සිංගප්පූරුවේදී මතු වූ අලූත් කිඳුරා

ක්‍රීඩා

සිංගප්පූරුවේ දී පැවැති හත්වැනි ජාතික කෙටි දුර පිහිනුම් ශූරතාවලියේ දී රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සිංගප්පූරු ජාතික වාර්තාවක් සහ ශ‍්‍රී ලංකා ජාතික වාර්තා 5ක් බිඳ දැමීමට ශ‍්‍රී ලංකාවේ පිහිනුම් ශූර චෙරන්ත ද සිල්වා සමත් විය.

එහි දී මීටර් 50 සමනළ ආර සහ මීටර් 100 සමනළ ආර ඉසව්වල දී රන් පදක්කම් දිනාගත් චෙරන්ත, මීටර් 100 නිදහස් ආර සහ මීටර් 200 සමනළ ආර ඉසව්වල දී රිදී පදක්කම් ද, මීටර් 50 නිදහස් ආර ඉසව්වේ දී ලෝකඩ පදක්කමක් ද දිනා ගනිමින් දස්කම් දැක්වීය.

චෙරන්ත මීටර් 50 සමනළ ආර ඉසව්වේ නව සිංගප්පූරු ජාතික වාර්තාවට හිමිකම් කීවේ තත්පර 23.48ක කාලයකින් එම ඉසව්ව නිමා කරමිනි. තත්පර 23.53ක කාලයක් වාර්තා කළ ටෙයෝං සෙන් වෙයී මේ වසරේ (2017)නොවැම්බර් මාසයේ දී එම ඉසව්වේ පැරණි වාර්තාව පිහිටුවා තිබිණ. එම තරගාවලියේ දී ඉසව් 5කට සහභාගි වූ චෙරන්ත එම ඉසව් 5 දීම නව ශ‍්‍රී ලංකා වාර්තා බිහි කිරීමට සමත් වූ අතර ඉන් වාර්තා 4ක් ම මැතිව් අබේසිංහ විසින් 2015 වසරේ දී පිහිටවනු ලැබූ වාර්තා විය. අනෙක් වාර්තාව චෙරන්තගේම වාර්තාවක් වන අතර මෙම තරගාවලියේ දී නැවත වරක් එය අලූත් කිරීමට ඔහු සමත් විය. විසි එක් හැවිරිදි චෙරන්ත, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර හිටපු පිහිනුම් ශූර ජූලියන් බෝලිං මහතාගේ මග පෙන්වීම ඔහු යටතේ පිහිනුම් ක‍්‍රීඩාවට අවතීර්ණ විය. 2015 වසරේදී පිහිනුම් ක‍්‍රීඩාව සඳහා එෆ්.අයි.එන්.ඒ. ආයතනයේ ශිෂ්‍යත්වයක් ලැබූ චෙරන්ත, මේ වන විට මිගෙල් ලෝපස් මහතා යටතේ තායිලන්තයේ තාන්‍යපූර් කී‍‍්‍රඩා සංකීර්ණයේ දී පුහුණුව ලබයි. ඉකුත් වසරේ (2016) ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දී පදක්කම් 7 ක් දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ද චෙරන්ත සමත් වූ අතර ඊට රන් පදක්කමක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ඇතුළත් විය.

චෙරන්ත ද සිල්වා පිහිටවූ නව සිංගප්පූරු වාර්තාව

1.මීටර් 50 සමනළ ආර ඉසව්ව - තත්පර 23.48 (පැරණි වාර්තාව - ටෙයෝං සෙන් වෙයී - තත්පර 23.53}

චෙරන්ත ද සිල්වා පිහිටවූනව ශ‍්‍රී ලංකා වාර්තා  

      2.මීටර් 50 නිදහස් ආර ඉසව්ව - තත්පර 22.55 (පැරණි වාර්තාව - මැතිව් අබේසිංහ - තත්පර 22.93}

  1. මීටර් 100 නිදහස් ආර ඉසව්ව - තත්පර 49.29 (පැරණි වාර්තාව - මැතිව් අබේසිංහ - තත්පර 49.75}
  2. මීටර් 50 සමනළ ආර ඉසව්ව - ත්පර 23.48 (පැරණි වාර්තාව - මැතිව් අබේසිංහ - තත්පර 24.66}
  3. මීටර් 100 සමනළ ආර ඉසව්ව - තත්පර 52.19 (පැරණි වාර්තාව - මැතිව් අබේසිංහ - තත්පර 53.69}
  4. මීටර් 200 සමනළ ආර ඉසව්ව - විනාඩි 1.57.99 (පැරණි වාර්තාව - චෙරන්ත ද සිල්වා - විනාඩි 2.04.22}
janahada

Latest Posts