ක‍්‍රිකට් මුල් පුටුව දූෂිතයන්ට දෙන්නේ නැහැ - දයාසිරි

ක්‍රීඩා

ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් තේරීපත් වන ඕනෑම අපේක්ෂකයකු දූෂිතයකු බව සනාථ වුවහොත් ඔවුන් එම පදවිවලින් ඉවත් කරන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ලැබී තිබෙන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් මේ වෙනුවෙන් පත් කළ පරීක්ෂණ මණ්ඩලය ක‍්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දී තිබෙන බවත් වැඩිදුර පියවර ගැනීමට ප‍්‍රථම නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

හිටපු ලේකම් නිශාන්ත රණතුංග සහ හිටපු සභාපතිවරුන් වන අර්ජුන රණතුංග, ජයන්ත ධර්මදාස සහ තිලංග සුමතිපාල මෙවර නිලවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධානම අපේක්ෂකයෝ වෙති.

හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා, රණතුංග දෙසොහොයුරන්ට සහාය දක්වන බව වාර්තා වන අතර, පැවැති උපාලි - නිශාන්ත පාලනයට බරපතළ දූෂණ චෝදනා එල්ල කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙවර එම කණ්ඩායමේම සාමාජිකයකු වීම නිලවරණයේ කැපී පෙනේ.

මේ අතර තරග පාවා දීමකට හවුල් වී ඇති බවට නිශාන්ත රණතුංග මහතාට එරෙහිව තවත් කණ්ඩායමක් විසින් චෝදනා ගොනු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. එම චෝදනාවට අදාළ සිදුවීම මෙසේය. ඒ 2010 වසරේ ජුනි මස 18 වන දින ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර දඹුල්ලේ පැවැති තරගය වෙනුවෙන් පැමිණි ඉන්දියානු ක‍්‍රීඩක සුරේෂ් රයිනා නවාතැන් ගත් කණ්ඩලම හෝටලයේ කාමරය තුළ රාත‍්‍රී කාලයේ තරුණියක සිටීම පදනම් කරගෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ එවකට ආරක්ෂක උපදේශකවරයා වන මේජර් ජෙනරාල් ලෝරන්ස් ප‍්‍රනාන්දු මහතා ඉන්දියාවේ ක‍්‍රිකට් කළමනාකරුට පැමිණිලි කර ඇත. එය මෙරට ක‍්‍රිකට් ලේකම්වරයාව සිටි නිශාන්ත රණතුංග මහතාට ද දන්වා ඇත. එය තරග පාවා දීමක් වෙනුවෙන් සිදු කළ මෙහෙයුමක කොටසක් ලෙසට එවකට චෝදනා එල්ල වී තිබිණි.

එහෙත් අද වන තුරුත් එම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත. ඊට හේතුව වශයෙන් පසුව අනාවරණය වී තිබුණේ එවකට ලෝක ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපතිව සිටි සිරි නිවාසන් මහතා හා මෙරට ක‍්‍රිකට් බලධරයකු අතර වන ව්‍යාපාරික සම්බන්ධයක් නිසා මේ කරුණ යට ගැසූ බවය. සිරිනිවාසන් මහතා සිමෙන්ති ව්‍යාපාරිකයකු වන අතර ඔහුගේ මෙරට ඒජන්තවරයා ක‍්‍රිකට් ආයතනයේ බලධරයාය.

මේ අතර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සභාපති පදවිය දැරූ පාලක මණ්ඩලය එවකට ක‍්‍රීඩා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා විසින් විසුරුවා හරිනු ලැබුණේ බරපතළ දූෂණ චෝදනා එල්ල කරමිනි.

කෙසේ නමුත් මේ වන විට නිලවරණයේ අපේක්ෂකයන්ට එරෙහිව පැමිණිලි ගණනාවක්ම ලැබී තිබෙන බව ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

Latest Posts