වෙනස් නොවූ දයා...

ක්‍රීඩා

දයාසිරි ජයසේකර ගායකයකු ලෙස වරෙක අපට මුණගැසුණේ ‘මෙගා ස්ටාර්’ නම් රූපවාහිනී රියැලිටි වැඩසටහනකිනි. එහි දී ඔහු සිය ප‍්‍රසාංගික හැකියාව මනාව විදහා පෙන්වූවා අපට මතකය.

පසුව ඔහු සිය ‘ඔයා හුඟාක් වෙනස් වෙලා’ ගීතය සහ මියුසික් වීඩියෝව එළිදක්වමින් ගායන මෙන්ම රංගන හැකියාව ද විදහා ලූයේය. කෙසේ වෙතත් පාසල් වියේ සිට ක‍්‍රීඩකයකු වූ සහ තරුණ දේශපාලඥයකු වන ඔහුට ක‍්‍රීඩා අමාත්‍යාංශය භාර කෙරෙන විට සමස්තයක් ලෙස ලාංකේය ක‍්‍රීඩාලෝලීන්ට ඇති වුණේ අනාගතය පිළිබඳව සුභවාදී හැඟීම් ය. පසුගිය දා පැවැත්වුණු දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දී ද ඔහු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමඟ ගැවසෙමින් ඔවුන් දිරිමත් කරමින් ක‍්‍රියාශීලී ලෙස හැසිරෙනු මාධ්‍ය හරහා දුටු සැමගෙන් ම ඔහු කෙරෙහි මහත් ප‍්‍රශංසාවක් පළවිය. එහෙත් තරගාවලිය නිම වීමෙන් අනතුරුව ආපසු පැමිණි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පවසන තොරතුරු අනුව බලන කල දයාසිරි ඇමැතිවරයා ද කර ඇත්තේ අවසාන මොහොතේ ක‍්‍රීඩා පිටියට මුහුණ දා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිය දහඩිය මහන්සියෙන් ලබා ගත් පදක්කම් මතින් තමුන් දේශපාලන ලකුණු රැස් කිරීමක් පමණි. සරලව ම කිවහොත් එය රඟපෑමක් පමණක් වී ඇති අතර ‘දයා ටිකක් වත් වෙනස් වී නැත.’


තල්ලූවක් නොදුන් රත්තරන් ජයක්

2010 වසරේ පැවති 11 වන සාග් ක‍්‍රීඩා උළෙලේ දී ශ‍්‍රී ලංකාව පසු වුණේ බංග්ලාදේශයටත් පසුපසින් 4 වන ස්ථානයේය. ඊට සාපේක්ෂව මෙවර සැලකිය යුතු පියවරක් ඉදිරියට යමින් දෙවන ස්ථානයෙහි රැඳෙන්නට අපට හැකියාව ලැබුණි. රන් පදක්කම් 25ක් රිදී දක්කම් 63ක් සහ ලෝකඩ පදක්කම් 98ක් වශයෙන් සමස්ත පදක්කම් 186 සමඟ දකුණු ආසියාවේ වේගවත්ම ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව ද බිහි කිරීමට මෙහි දී හැකි වූ නමුත් මෙම ජයග‍්‍රහණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ධෛර්යය මත මිස අමාත්‍යාංශයේ හෝ ඔලිම්පික් කමිටුවේ විශේෂ දිරිගැන්වීමක් මත ලද දෑ නොවන බව පෙනී යයි.

 

අතින් කා හරක් බැලීම

රන් පදක්කම් 25න් 12ක්ම ලබා ගැනුණේ පිහිනුම් ඉසව්වලිනි. ඒ, මැතිව් අබේසිංහ 7ක් සහ කිමිකෝ රහීම් 5ක් වශයෙනි. තවත් රිදී පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගැනීමට ලාංකේය පිහිනුම් කණ්ඩායම සමත් වී තිබුණි. එහෙත් මැතිව් අබේසිංහ ක‍්‍රීඩකයා පවසනා ආකාරයට පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා අමාත්‍යාංශයෙන් විශේෂ ඇඳුම් කට්ටලයක් හෝ ලබා දී නැත. සාමාන්‍යයෙන් කාන්තා පිහිනුම් ඇඳුම් කට්ටලයක මිල රුපියල් 50,000 - 60,000 පමණ වන බවත් පිරිමි පිහිනුම් ඇඳුම් කට්ටලයක් රුපියල් 30,000 - 40,000 අතර වන බවත් පැවසූ ඔහු ඒවා ලබා ගන්නට සිදු වුණේ තම තමන්ගේ තනි වියදමින් බව ද පවසා සිටියේ ය. මේ ක‍්‍රීඩකයන් තරගවදින විට කැමරාවට මුහුණ පෙන්නා හුරේ දමන්නට පැමිණිමුත් දයාසිරි ඇමැතිවරයා මේවා පිළිබඳව සොයා බැලීමක් කර නැත.

 

හැරමිටියෙන් සාග් ගිය හැටි

එමෙන් ම බැඞ්මින්ටන් ක‍්‍රීඩාව සඳහා වයස 42ක ක‍්‍රීඩිකාවක් ද සහභාගි කර තිබිණි. මෙවර තරගාවලියට පිටත්ව යන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිදුකර ඇති ඇතැම් තේරීම් පිළිබඳව බැඞ්මින්ටන් ක‍්‍රීඩා විශේෂඥයන් අප‍්‍රසාදය පළකර තිබුණි. දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල නියෝජනය කරමින් යොවුන් දක්ෂතා දක්වන්නන් කෙරෙහි ද මෙහි දී අවාධනය යොමු විය යුතුව තිබුණි.

ලොව තෙවන වේගවත්ම ක‍්‍රීඩාව ලෙස සැලකෙන බැඞ්මින්ටන්හි ප‍්‍රතිවාදියාට ක්ෂණික ප‍්‍රතිචාර දැක්වීම දරා ගැනීමේ හැකියාව ශක්තිය වයසට යෑමත් සමඟ වෙනස් විය හැකිය. මෙවැනි තත්ත්වයක් තුළ දී යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඇති අවස්ථාවට ඉඩ අහුරමින් වයස්ගත ක‍්‍රීඩිකාවක් බැඞ්මින්ටන් කණ්ඩායම් නායකත්වයට දැමීම සම්බන්ධයෙන් ද බොහෝ චෝදනා එල්ල විය. බැඞ්මින්ටන් සංගමයට ක‍්‍රීඩාව තුළ අනාගතයක් ඇති යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ශ‍්‍රී ලංකාව තුළ සොයා ගැනීමට සිටියේ ම නැතිද යන ප‍්‍රශ්නය මෙතැන පැන නඟී. එයටත් වඩා අතිශය නින්දිත කාරණය වන්නේ බැට්මින්ටන් තේරීම් කමිටු සභාපතිත්වය දරන්නේ ජාත්‍යන්තර බැට්මින්ටන් පිටියේ තරග විනිශ්චකාරීත්වය දරන පුද්ගලයෙක් වීමය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තනතුරක් දරන පුද්ගලයෙක් දේශීය ක‍්‍රීඩා ආයතනයක තනතුරු දැරීම බැට්මින්ටන් ක‍්‍රීඩාවේ පමණක් නොව ඕනෑම ක‍්‍රීඩාවක ආචාර ධර්මවලට පටහැනිය. නමුත් අජිත් විජේසිංහ එලෙසින් තනතුරු දරමින් අපූරු බැට්මින්ටන් සංචිතයක් සාග් වෙත යවා ඇත. ලංකාවේ බැට්මින්ටන් ක‍්‍රීඩා ඉතිහාසයේ බරපතළම ලෙස කළු පැල්ලමක් එක්කල සිදුවීමක් ලෙස මෙය නම් කළ හැක.

 

කට්ට කාටවත් ආඩම්බරය තවත් කාටවත්

රේසින් පාපැදි අංශයේ කිලෝමීටර් 40 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා දුන් අනුරාධපුර මිහින්තලය මහා විද්‍යාලයේ උදේශනී නිරංජනී කුමාරසිංහ ශිෂ්‍යාව මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට පෞද්ගලික වියදම් සොයාගෙන තිබුණේ ඇගේ පියා විසින් සිය නිවස උකස් කර ලබා දුන් මුදලිනි. ඇය පවසනා ආකාරයට එම ඉසව්වේ ප‍්‍රථම ස්ථානය දිනූ ඉන්දීය ක‍්‍රීඩිකාව භාවිත කළ පාපැදිය රුපියල් ලක්ෂ 27ක් වටිනා එකක් වූ අතර ඇය තරග වැද තිබුණේ රුපියල් 75,000ක් වටිනා පාපැදියකිනි. තාක්ෂණිකව ඇය ලද අඩු පහසුකම් ගැන කියන්නට මීට වඩා කරුණු අවශ්‍ය නැත. ඇගේ දුෂ්කරතා පිළිබඳව සොයා බලන්නට කිසිදු බලධාරියකු උනන්දු වී තිබී ද නැත.

 

නොමිලේ සැප සවාරියක්

මෙසේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කොටසක් බාධක මැදින් ජයග‍්‍රහණයන් සොයා යද්දී සුපුරුදු පරිදි බලධාරීන්ගේ අනුහසින් තවත් පිරිසක් ක‍්‍රීඩා සවාරියක නියැළීමට ද අවස්ථාව ලබා තිබිණි. ශ‍්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමට මෙම තරගාවලියට සහභාගී නොවන ලෙස ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය මඟින් අනතුරු හැඟවීමක් කර තිබිණි. ඒ, ඉන්දීය පැසිපන්දු සම්මේලනයට ඔවුන් පනවා තිබුණු තහනමක් හේතුවෙනි. එය නොතකා ඔවුන් ඉන්දියාවට රැගෙන යාම නිකම්ම සවාරියක් පමණි. එසේම මෙරට ජාතික මට්ටමෙන් තරගාවලියක් හෝ සංවිධානය නොකරණා හෑන්ඞ් බෝල් සහ කෝ - කෝ ක‍්‍රීඩාවන් වෙනුවෙන් ද කණ්ඩායම් ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදයෙන් සහභාගී කරවා තිබුණු අතර ඔවුන්ට කිසිදු පදක්කමක් දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ ද නැත.

 

සාක්කු පිරෙන්න රත්තරන් විතරක් ඇතිද?

නමුත් තරගාවලියෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ ඔලිම්පික් කමිටු ප‍්‍රධානී හේමසිරි ප‍්‍රනාන්දු පවසා තිබුණේ මෙහි රිදී සහ ලෝකඩ පදක්කම්වලට කිසිදු වටිනාකමක් නොමැති බවයි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙරට අවම පහසුකම් යටතේ පුහුණු වී තම ඇඳුමේ සිට වියදම් පවා තමුන් අතින් ම පියවා ගෙන තරඟ වැදී ගෙනා පදක්කම්වලට කොළඹ සීත කාමරවල ක‍්‍රීඩාවේ නාමයෙන් සැප විඳිමින් සිට අවමන් කිරීම ඉතා නින්දිත නරුම ක‍්‍රියාවක් වශයෙන් හෙළා දැකිය යුතුය. වටිනාකම් දරන රන් පදක්කම් ඉබේ පහළ නොවනා බව ඔලිම්පික් කමිටුවේ මහතැනටද නොවැටෙහේ නම් එය රටේ අවාසනාවකි.

අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ යහපාලනයෙනුත් ක‍්‍රීඩාවට අමුතු යමක් තවමත් ලැබී නොමැති බවය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ලේ කඳුළු දහඩිය පදක්කම්වලට හැරෙනා විට එතැනට පැන කැමරාවට මුහුණ දමා ගන්නා ෆොටෝ ජෙනික් ඇමැතිවරයකු වෙනුවට රටට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අඩුපාඩු පිළිබඳව සොයා බලා මුල පටන් ඔවුන් දිරිමත් කරනා ඇමැතිවරයෙකි. විසිල් පමණක් වැඩක් නැත බල්ටි ද ගැසිය යුතුය, ‘දයා’ වෙනස් විය යුතු තැන මෙන්න මෙතනය.

- රන්දි කිඳෙල්පිටිය

janahada

Latest Posts