රනිල්ගේ ක‍්‍රිකට් මණ්ඩලේ ප‍්‍රධානියා වෙත්තමුණි

ක්‍රීඩා

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිත පංච පුද්ගල කමිටුවේ ප‍්‍රධානියා ලෙස අවසන් විසුරුවා හැරුණු ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සිදත් වෙත්තමුණි මහතා පත් කරනු ඇති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා මෙම අධීක්ෂණ කමිටුව පත් කරන්නේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ද අනුමැතිය පරිදි බව ද දැනගැනීමට ඇත. මෙම කමිටුව අගමැතිවරයා විසින් නම් කරනු ලබන නියෝජිතයන් තිදෙනකුගෙන් ද හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල මඩුල්ල නියෝජනය කරන නියෝජිතයන් දෙදෙනකුගෙන් ද සමන්විත වනු ඇත.

මෙහි ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ ක‍්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු අධීක්ෂණය හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දැනට පවතින ව්‍යවස්ථාව මුළුමනින්ම අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා බව ද පැවසේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ හා ක‍්‍රිකට් ආයතනයේ නව සහාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ දැඩි විරෝධය පළ වී ඇත. මේ සම්බන්ධයෙන් ජයසේකර මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාව ද දැනුවත් කර ඇති නමුත් ඔහුගෙන් ඊට සුදුසු ප‍්‍රතිචාරයක් ලැබී නැති බව ද දැන ගැනීමට ඇත. තිලංග සුමතිපාල පාර්ශ්වයේ ජයග‍්‍රහණයට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ද ලැබී තිබුණු නමුදු පරාජයට පත් වූ රණතුංග පවුල් පාර්ශ්වයට අගමැතිවරයා සහාය දක්වා තිබුණේ ද නැත.

කෙසේ නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යනු හුදු ක‍්‍රීඩා සමාජයකට වඩා දේශපාලන බල අරගලයේ සුළු මර්මස්ථානයක් වන අතර අගමැතිවරයාගේ මැදිහත් වීම දේශපාලන ගැටලූවක් දක්වා ඔඩු දුවනු ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව බලධාරීන් සැක පහළ කරති.

ඒ කෙසේ නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පසුගිය දා පැවති නිලවරණයේ දී පත් වූ සියලූ දෙනා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හෝ හිතවතුන් හා ව්‍යාපාරිකයන් පිරිසකි. මෙම තත්ත්වය ඇති විය හැකි බවට කල් තබා තිබූ සැකය නිසා මෙම නිලවරණය කල්දැමීමට ද අගමැතිවරයා උත්සාහ ගෙන තිබූ බව ද වාර්තා විය.

මේ අතර ක‍්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් විවේචනය කරනු ලැබීම හේතුවෙන් ඔහුට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නා ලෙස එජාප ජ්‍යේෂ්ඨයන් පිරිසක් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.

අගමැතිවරයාව ඇමැති මණ්ඩල සාමාජිකයකු මෙලෙස විවේචනය කිරීම නොකළ යුත්තක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.

මේ සම්බන්ධව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යම් පියවරක් ඉදිරියේ දී ගනු ලබන බව ද එම ඇමැතිවරුන්ට දන්වා ඇත.

Latest Posts