දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට තරග අටක තහනමක්?

ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායම පිටියට ගෙනඒම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අයිසීසී ජගත් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ කළමනාකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.



දිනේෂ් චන්දිමාල්, චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහට එරෙහිව නිල වශයෙන් එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබෙන්නේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් විසිනි.

ජගත් පාලක මණ්ඩලයේ විනය විධිවිධාන ප්‍රකාර එය "ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි" තුන්වෙනි තලය (Level 3) යටතට වැටෙන බරපතල චෝදනාවකි.

ශ්‍රී ලංකා නායකයා, පුහුණුකරු හෝ කළමනාකරු එම චෝදන්වාට නිවැරදිකරු බව පවසන්නේ නම් එවිට ඔවුන්ට එරෙහිව විශේෂ කොමසාරිස්වරයෙකු මගින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

ඔවුන් එම චෝදනාවට වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට තරග හතරක සිට අටක් දක්වා වූ තහනමක් පැනවිය හැකිය.

එමෙන්ම දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් පණවනු ලැබීය.

ඒ අනුව කොදෙවු පිල සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම ඔහුට තහනම් කෙරේ.

එයට අමතරව ටෙස්ට් තරගය සඳහා ඔහුට ගෙවන ලද සම්පූර්ණ මුදල දඩ වශයෙන් අයකර ගැනීමටත්, දඬුවම් ලකුණු දෙකක් ලබාදීමටත් තරග තීරක ජවගාල් ශ්‍රීනාත් තීරණය කොට තිබේ.

සිදුවීම පිළිබඳ පැහැදිලි වීඩියෝ සාක්ෂි තිබෙන බව පවසන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමේ බලධාරීන් සහ තරගයේ විනිසුරුවරුන් ඉදිරියේ එම සාක්ෂි උපයෝගී කරගෙන පරීක්ෂණය පැවැත්වූ බවත් පවසයි.

එහිදී "තමන් කිසිවක් කටේ දමාගත් බව පිළිගත් දිනේෂ් චන්දිමාල් එහෙත් ඒ කවරක් දැයි මතක නැති බව" සඳහන් කළ බව තරග තීරක ජවගාල ශ්‍රීනාත් සඳහන් කර තිබුණි.

තරග තීරකවරයාගේ තීන්දුව සම්පූර්ණයෙන්ම අනුමත කරන බව ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පැවසීය.

bbc

janahada

Latest Posts