බ්‍රිතාන්‍යය යුරෝපයෙන් වෙන්වීම නිල වශයෙන් ඇරඹේ

විදෙස්

බ්‍රික්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් වෙන්වීමේ පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයද ඊයේ (13) ඊට අනුමැතිය ලබැදී තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ විසින් ඒ සඳහා වන ආටිකල් ෆිෆ්ටි හෙවත් පනස් වැනි වගන්තිය අද (14දා) සිට ක්‍රියාත්මක කරනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, මෙම පනත් කෙටුම්පතට බ්‍රිතාන්‍යයේ රාජකීය එකඟත්වයද ලැබුණු පසු අද (14දා) සිට එය නීතියක් බවටද පත්වීමට නියමිතය.

මේ සමගම යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නිල ක්‍රියාවලිය ආරම්භ කෙරෙන අතර, මෙය වසර දෙකක කාලයක් තුළ සම්පූර්ණ කිරීමට බ්‍රිතාන්‍ය බලාපොරොත්තු වෙයි.

කෙසේ වෙතත්, යුරෝපා සංගමයෙන් වෙන්වන බ්‍රික්සිට් ක්‍රියාවලිය අනුමත නොකළ ස්කොට්ලන්තය, මහා බ්‍රිතාන්‍යයෙන් වෙන්වීම සඳහා දෙවැනි ජනමත විචාරණයකටද සූදානම් වන බව ස්කොට්ලන්ත අගමැතිනී නිකොලා ස්ටර්ජියන් ප්‍රකාශ කළාය.

මීට පෙර පැවති ජනමත විචාරණයේදී එරට ජනතාව තවදුරටත් මහා බ්‍රිතාන්‍ය තුළ රැඳී සිටිය යුතු බව පවසා තිබුණි.

Latest Posts