"දාම මිනීමරුවෙකුට ගොදුරු වූ" කැනඩාවේ ශ්‍රී ලාංකිකයෝ

විදෙස්

දාම මිනීමරුවෙකුට ගොදුරු වූ බව විශ්වාස කෙරෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුගේ මළ සිරුර හඳුනාගත් බව කැනඩාවේ පොලිසිය පවසයි.


ටොරොන්ටෝ නුවර විසූ 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වූ ක්‍රිෂ්ණ කුමාර් කනගරත්නම් (Kirushna Kumar Kanagaratnam) ඇතුලු අට දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳව 66 හැවිරිදි බෘස් මැක් ආතර්ට (Bruce McArthur) එරෙහිව පොලිසිය විසින් නඩු පවරනු ලැබ තිබේ.

2015 සැප්තැම්බර් 03 සහ දෙසැම්බර් 14 අතර දිනයක ක්‍රිෂ්ණ කුමාර් කනගරත්නම් ඝාතනය කර ඇති බව පොලිසිය විශ්වාස කරයි.

2010 දී කැනඩාවට සංක්‍රමණය වී තිබෙන ඔහු එවක් පටන් ටොරොන්ටෝ නගරයේ වාසය කර තිබේ.

බෘස් මැක් ආතර් විසින් කරන ලද ඝාතන පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසියට පසුගිය මාර්තු මාසයේ දී පුරුෂයෙකුගේ හඳුනා නොගත් මළ සිරුරක කොටස් හමු වී තිබේ.
එහි ඡායාරූපයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ බොහෝ දෙනා තොරතුරු ලබාදීමට ඉදිරිපත් වූ බව පවසන පොලිසිය, මළ සිරුර හඳුනාගත් බව පසුගිය සතියේ නිවේදනය කළේය.

ඉන් අනතුරුව ඔහුගේ මරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ වෙසෙන ක්‍රිෂ්ණ කුමාර් කනගරත්නම්ගේ ඥාතීන්ට දැනුම් දුන් බව පොලිසිය පවසයි.

බෘස් මැක් ආතර් විසින් ඝාතනය කරන ලදැයි සැලකෙන කනගරත්නම් සහ තවත් හය දෙනෙකුගේවත් මළ සිරුරුවල කොටස් ටොරන්ටෝ නුවර පිහිටි මැක් ආතර්ගේ නිවස අසල මල් පෝච්චිවල සඟවා තිබී හමු වී තිබේ.
කනගරත්නම් හැර මැක් ආතර් විසින් ඝාතනය කරන ලදැයි සැලකෙන අනෙක් හත් දෙනාටම ටොරොන්ටෝ නගරයේ සමරිසි ගම්මානය සමග කිසියම් සම්බන්ධයක් පැවතිණි.
ඒ අතරින් බහුතරය දකුණු ආසියාවේ හෝ මැද පෙරදිග සිට කැනඩාවට සංක්‍රමණය වූවන් වන අතර, ඔවුන් සියලු දෙනාම 2010-17 අතර සමයේ අතුරුදහන් වූහ.

ඔවුන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වූ බවට ටොරොන්ටෝවේ සමරිසි ප්‍රජාව පොලිසිය දැඩි විවේචනයට ලක් කළහ.

ඒ අතරින් 49 හැවිරිදි ඇන්ඩෘ කින්ස්මන් (Andrew Kinsman) සහ 44 හැවිරිදි සෙලීම් එසෙන් (Selim Esen) පසුගිය ජනවාරි මාසයේ මුලින්ම හඳුනාගන්නා ලදි. ඔවුන් දෙදෙනා අතුරුදහන්වූයේ 2017 දීය.

ඉන් අනතුරුව 2010 දී අතුරුදහන් වූ ස්කන්ධරාජ් නවරත්නම් (Skandaraj Navaratnam, 40), 2015 සිට අතුරුදහන්ව සිටින සොරුෂ් මහ්මුදී (Soroush Mahmudi, 50), 2016 දී ඝාතනය කරන ලදැයි සැලකෙන ඩීන් ලිසොවික් (Dean Lisowick, 47), 2010 දී අතුරුදහන් වූ අබ්දුල්බසීර් ෆයිසි (Abdulbasir Faizi, 42) සහ 2012 සිට අතුරුදහන්ව සිටින මජීඩ් කයිහාන් (Majeed Kayhan, 58) දාම මිනීමරුවාට ගොදුරු වූ අනෙක් පුද්ගලයන් ලෙස සැක කෙරෙන බව පොලිසිය නිවේදනය කර තිබේ.

ඝාතනයට ලක් වූ ස්කන්ධරාජ් නවරත්නම් ද ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු බව කැනඩාවේ ජනමාධ්‍ය වාර්තා කරයි.

මජීඩ් කයිහාන් හැරුණු විට අනෙක් සියලු දෙනාගේ මළ සිරුරු මේ වනවිට හමු වී තිබේ.

BBC

janahada

Latest Posts