20 සම්මත වුණොත් 13 අනුව බලය බෙදනවා කියන එක පට්ට පල් බොරුවක් - අනුර දිසානායක කතා කරයි

කතාබහ

අපි මේ ගෙන එන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සංශෝධනයක්. මේ රටේ සියලු ජනතාව යටත්වන මූලික නීතිය පිළිබඳ මේ සංශෝධනයට විවිධ අදහස් ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙන බව අපි පිළිගන්නවා. ඒ නිසා අපි මෙය සංවාදයට භාජනය විය යුතුයි කියන එකත් පිළිගන්න දේශපාලන ව්‍යාපාරයක්. නමුත් අපි ඒ සංවාදයේදී ව්‍යවස්ථාව මත, ව්‍යවස්ථාවේ පැනනඟින කරුණු මත, ඉදිරියේදී විය හැකි බලය පිළිබඳ ස්වභාවයන් මත කෙරෙන සාකච්ඡාවකට අපි විරුද්ධ නැහැ. හැබැයි මීට අදාළ නැති බලහත්කාරී ත්‍රාඩ කඳවුරක් එක්ක මේ ගැන සංවාදයක් නැති බවත් අපි පිළිගන්නවා.

 මොකද ඔවුන් සංවාදයෙන්, සාකච්ඡාවෙන්, තර්කනයෙන් තේරුම් ගන්නවා වෙනුවට දේශපාලන අරමුණක් වෙනුවෙන් පෙනී සිටින්නන් නිසා. අපේ රටේ අද තිබෙන දේශපාලන සංස්කෘතිය තුළ ජනාධිපතිවරයා සතුව තිබෙන බලය මන්ත්‍රීවරුන් විකිණෙන පාර්ලිමේන්තුවකට ලබා දිය යුතු ද .ඇත්තටම ඒ ගැන විවාදයක් අපිට තිබෙනවා. ඒ විවාදයට ව්‍යවස්ථාව ඇතුළේ විසඳුම් තිබෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ විවාදයට විසඳුම් තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය මහා පරිවර්තනයකට ලක් කිරීමෙන් පමණයි.

අපි හිතන්නේ ඉන්නේ ව්‍යවස්ථාව ඇතුළේ යම් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන් ප්‍රමාණයක් අපේ රටේ ඉදිරි ගමනට අදාළව අත්පත් කර ගන්න පුළුවන් නම් එය ප්‍රගතිගාමී පියවරක් කියලයි. අපේ රට මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන් සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ පමණින් විසඳුම් ලැබෙනවාය කියන මිථ්‍යාවකත් අපි නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට ගනු ලබන ඉදිරිගාමී පියවරයන් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් අපි. ඒ නිසා විසි වැනි සංශෝධනය ප්‍රජාතාන්ත්‍රික ආයතනයන් ශක්තිමත් කිරීමේ දිශාවට යොදා ගත හැකි බව අපි දකිනවා.

තනි අධිකාරිත්වයක් සතුව තිබෙන මේ අසීමිත බලය යම් සභාවන් වෙත පැවරිය යුතුව තිබෙනවා. කැබිනට් මණ්ඩලය සංවාද තුළින් තීරණ ගන්නවා යැයි මතයක් තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ විශාල සංවාදයන්ගෙන් තීරණ ගන්නවා යැයි මතයක් තිබෙනවා. දෙපැත්තේ තර්ක විතර්කවලට ඉතා හොඳින් ඇහුම්කන් දෙමින් තීරණ ගන්නවා යැයි සිතන අධිකරණයක් තිබෙනවා. එයින් යුක්තිය පසිඳලනවා යැයි කියල උපකල්පනයක් තිබෙනවා. මේවා ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්ටත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් පිහිටුවා තියෙන ආයතන. නමුත් මේ විධායක ජනාධිපති ධුරය විසින් මේ සියලු ආයතන සතු බලය ශූන්‍ය බවට පත් කර තිබෙනවා.

කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය කියන පද්ධති බලශූන්‍ය ආයතන බවට පත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශවල වැදගත්ම කොටස් විධායක බලය පාවිච්චි කරලා තමන් යටතට ගත්තා. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය සතු ටීආර්සී එක, ඉඩම් අමාත්‍යංශයේ ඉඩම් වැඩිපුරම තියෙන එල්ආර්සී එක, පරිසර අමාත්‍යංශයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී වැදගත් විෂයන් ගණනාවක් පවරගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ. මොකද ඒ ආයතනවල තමයි වැඩිපුර මුදල් ගනුදෙණු සිදුවුණේ. ඊට අමතරව වැදගත්ම අමාත්‍යංශ තිබුණේ පවුල අතේ. වරාය ගුවන්තොටුපළ චමල් අතේ. මාර්ග සංවර්ධන මහින්ද අතේ. මේ විධායක බලය පාර්ලිමේන්තුව බල රහිත කරලා. ජේආර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හිස් කොලවලට අත්සන් ගත්තා ඉල්ලා අස්වීමේ ලිපි විදියට. ජනපති සහ මන්ත්‍රීවරුන් අතර විශාල පරතරයක් තිබෙනවා. පෞරුෂයක් ඇති මන්ත්‍රීවරුන් බිහිවෙන්නේ නැහැ. රාජපක්ෂ 18 සම්මත කර ගත්තේ එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්.

විශේෂයෙන්ම අපි දැක්කා ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය නෙරපා හැරීමේ ක්‍රියාවලිය දියත් කළ ආකාරය. සාමාන්‍යයෙන් අධිකරණයේ ගරුත්වය වෙනුවෙන් නීතීඥ මහත්වරුන් පෙනී සිටිනවා. පාර්ලිමේන්තුවේත් මන්ත්‍රීවරුන් ලෙස නීතීඥවරුන් ගණනාවක් සිටිනවා. හැබැයි ශිරානි බණ්ඩාරනායක මහත්මිය නෙරපා හැරීමේදී ආණ්ඩු පක්ෂයේ හිටපු එක නීතීඥ මන්ත්‍රීවරයෙක් විරුද්ධව අත එසෙව්වාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරිය නෙරපා හැරීම කියන්නේ ක්ෂේත්‍රයට එල්ල කළ කුළුගෙඩි පහරක්. නමුත්, ඊට විරුද්ධව අත ඔසවන්න බැරි විධායකය විසින් පාර්ලිමේන්තුව පොඩිපට්ටම් කර තිබීමයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනෑ නැද්ද?

මහනුවර හිටපු එක්සත් ජාතික පක්ෂයේ කේශර සේනානායකට විරුද්ධව අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් පැවැත්වූවා. ඔහු ආරක්ෂාව පතා මහින්ද රාජපක්ෂගේ විධායක ජනාධිපති ධුරයේ සෙවනට ගියා. අවුරුදු දෙක හමාරක් නඩු අහලා අවුරුදු දෙකක සිරදඩුවම් නියම වුණා. හැබැයි විධායක බලයේ සමාව දීමෙන් විත්ති කූඩුවෙන් බැහැලා ජීප් එකේ නැඟලා ගෙදර ගියා. මිනීමරුවන්ට ස්ත්‍රී දූෂකයින්ට සමාව දෙනවා. මේ විධායක බලය කියන්නේ කැත මජර බලයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ජේදයේ 1 (ආ) යටතේ මෙහෙම තියෙනවා. “නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යැයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් ඇතිව හෝ කල් ගැනීමට බලය තියෙනවා” ආදායම් බදු සම්බන්ධ නඩුවක දී අධිකරණයේ තීන්දුව වුණේ නියම කරන ලද මුදල ගෙවන ලෙසයි. නමුත් ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට එරෙහිව ලබා දුන් තීන්දුව “ආදායම් බදු ගෙවිය යුතු නැත” කියලයි. අධිකරණයේ තීන්දුව වුණේ යම් කාල සීමාවක් ඇතුළත ආදායම් බදු ගෙවන්න කියලයි. ඒක දඬුවමක් නෙමෙයි. එහෙම තියෙද්දි චන්ද්‍රිකා මැතිනිය සමාව දුන්නා ආදායම් බදු ගෙවන්න ඕන නැහැ කියලා. ඉතින් මේ විධායකය යටතේ කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණ පද්ධතිය වැඩක් තියෙනවා ද? විධායක බලය හමුවේ මේ පද්ධති මුළුමනින්ම සුනුවිසුණු කොට යටත් කර තියෙන්නේ. මේ කැත මජර බලය අහෝසි කළ යුතු නැද්ද?

මන්ත්‍රීවරුන්ට වසර පහක් ගියාම විශ්‍රාම වැටුපක් ලැබෙනවා. නමුත් ජනාධිපතිවරයා එක දවසක් තනතුරේ හිටියොත් සියලු වරප්‍රසාද සහිතව විශ්‍රාම වැටුප, නිල නිවාස, ආරක්ෂක නිලධාරීන් සියල්ල ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි විශ්‍රාම වැටුප් දෙකක් ගැනීමටත් ව්‍යවස්ථාවෙන් අවස්ථාව හදලා තියෙනවා. ඒ වගේම මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එකක් ලැබෙන හැම අවස්ථාවකම ජනාධිපතිවරයාට පර්මිට් එකක් ගන්න අයිතිය හදලා දීලා තියෙනවා. මෛත්‍රීත් ගත්තා. මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන හැම අවස්ථාවකම මහින්ද රාජපක්ෂත් එකක් ගත්තා. ඒ වගේම පාර්ලිමේන්තුවට බලය තිබෙනවා ජනාධිපතිවරයාගේ දීමනා වැඩි කරන්න. නමුත් අඩු කරන්න බැහැ. දීමනාවක් ගන්න ඕන නම් ඒක ගන්න එක වෙනම කාරණයක්. නමුත් මේවා ව්‍යවස්ථාවට ඇතුල් කරලා. ඒකයි අපි කියන්නේ මේක කැත මජර බලයක් කියලා. මේ බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට පැවරිය යුතුයි. එය තමයි යුක්තිසහගත වන්නේ.

ගණ, ගෝත්‍ර ලෙස අපේ සමාජය කාලයත් පැවතුණා. ගෝත්‍රයේ නායකයා තමයි රැහේ සියලු තීරණ ගත්තේ. නමුත්  සමාජ අරගලය නිසා සාමූහික තීන්දු-තීරණ ගන්න තත්වයට පත්වුණා. නමුත් නැවත විධායක ජනාධිපතිධුරය ස්ථාපිත කිරීම අශිෂ්ටත්වයට යාමක්. එනිසා 20වැනි සංශෝධනය යනු ශිෂ්ටත්වය වෙනුවෙන් කෙරෙන අරගලයක්. 20ට එරෙහි වීම අශිෂ්ටත්වයයි. 20ට එරෙහිව පෙනී ඉන්න අය කවුද කියලා බැලුවාම ඒක හොඳට පේනවා. පසුගියදා නායක හාමුරුවන් වහන්සේලා කරුණු 16ක් රටට ඉදිරිපත් කළා. ඒ කරුණුවලින් විශාල ප්‍රමාණයක් 20වැනි සංශෝධනය සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. ඇතැම් ඒවා උන් වහන්සේලාගේ හිතේ තිබෙන සංකල්පයන් පමණක් බව ගෞරවයෙන් මතක් කර දෙන්න ඕනෑ. 20වැනි සංශෝධනයට එරෙහිව පෙනී ඉන්න දේශපාලන කඳවුරට වන්දනා මාන කරන්න කුමන හෝ සුරුවමක් ඕනෑ. එනිසා ඔවුන්ට ජනාධිපතිවරයෙක් ලෙස තනි පුද්ගලයෙක් ඕනෑ. ඔවුන් නිවට නියාලු ලෙස වැඳවැටෙන්න කැමතියි. එනිසා ජනාධිපති ක්‍රමය රැකගන්න  ඔවුන් උත්සාහ කරනවා. ඒ අයට ජනාධිපතිවරයෙක් පත්කරගැනීම වෙනුවෙන් දේශපාලන න්‍යාය පත්‍රයක් තිබෙනවා. අපි 20 සංශෝධනය දැම්මාම ඒක සම්පූර්ණයෙන්ම අවුල් වුණා. ඒ නිසා දැන් ඔවුන් කලබල වෙලා තිබෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට කරන්න තිබුණේ ඉදිරිපත් වී නොමැති 20වැනි සංශෝධනය ගැන කථා කරනවාට වඩා ඒ සම්බන්ධයෙන් අපි සමඟ සාකච්ඡාවක් කරන එකයි. ඒ සඳහා අපි අදටත් සූදානමින් ඉන්නවා. මේ අය ගේන එක තර්කයක් තමයි 20 සම්මත වුණොත් 13 අනුව  බලය බෙදනවා කියන එක. ඒක පට්ට පල් බොරුවක්. අපි ඔවුන්ට අභියෝග කරනවා පුළුවන්නම් බලය බෙදන හැටි කියන්න කියලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ ඇතුළු සියලු දෙනා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න එකඟ වුණු හැම අවස්ථාවකදීම 13ත් තිබුණා. අද මරාගෙන මැරෙන්න හදන කවුරුවත් එදා විරුද්ධ වුණේ නැහැ. ඒ නිසා මේ කරන්නේ බොරුවක්. ඒ වගේම ඒ වෙලාවේ යුද්ධයක් තිබුණා. යුද්ධය අවසන් කරන්න ජනාධිපති ක්‍රමය වැදගත් වුණා කියලා සමහරු කියනවා. ඇත්ත ඒක නෙවෙයි. ඇත්තටම සිදුවුණේ විධායක ජනාධිපති ක්‍රමය නිසා යුද්ධය ආරම්භ වීමත් තීව්‍ර වීමත් පමණයි.

යාපනය පුස්තකාලය ගිනි තැබුවේ, 83 කළු ජූලිය නිර්මාණය කළේ විධායක ජනාධීපතිධුරයේ ආනුභාවයෙන්. යුද්ධය කළේ, ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරන්න අවස්ථාව හැදුවේ ජේ.ආර්. ජයවර්ධන විධායක බලයෙන් සිදුකළ ක්‍රියාමාර්ග නිසා. ඒ විතරක් නෙවෙයි, ප්‍රේමදාස ජනාධිපතිවරයා කොටි සංවිධානයට සල්ලි, අවි ආයුද දුන්නා. මහින්ද  රාජපක්‍ෂ කොටි සංවිධානයට සල්ලි දුන්නා. විධායක ජනාධිපති බලයෙන් යුද්ධය වර්ධනය කළා. යුද්ධය දිනුවේ විධායක ජනාධිපති කියලා කව්රු හරි කියනවා නම් ඒක බොරුවක්. මොකද, ජනපතිවරු 5 දෙනෙක් යටතේ මේ යුද්ධය ඉවර වුණේ නැහැ.

ඊට අමතරව ඇතැම් හාමුදුරුවන් වහන්සේලා කියනවා 20 ගේන්න කලින් අලුත් ජනවරමක් ගන්න ඕනෑ කියලා. නමුත් අපි උන් වහන්සේලාට ගෞරවයෙන් මතක් කරන්න කැමතියි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න 1999, 2005, 2010, 2015 යන අවස්ථාවල ජනවරමක් ලැබී තිබෙනවා. එනිසා නැවත ජනවරමක් ඕන නැහැ.  තව සමහරු කියනවා, මේක යූ.ඇන්.පී. වුවමනාවක් කියලා. නමුත් ඒක අසත්‍යයක්. 20 සම්මත වීමෙන් පසුව ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි 08න් පසුවයි. අපි යෝජනා කරනවා ක්‍රියාත්මක වන දවසක පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. එතකොට අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් ජනාධිපතිවරයෙක් රටට ලැබෙනවා, රනිල්ට අමතර බලයක් ලැබෙනවා කියන එක බොරුවක්.

තවත් සමහරු කියනවා, අපි මේක ගේන්න ගෝඨාට භය නිසා කියලා. ජේ.වී.පී.එක බය වෙන්නේ ඇයි? ගෝඨා අපේ රටේ සමාජවාදය හදනවා නම් අපි බයයි. අලුත් මුහුණු ආවා කියලා අපේ රට හදන්න බැහැ. හැමදාම මේ පක්‍ෂ දෙකේ අලුත් මුහුණු ආවා. ජේ.ආර්, අවුරුදු 12ක් කරලා ගියා. ප්‍රේමදාස ඇවිත් රට විනාශ කරලා ගියා. චන්ද්‍රිකා ආවා, පරණ එන්ජිමම තමයි. මහින්ද ඇවිත් අවුරුදු 10ක් ඉඳලා රට විනාශ කරලා ගියා. යහ පාලනය කියලා රනිල් ආවා. දැන් මොකද වෙලා තිබෙන්නේ? ඊළඟ ගෝඨා මොකක් හරි කියාගෙන එයි. මේ රටට මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. එනිසා අපි පුද්ගල චරිතවලට රට හදන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා හොඳම අවස්ථාව පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන මේ සංයුතිය කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා අපි හැමෝටම මේ ඒකාධිපති බලයට විරුද්ධව ශිෂ්ටත්වය පිළිබඳ අරගලයක් තිබෙනවා. ඒ අරගලය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අපි හැමදෙනාම අපේ කාර්යභාරය ඉටු කරමු කියලා ආරාධනා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලුත් සාකච්ඡාවක් ඕනෑ. අපේ ජීවිත, අපේ රට, අපේ පරිසරය, මේ සියල්ල තනි පුද්ගලයෙකු යටතට පත් කරන්න ඕනෑද? එනිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ට සම්පන්න පාලනයක් තහවු කරන්න ඕනෑ. අද අශිෂ්ටත්වය වෙනුවෙන් පෙනී ඉන්න පිරිසක් ජනමතය වෙනස් කරන්න හදනවා. 20ට එරෙහි සටන් පාඨය නියෝජනය කරන්නේ ජාතිවාදීන්. ජාතිවාදය කියන්නේ ගෝත්‍රවාදයක්. එනිසා අපිට ශිෂ්ටත්වය පිළිබඳව, මනුෂ්‍යත්වය පිළිබඳව අරගලයක් තිබෙනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.

janahada

Latest Posts

කතාබහ

විශේෂාංග

මෙන්න දැනගන්න ITN කතා වස්තුව මෙන්න දැනගන්න ITN කතා වස්තුව 2018-10-29 - ITN යනු උපතින්ම ජාතිවාදී නාලිකාවක් නොවේ. එය මුල්...
ජාතිකවාදය හා ජාතිවාදය ජාතිකවාදය හා ජාතිවාදය 2018-05-18 - අද ප්‍රභාකරන් මරණයට පත් වූ දවස. ලෝකයේ දරුණුම ත...
නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල නීතියේ ආධිපත්‍ය සහ බන්ධනාගාර රෝහල  2018-05-11 - රාජ්‍ය සම්පත් සහ මුදල් වංචා කළ හෝ බරපතළ අපරාධ ...

කතුවැකිය

යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! යුක්තිය පතන මිනිසුනි, මේ ආයාචනය ඔබටයි ! 2018-10-29 - අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත. 2015 ජනවාරි 08 වැනිදා...
ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය ජනපති, අගමැති සහ බැඳුම්කර වාර්තාවේ විවෘතභාවය 2018-01-15 - බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ ජනපතිවරයාගේ...
ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර ජනපතිගේ ගෙවීයන වසර සහ එළඹෙන වසර 2017-12-27 - ගෙවී යමින් තිබෙන වසරේ සහ එළැඹෙන 2018 වසරේ රටේ නා...