෙලන්න කටයුතු කරන්නෙ නැහැ.

පක්ෂය තුළ රැඳෙමින් අපේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරමින් පක්ෂය ඉදිරියට ගෙනියන්න පක්ෂය ඉදිරියට තල්ලු කරන්න. පක්ෂ නායකත්වයේ තිබෙන දුර්වලතාවයන් නිවැරදි කරගෙන අපේම ආණ්ඩුවක් අපේම රජයක් බිහිකරගන්න කටයුතු කරනවා.

 

ඔබතුමා නොගියෙ පෞද්ගලික කාරණයක් නිසා නමුත් පක්ෂයේ සභාපතිවරයා පක්ෂයේ උපනායකවරයා ඇතුළු පක්ෂයේ දහඅටකට ආසන්න සංඛ්‍යාවක් මැයි දිනයට ගිහිල්ලා තිබුණේ නැහැ. මේකෙන් පෙනෙන්නෙ පක්ෂයේ අර්බුදකාරී තත්වයක් නෙවෙයිද?

විශේෂයෙන්ම එතනදී කණ්ඩායමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරාට බොහෝ දෙනා සාධාරණ හේතු මත සහභාගි නොවුණට සහභාගි නොවුණා කියන කාරණය විතරයි වාර්තා වෙලා තියෙන්නෙ. විශේෂයෙන් අපි ඉල්ලීමක් කරනවා අපිට පක්ෂයේ බෙදීම් ඇතිකරලා, අර්බුද ඇති කරලා සමහර කණ්ඩායම් උදම් අනන්න බලන් ඉන්නවා කියන කාරණය එදත් තිබුණා. අදත් තිබුණා. අපි උත්සාහ කරන්නෙ මේක දෙවැනි අරගලය නොවී එක්සත් ජාතික පක්ෂයට හොඳ අවස්ථාවක් ලැබිලා තියනවා ඉදිරි ගමන යන්න.

ඒ සඳහා අපි සූදානම් වෙනවා මිසක් අර්බුද ඇතිකරන්න යන්නෙ නැහැ. ඒක පැහැදිලිව කියන්න ඕනෙ.

 

මන්ත්‍රීතුමනි, ඔබතුමන්ලා යම් යම් අවස්ථාවලදී පාර්ලිමේන්තු කණ්ඩායම් වර්ජනය කරපු අවස්ථා තිබුණා.

වර්ජනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කෙරුනට පාර්ලිමේන්තුව වර්ජනය කරල නෑ. නමුත් අපි ඉදිරියේ දී බලනවා. අපි සඳහන් කළ යෝජනා සහ අදහස් පිළිගන්නෙ නැතිනම් අපිට අපේ ස්වාධීන භාවය සහ ගෞරවය සුරකිමින් අපිට වර්ජනයකට යන්න අවස්ථාවක් සැලසේවි. අපි හිතනවා අපේ දේවල් වලට ඇහුන්කන් දීලා ඒ දේවල් නොවන තැනකට එයි කියලා.

 

මන්ත්‍රීතුමනි මේ ක්‍රියාමාර්ගවලින් ඔබතුමන්ලා අවසානයේ බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? පක්ෂයේ ප්‍රතිසංවිධානය කියලා යමක් සිද්ධ වුණා. ඒ නායකත්ව වෙනස ඇරෙන්න අනෙකුත් සිදුවූ ප්‍රතිසංවිධාන ගැන ඔබතුමන්ලා සතුටුද? නැතිනම් සියයට සියයක් ප්‍රතිසංවිධානය වෙන්න ඕනෙ කියන මතයෙද ඔබතුමන්ලා ඉන්නෙ.

පැහැදිලිවම සිදුවුණු ප්‍රතිසංවිධාන ගැන අපේ කණගාටුවක් නෑ. අපිට ගැටලුව තියෙන්නෙ මේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ පිළිගන්න බැරි ක්‍රියාදාමයන් යෝජනා වෙලා තියෙනවා.

අපි කියන්නෙ ව්‍යවස්ථාවෙන් එහාට ගිහිල්ලා ඡන්දයකින් සියලු තනතුරුවලට පත්කරගන්න වැඩපිළිවල වෙන්න ඕනෙ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙන කැමැත්ත අනුව සියලු දෙනාම පත්කරගන්න ඕනෙ කියන මතය තුළ අපි ඉන්නවා. ඒකතමයි අපේ අවසාන උත්සාහය.

 

විශ්වාසභංගයේ දී අගමැතිතුමා පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගෙන පෙන්නුවා. ඒ ආකාරයෙන්ම පක්ෂය ඇතුළෙත් විශ්වාසය දිනාගෙන ඡන්දයෙන් පත්වෙන නායකයෙක් තෝරාගනිද්දි ඒ ඡන්දයේදීත් අගමැතුතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙම ඡන්දයක් තිබිලත් රනිල් වික්‍රමසිංහ මහත්තයම පත් උනොත් එදාට මොකද කරන්නෙ?

නායකතුමාට කිසිම අභියෝගයක් තිබුනෙ නෑනේ. අපි කිව්වෙ එතුමාට ඒ කියන නායකත්වයට සුදුසුකම් තවම තියනවා. අදටත් කවුරුත් එතුමාට අභියෝග කරන්නෙ නැහැ. එතුමාගෙන් පස්සෙන් පස්සෙ එන නායකයත්වයට වැඩපිළිවෙලක් අපිට තිබුණා. 2020 පක්ෂය ජයග්‍රහනයට ගෙනියන්න වැඩපිලිවෙලක් අපිට තියෙනවා.

 

නායකතුමාගෙන් පස්සෙ නායකත්වය බාරගන්න කෙනෙක් නෑ කියලා අදහසක් තිබුනා නේද?

ඒ ප්‍රශ්නය අපිට තියනවා. රටට පක්ෂයට ගැලපෙන නායකත්වයක් ගැන අපි යෝජනා කරල තියෙනවා.

 

මේ ආකාරයෙන් පක්ෂය බෙදීම අනෙක් පක්ෂ වලට වාසියක් වෙනවා නේද? ඉදිරියේදී ඡන්ද පෝලිමකුත් එනවා. ඒවට මුහුන දෙන්නේ කොහොමද පක්ෂයේ අර්බුදයකුත් එක්ක.

අපේ පක්ෂයට වඩා අර්බුද අනෙක් ප්‍රදානපෙලේ පක්ෂවලටත් තියෙනවා. අපේ අර්බුදය ඉක්මනින් විසඳගෙන පක්ෂ ජයග්‍රහනය කරා ගෙනයනවා. අපේ විහින් අපේ බෙල්ල කපගෙන හරි අපි ඒ දේ කරනවා.

 

විවිද මාධ්‍ය වාර්තා පලවෙනවා ඔබතුමන්ලා දේශපාලන තීන්දුවක් ගන්න යනවා කියලා. මේ සම්බන්දයෙන් ඇත්ත තත්වය මොකක්ද?

අපේ යෝජනා ක්‍රියාත්මක කරන එක තමයි අපි ඉස්සරහට ගන්න දේශපාලන තීන්දුව. අපේ යෝජනා ක්‍රියාත්මක නොඋනොත් ගන්න තීරණය ගැන එදාට බලමු.

 

යෝජනා ක්‍රියාත්මක නොවුනොත් ගන්න තීරනය ගැන තාම සාකඡ්චා කරල නැද්ද?

සාකච්ඡා කරල තියනවා.

 

රනිල් වික්‍රමසිංහ මහත්තය ජනාධිපතිවරනයටඉදිරිපත් වුනොතින් ඔබතුමන්ලා සහයෝගය දක්වනවද? 

අපේ යෝජනා ක්‍රියාත්මක කරලා ඉදිරිපත් වුනොත් අපි සහයෝගය දෙනවා.

 

සුජීව සේනසිංහ ඇමතිතුමා කියලා තියනවා එතුමා ජනාධිපතිවරන ගණනාවක් ප්‍රාජයට පත්වුන කෙනෙක් වෙනත් ආදේශක ඉදිරිපත් කරපු කෙනෙක් එතුමාම ආපහු ඉදිරිපත් වෙනවා නම් සුජීව සේනසිංහත් ස්වාදීනව ඉදිරිපත් වෙනවා කියලා.

එතුමා කිවුවෙ පොදු අපේක්ෂකයෙක් ජයග්‍රහනය කරන්න ආය ඉදිරිපත් වෙන්නෙ නෑ කියලා. ඒ කියන්නේ ඔබතුමන්ලා ආනයනය කරන අපේක්ෂකයෙකුට සහයෝගය දෙන්නෙ නැහැ. එහෙම වැඩපිලිවෙලක් අපිට නැහැ.  වර්තමානයේ ජනතාව මුහුණදෙන ගැටළුව යලිත් උදා කරන්න අපි සූදානම් නැහැ.

 

පක්ෂය එහෙම තීරණයක් ගත්තොත් මොකද කරන්නේ.

අපිට පක්ෂයේ තීරණය අනුව කටයුතු කරන්න සිද්ධ වෙවි. ඒත් මගේ පෞද්ගලික තීරණය පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය නෑ කියන එක.

 

2020 න් පස්සෙත් දේශපාලනයෙන් ඉවත්වෙනවා කියලා වර්තමාන ජනාධිපතිතුමා කියලා තිබුනා. එතුමාම යලිත් පොදු අපේක්ෂකයා වුනොත් මොකද කරන්නේ.

පැහැදිලිවම මම උදව් කරන්නේ නැහැ. 2015 ජනවාරි 08 වෙනිද කියපු දේ අමතක වෙච්ච කෙනා නැවත මේ රට පාලනය කරල අර්බුදයක් ඇතිකරන්න මේ රටේ ජනතාව ඉඩදෙන එකක් නෑ.

 

සරත් ෆොන්සේකා මහත්තයා මැයිදින රැලියෙදි කෙලින් ප්‍රකාශයක් කරනවා අපි ගෙනාවෙ වැරදි පුද්ගලයෙක් කියලා. ඔබතුමා ඉන්නෙත් ඒ මතේමද?

මම ඉන්නෙත් ඒ මතයේම තමයි.

 

මැයි 08 වෙනිද 16 දෙනෙක් විපක්ෂයේ වාඩි වුනා. මේකෙන් ආණ්ඩුවට බලපෑමක් ඇතිවෙයි ද? ආණ්ඩුවට තුනෙන් දෙකත් නැතිවෙනවා නේද?

අපි කලයුත්තේ තනි ආණ්ඩුවකට යන එක. රටේ සුභසිද්දිය වෙනුවෙන් ගෙනෙන ඕනම යෝජනාවකට පක්ෂ බේදයකින් තොරව අත දෙන්න කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නවා. ඒ නිසා තුනෙන් දෙක ප්‍රශ්නයක් නෙවෙයි.

 

අජිත් පී පෙරේරා ඇමතිතුමා කිවුවා ශ්‍රීලනිපයෙ කණ්ඩායමක් එජාපය සමග සම්බන්ධවී  වැඩකරන්න සූදානම් කියලා.

එහෙම කණ්ඩායමක් ඉන්න බව මමත් දන්නවා.

 

ඉදිරියේ දී එන ඡන්ද වලට ඔබතුමන්ලාගේ සූදානම කොහොමද?

අපි ජනතාවට දුන්න පොරොන්දු රාශියක් තවමත් ඉටුකරන්න බැරිවෙලා තියනවා. ඒවා කඩිනමින් ඉටුකරන්න අපි ක්‍රියා කරනවා.

 

කැබිනට් සංශෝදනය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?

කැබිනට් සංශෝධනයේ දී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද රැසක් ලැබෙන අමාත්‍යංශ ලබාදීලා තියෙනවා.  ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕන එතුමා වෙනුවෙන් සහ යහපාලන රජය වෙනුවෙන් කැපවුනු එජාප පසුපෙල මන්ත්‍රීවරුන් රාශියක් සිටින බව. ඔවුන්ටත් අමාත්‍යධූර ලබදීලා ඔවුන්ගේ සහයෝගයත් ඇතුව මේ ගමන යන්න තිබුනා. අමාත්‍යධූර ලබාදීම ගැන අපි නොදැනුවත් නෑ, ජනතාව නොදැනුවත් නෑ. එජාප නායක තුමා විසින් යෝජනා කල සමහර කැබිනට් අමාත්‍යධූර අපිට ලබාදීලා නෑ. ඒ නිසා ඒ කැබිනට් සම්ශිදනය ගැන සතුටක් මට නෑ

 

විජේදාස රාජපක්ශ මහත්තයටත් ඇමතිධූරයක් ලැබිලා තියෙනවා. රවී කරුණානායක මහත්තයට ඇමතිධූරයක් හිමිවෙලා නෑ. ඒක ඔබතුමා දකින්නෙ කොහොමද?

විජේදාස රාජපක්ශ කියන්නෙ අපිට වඩ දක්ෂ දේශපාලකයෙක්. එතුමා අතින් යම් යම් වැරදි සිදුවුනා නම් ඒවා නිවැරදි කරගන්න ඕන. එතුමාගේ දක්ෂකමින් රටට වැඩක් ගන්න ඕන. රවී කරුණානායක මහත්තය සම්බන්ධ කිසිම චෝදනාවක් ඔප්පු කරල නෑ. එතුමා පක්ෂයේ දක්ෂයෙක් වගේම උපනායකයෙක්, එතුමාට ඇමතිකමක් තිබිය යුතුයි කියන මතයෙ මම ඉන්නවා. මොකද එතුමාට විශාල අසාදාරනයක් සිද්දවෙලා තියෙනවා. ජනාධිපතිතුමා පලිගැනීමක් තමයි මේ කරලා තියෙන්නේ.

 

රංජන් රාමනායක මැතිතුමා කියනවා අපිටත් බැට් කරන්න දෙන්න කියලා. කැබිනට් සන්ශෝධනයෙදි එතුමාට තිබුන අමාත්‍යාංශයත් හැලිලා. මෙහිදී වෙලා තියෙන්නෙ හිතවත් අයට තනතුරු දෙන එකත් අනිත් අය කපල දාන එකත් ද?

මැති ඇමතිවරුන්ගෙ කැමැත්තෙ හා අවශ්‍යතාවය මත තමයි ඒවා වෙනස් කරලා තියෙන්නේ. සමහර ඇමතිවරු නව අමාත්‍යාංශවලට යන්න සූදානම් වෙන්න ඇති. පලිගැනීමක් තියෙනවා කියල නම් මට දැනුනෙ නෑ පසුපෙල මන්ත්‍රීවරුන්ටත් ඇමතිකම් ලබාදෙන්න මේවන විට විමසීමක් කරගෙන යනවා.

 

ඔබතුමාටත් එවැනි ආරාධනාවක් ආවද?

නෑ මට තවම එවැනි ආරාධනාවක් නෑ.

 

අවස්ථා ගණනාවක් මාතරින් තරග කරල පළවෙනිය වුනු බුද්ධික පතිරන තවමත් ඉන්නෙ මන්ත්‍රී විදිහට. ඔබතුමාලටත් ඒ විදිහට ඉන්න වුනොත් මොකද කරන්නේ?

අපි ඇත්ත සහ යුක්තිය වෙනුවෙන් කතා කරන කණ්ඩායම්. ඇමතිකම් නොලැබුනත් අපි කරන කර්යය රටේ අනාගතයට ඵලදායී වෙනවා. ඒ නිසා අපි එවැනි දඩුවම්වලට සූදානමින් ඉන්නවා.

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...