මාලිංගගේ අවසන් පන්දු ඕවරයෙන් මුම්බායි ඉන්දියන්ස් ශූරතාව දිනයි

ක්‍රීඩා

ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2019 අවසන් මහ තරගය හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (12 ) පැවැති අතර එහිදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.


මුම්බායි ක්‍රීඩකයෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක ශූරතාව දිනාගත් සිව්වැනි අවස්ථාව මෙය වන අතර මෙවර මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කළ අතරම මහේලගේ පුහුණුකාරිත්වය යටතේ ඔවුන් එම ශූරතාවට හිමිකර ගත් දෙවැනි අවස්ථාව මෙය ලෙසද වාර්තා අතරට එක්විය. අවසන් පන්දු ඕවරයේදී ලසිත් මාලිංග සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 9 ක ඉලක්කයක් හිමිවූ චෙන්නායි ක්‍රීඩකයන් ලකුණු 6 කට සිමා කරමින් මුම්බායි කණ්ඩායම ජයක්ග්‍රහනය කරා ගෙන ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට මුම්බායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි.

මාලිංග ගේ අවසන් පන්දු ඕවරයේ ලකුණු 4 ක්ම පළමු පන්දු 3 දී රැස්කිරීමට ඔවුහු සමත් වූ නමුත් ඒ වන විට ලකුණු 80 ක් ලබා සිටි චෙන්නායි කණ්ඩායමේ බලාපොරොත්තුව වූ ෂේන් වොට්සන් සිව්වැනි පන්දුවේදී දෙවැනි ලකුණ කරා දිවයමින් සිටියදී දුවද්දී දැවී යෑමටකට හසුකර ගැනීමට මුම්බායි ක්‍රීඩකයන් සමත් විය. ඒ අනුව අවසන් පන්දු 2 තුළදී ලකුණු 4 ක් රැස්කිරීමට අවශ්‍ය වුවත් පන්දුවට පහර දෙමින් සිටි ශර්දුල් ඨාකුර්ට පස්වැනි පන්දුවේදී ලකුණු 2 ක් ලබාගත් නමුත් තීරණාත් මක අවසන් පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.

චෙන්නායි කණ්ඩායම සාර්ථක අරාම්භයක් ලබාදුන් ෂේන් වොට්සන් පන්දු 59 කදී ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. මේ අතර ෆෆ් ඩුප්ලෙසි ලකුණු 26 ක් සුරේෂ් රයිනා (8), අම්බටි රයිඩු (1) නායක මහේන්ද්‍ර සිං දෝනි (2) වැනි ප්‍රබල පිතිකරුවන් අඩු ලකුණු සන්ක්‍යවකට දැවීයෑම චෙන්නායි කණ්ඩායමට විශාල පාඩුවක් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර කරන් පොලාඞ් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළේය. ක්වින්ටින් ඩි’කොක් ලකුණු 29 ක්ද, ඉෂාන් කිෂන් ලකුණු 23 ක්ද රැස්කරමින් මුම්බායි ඉනිම සාර්ථක කළේය.
චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ දීපක් චාහර් නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර ඉම්රාන් තාහීර් ලකුණු 23 කට කඩුලු 2 ක්ද, ශර්දුල් ඨාකූර් ලකුණු 37 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 149
(ක්වින්ටි ඩි’කොක් 29, රෝහිත් ශර්මා 15, සූර්යකුමාර් යාදව් 15, ඉෂාන් කිෂන් 23, කරන් පොලාඞ් නොදැවී 41, හර්දීක් පාණ්ඩ්‍යා 16, දීපක් චාහර් 26/3, ඉම්රාන් තාහීර් 23/2, ශර්දුල් ඨාකූර් 37/2)

චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 148
(ෆෆ් ඩුප්ලෙසි 26, ෂේන් වොට්සන් 80, ඞ්වේන් බ්‍රාවෝ 15, ජස්ප්‍රීට් බුම්රා 14/2)

තරගාවලියේ විශේෂ සම්මාන
අවසන් තරගයේ වීරයා - ජස්ප්‍රීට් බුම්රා (මුම්බායි ඉන්දියන්ස්)
නැගී එන ක්‍රීඩකයා - ශුබ්මන් ගිල් (කොල්කටා නයිට්රයිඩර්ස්)
විශිෂ්ඨතම උඩපන්දුව - කරන් පොලාඞ් (මුම්බායි ඉන්දියන්ස්)
හොඳම පන්දුවට පහරදීමේ වේගය - ඔන්ඩි්‍ර රසල් (කොල්කටා නයිට්රයිඩර්ස්)
වැඩිම ලකුණු ලාභියා - ඬේවිඞ් වෝනර් (සන්රයිසස් හයිද්‍රාබාද්)
වැඩිම කඩුලු ලාභියා - ඉම්රාන් තාහිර් (චෙන්නායි සුපර්කිංග්ස්)
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා - ඔන්ඩි්‍ර රසල් (කොල්කටා නයිට්රයිඩර්ස්)

janahada

Latest Posts