පොදු අපේක්ෂකයකුට සහය දෙන්නේ නැහැයි කියන කාරණය අසාධාරණකම් සිදුවුණු එජාප පාක්ෂිකයන් ගැන චන්ද්‍රිකා, මහින්ද විධායක ජානාධිපති ක්‍රමය අහෝසි කරන බව කියු හැටි කාවින්ද ජයවර්ධන කතා කරයි

කතාබහ

ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔබතුමාට තිබෙන්නේ මොන වගේ අදහසක්ද? වර්තමානය වන විට තෙල් මිල වැඩිවෙල,  ගෑස් මිල වැඩිවෙලා මේවට ජනතාවට මුහුණ දෙන්නේ කොහොමද? ඔබතුමන්ලා ආණ්ඩුවක් විදියට මේ ප්‍රශ්ණවලට විසඳුම් හොයන්නේ කොහොමද?

ඇත්ත වශයෙන් බඩු මිල වැඩිවීම පිළිබඳව අපිට අපේ හිතේ කැමැත්තක් නැහැ. නමුත් රටේ තියෙන ආර්ථික තත්ත්වයත් ඒ වගේම ලෝකයේ තිබෙන ආර්ථික තත්ත්වයත් සලකා බැලීමේදී යම්කිසි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි සන්සන්දනාත්මකව එදා හිටපු රජය විශේෂයෙන්ම ඔය කෑගහන ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමැතිවරුන් මේ රට පාලනය කරන අවස්ථාවේ මේ රටේ තෙල් මිල, ගෑස් මිලට ඊට වඩා වැඩි මුදලක් තමයි අපිට ගෙවන්නට සිද්ධ වුණේ. නමුත් යහපාලනය මේ රටේ ස්ථාපිත වුණාට පස්සේ අවුරුදු 3 ක් එකකට එකක් මේ මිල අඩුකරලා තිබුණා. නැවත වතාවක් වැඩිවීමක් වෙලා තිබෙනවා. ඒ වැඩිවීම සන්දන්නාත්මකව ගත්තම එදාට වඩා අද අඩුවීමක් දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත් ජනතාවට මෙය දරාගන්නට අපහසු තත්ත්වයක් අපි දකිනවා. නමුත් අපි විශ්වාස කරන්නේ මේ යහපාලන ආණ්ඩුවේ ආර්ථික දැක්ම ඉදිරියට ගෙනයාම හරහා ඒ වගේම මේ රටේ නව ආයෝජකයන් මේ රටට පැමිණීම හරහා ඒ වගේම බරක් වෙලා තියෙන ටි්‍රලියනයක් ණය ගෙවන අනවශ්‍ය වියදම් විශේෂයෙන්ම හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන් තොටුපොළ ආදී අනවශ්‍ය ලෙස අපි ණයයි පොළියයි ගෙවන, නමුත් රටට ලාභයක් උපදන්නේ නැති ආයතනවලට අවශ්‍ය කරන වැඩසටහන ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම පෞද්ගලික අංශයත් එක්ක සාකච්ඡා කරලා ඒ හරහා රටට ආදායමක් උපයන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේදී මේ මිල ගණන් අපට අඩුකරගන්නට පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. ඉතින් යහපාලන ආණ්ඩුව තුළ සිටිමින් අපි අරගල කරන්නේ මේ රටේ ජීවත් වන ජනතාවට උවමනා කරන ආර්ථික සුබසිද්ධිය ලබාදෙන්න.

 

මන්ත්‍රීතුමනි, ජනතා විමුක්ති පෙරමුණ දැන් විසිවන සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙනවා.  එක්සත් ජාතික පක්ෂය විදියට ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගෙනද තියෙන්නේ?

පක්ෂය හැටියට කණ්ඩායමක් සමග සාකච්ඡා කරලා තාම අපි ඒ පිළිබඳව තීරණයක් අරගෙන නැහැ. නමුත් අපි කණ්ඩායම් ගණනාවක් සාකච්ඡා කරලා තියෙනවා මේ වන විට. ඒ වගේම අපේ මත විමසීම් අපි කරලා තියෙනවා අපේ මන්ත්‍රීවරු සහ අනෙකුත් කණ්ඩායම් සමග. අපි විශ්වාස කරන්නේ මේ රටට හිතෛෂී ඕනම තීන්දුවක් ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය හැටියටත්, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු හැටියටත් එයට සහයෝගය දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

හැබැයි මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමා එන්නෙම විධායකය අහෝසි කරනවා කියලා පොරොන්දුවක් දීගෙන. නේද? ඒ අනුව ඒ පොරොන්දුව අනුව හරි නම් විධායකය අහෝසි වෙන්න ඕන නැද්ද?

අද මම විශ්වාස කරනවා, අතිගරු ජනාධිපතිතුමා පමණක් නෙමෙයි 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා, එපිට හිටපු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ අය රටේ ජනතාවට පොරොන්දුවක් වුණා, පොරොන්දුවක් දුන්නා මේ රටේ විධායක බලතල අහෝසි කරලා, මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන එක. ඉතින් මම විශ්වාස කරනවා අපිට ඒ ලොකු වගකීමක් තිබෙනවා රටේ ජනතාවට වෙච්චි පොරොන්දුව ඉෂ්ඨ සිද්ධ කරන්න.

 

ඒ වගේම මන්ත්‍රීතුමනි අපි දැක්කා අජිත් පී. පෙරේරා ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් කලා කරලා තිබ්බා දැන් ජනතා විමුක්ති පෙරමුණ මේක ගේන්නේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට. එහෙම නැතුව මේක හරි නම් ආණ්ඩුව විසින්ම එක්සත් ජාතික පක්ෂය විසින්ම ගේන්න ඕන යෝජනාවක් කියලා එතුමා අදහස් දක්වලා තිබ්බා. මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස?

මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂය කල්පනා කළේ විසිවන සංශෝධනය ගේනවටත් වඩා මේ රටේ ව්‍යවස්ථාමය වෙනසක් කරන්න. එහෙම තමයි අපි සූදානම් වෙමින් පැවතුනේ. විශේෂයෙන්ම මේ රටේ සංහිඳියාව ඇතිකරලා, මේ රටේ යහපාලනය ඇතිකරලා, ස්ථාවර රටක් බවට මේ රට පත්කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේ. ඒක නිසා අපි ගත්ත ඒ උත්සාහය අපි තවම අතඇරලා නෑ. ව්‍යර්ථ කරලා නෑ. මේ රට ස්ථාවර කරන්නට අවශ්‍ය කරන හැම වැඩසටහනක්ම කරන්නට බලාපොරොත්තු වෙනවා.

 

මන්ත්‍රීතුමනි, දේශපාලන කරලියේ රාවයක් තියෙනවා දැන් ඔබේ පක්ෂය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ස්වාධීන වෙන්න යනවා කියලා මොකක්ද ඒකේ ඇත්ත නැත්ත?

මම හිතන්නේ ස්වාධීන වෙන්නට ඔවුන්ට අයිතියක් තියෙයි කියලා මං විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි අපිට මේ ආණ්ඩුව තුළ සිටිමින් අපි මේ රටේ විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ සිටිමින් එක මතයක කටයුතු කරනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ආණ්ඩුව නියෝජනය කරපු අය සහ කණ්ඩායම් අදටත් එක්සත් ජාතික පක්ෂය විවේචනය කරනවා. ඉතින් එවන් අවස්ථාවලදී ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා. ඉතින් ඒක නිසා අපි මේ මන්ත්‍රීවරු තීරණය කරන්නේ මේ අවස්ථාවේදි පක්ෂයත් පාක්ෂිකයා වෙනුවෙනුත් ස්වාධීනව කටයුතු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන දුර්වලකම් දූෂණ වංචා පිළිබඳව මේ රට දැනුවත් කරන්න, හෙළිදරව් කරන්න හෘදසාක්ෂියට එකඟව ඉඩ දෙන්න කියන ඒ ඉල්ලීම තමයි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ.

 

ඒ ස්වාධීන වෙනවා කියන කණ්ඩායමේ ඔබතුමත් ඉන්නවාද?

නෑ අපි කණ්ඩායමක් හැටියට තාම තීරණයක් අරගෙන නැහැ. මං හිතන්නේ අපේ පක්ෂයේ නායකතුමාට අවනතව ඒ වගේම අපේ පක්ෂයට හානියක් නොවන ආකාරයට කටයුතු කරන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

 

තවදුරටත් ඔබතුමා මේ පක්ෂයේ ප්‍රතිසංවිධානයක් පිළබඳ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවාද?

අපිට දැඩි බලාපොරොත්තුවක් තිබුණා අපි විශ්වාස කරනවා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඔවුන්ට තිබෙන බලතල පාවිච්චි කරලා එක්සත් ජාතික පාක්ෂියන්ට සාධාරණත්වයක් ඉෂ්ඨ සිද්ධ කරාවි කියලා. අපිට පෞද්ගලිකව ලබාගන්න කිසිදු දෙයක් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් කල්පනා කරලා අවුරුදු 20 ක් විපක්ෂයේ ඉඳලා ගුටි බැට කාගෙන, පෝස්ටර් අලවාගෙන මේ ආණ්ඩුව ගේන්න අපිව ආරක්ෂා කරන්න ආණ්ඩුව ආරක්ෂා කරන කටයුතු කරපු අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවශ්‍ය තීරණ ලබාදේවි කියන විශ්වාසය අපට තියෙනවා.

 

සමහර වෙබ් අඩවි වාර්තා කරලා තිබුණා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී දේශපාලන කටයුතු කරන්න සූදානම් කියලා ඒකේ මොකක්ද තියෙන ඇත්ත?

ඒ පිළිබඳව මගේ අවබෝධයක් නැහැ. මං හිතන්නේ ඒක කළ යුතු වන්නේ නැහැයි කියන මතයේ මම ඉන්නේ. මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා මේ රටේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තීන් යටතේ මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තමයි කළ යුත්තේ. ඉතින් ඒ පිළිබඳව මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් වෙලා තියෙනවා කියන එක පිළිබඳව මට අවබෝධයක් නැහැ. මොකද මම ඒ කිසිම දේකට සම්බන්ධ වෙලා නැති හින්දා.

 

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියන්නේ එතුමා 2020 න් පස්සෙත් දේශපාලනයේ නිරත වෙනවා, එතුමා විශ්‍රාම යන්නේ නෑ කියලා. හදිස්සියේවත් ඊළඟ ජනාධිපතිවරණයට එතුමා ඉදිරිපත් වුණොතින් එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලැබෙයිද?

නෑ. අපි පැහැදිලිවම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒ වගේම මැයි දින රැලිය තීන්දුවක් ගත්තා පොදු අපේක්ෂකයකුට සහය දෙන්නේ නැහැයි කියන කාරණය. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුයට පමණයි. එක්සත් ජාතික පක්ෂය සහයෝගය දෙන්නේ කියන එක පැහැදිලිවම ප්‍රකාශ කළා. ඉතින් මම විශ්වාස කරනවා තවදුරටත් පොදු අපේක්ෂකයකුගෙන් මේ මැතිවරණ ජයග්‍රහණය කරන්නට. එක්සත් ජාතික පාක්ෂිකයන්වත් එක්සත් ජාතික පක්ෂයවත් සූදානම් නැහැයි කියන පෞද්ගලික හැඟීම තමයි මට තියෙන්නේ.

 

පොදු අපේක්ෂකයෙක් නොවී ඒ අපේක්ෂකයා වත්මත් අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා උනොතින්?

අපි අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරන ඕනම ජනාධිපති අපේක්ෂකයෙක්ට සහයෝගය දෙන්න ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන වැඩකටයුතු අපි සියයට සියයක් දායකත්වය ලබාදෙමින් ක්‍රියාත්මක කරනවා.

 

අවසන් වශයෙන් මන්ත්‍රීතුමනි රටේ පවතින වත්මන් වාතාවරණය අනුව හැම පක්ෂයකම අපිට පේන්නේ ඒ පක්ෂය තුළ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට වෙහෙසන බවයි. මේ තත්ත්වය රටට හිතකරද? රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද එහෙම?

ඔබ හොඳ ප්‍රශ්නයක් අවසාන ප්‍රශ්නය විදියට මගෙන් ඇහුවේ. ඇත්ත වශයෙන්ම මම කණගාටු වෙනවා මන්ත්‍රීවරයෙක් හැටියටත්, තරුණයෙක් හැටියටත්, ශ්‍රී ලාංකිකයෙක් හැටියටත් අපේ රටේ දේශපාලන අරගලක් මේ අවස්ථාවේ උදා වී තියෙන්නේ දේශපාලන පක්ෂවල අරගලයක්, බල අරගලයක් තියෙන්නේ රටේ උන්නතිය රටේ අභිවෘද්ධිය, රටේ ස්වෛරීත්වය, රටේ සාමය, රටේ ආර්ථිකය, රටේ තරුණ තරුණයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය අද මේ ජන නායකයෝ පැත්තක තියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකබද්ධ විපක්ෂය ඇතුළු අපේ පක්ෂය ඇතුළු සියලුම දෙනා අද බල අරගලයක නියැලිලා සිටිනවා ඒ පිළිබඳව අපි සියලු දෙනාට කණගාටුවක් තිබෙනවා.

Latest Posts

කතාබහ

විශේෂාංග

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය රාජකීය සමාජයේ සාමාජිකත්වය 2019-05-29 - ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් ...
පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! පාස්කු බෝම්බයේ ආධ්‍යාත්මික ඛේදවාචකය! 2019-05-02 - පාස්කු ඉරිදා ගැසූ බෝම්බ ප්‍රහාරයෙන් පසු පොදුවේ...
මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...