හැරී සහ මෙගන් විවාහ වෙති- හැරී සසෙක්ස්හි ආදිපාදවරයාවේ

විදෙස්

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ බාල මුණුපුරා වන හැරී කුමරු සහ මේගැන මාකල් අතිනත ගැනීමෙන් අනතුරුව වින්ඩ්සර් නගරය වටා චාරිකාවක යෙදුනේය.



හැරී කුමරුට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමර කුමරියන් අතරින් හය වෙනි ස්ථානය හිමි වේ.

නව යුවල දැකගැනීම පිණිස 120,000 කට අධික පිරිසක් නගරයට රැස්ව සිටි බව බීබීසී වාර්තාකරුවෝ පවසති.

වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති මංගල උත්සවයෙන් අනතුරුව නව යුවල මුලින්ම මාලිගය පරිශ්‍රයේ රැස්ව සිටි ආරාධිත සෙනග අතරින් 'ඇස්කොට් ලන්ඩෝ' වර්ගයේ අශ්ව කරත්තයක නැගී සංචාරය කළහ.

නව යුවල රැගත් අශ්ව කරත්ත පෙළ නගරයේ සංචාරය කළේ ඉන් අනතුරුවය.
ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ප්‍රධානත්වයෙන් පැවති විවාහ මංගල්‍යය සඳහා 600ක පිරිසක් ආරාධනා ලබා සිටියහ. මෙගන් මාකල්ගේ පාර්ශවයෙන් උත්සවයට සහභාගී වෙන්නේ ඇයගේ මව, ඩොරියා රග්ලන්ඩ් (Doria Ragland), පමණි.

බ්‍රිතාන්‍යවාසීන් අතරින් තෝරාගන්නා ලද තවත් 1200 ක පිරිසක් වින්ඩ්සර් මාලිගය පරිශ්‍රයට ආරාධනා ලැබ සිටියහ. ඒ අතරින් බොහෝ දෙනා තෝරාගෙන තිබෙන්නේ ඔවුන්ගේ සමාජ සේවා කටයුතු වෙනුවෙනි.

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙගන් මාකල් ගේ පියාට මංගල්‍යයට පැමිණීමට නොහැකි වූ බැවින්, ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ද්වාරය වෙත පැමිණි මෙගන් මාකල් කැඳවා යනු ලැබුවේ චාල්ස් කුමරු විසිනි.

ඉන් අනතුරුව පැවති ආශීර්වාද මෙහෙයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නව යුවලක් ලෙසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ එංගලන්ත සභාවේ ප්‍රධානී, කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි විසිනි.
මංගල උත්සවය අතරවාරයේ අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකානු පූජකවරයෙකු වන මයිකල් කරි (Michael Curry) රදගුරුවරයා පැවැත්වූ අනුශාසනය සමාජ ජාල ඔස්සේ ප්‍රබල ප්‍රසාදයට ලක්වෙමින් පවතී.

ප්‍රේමයේ ශක්තිය පිළිබඳ පැහැදීමක් කළ රදගුරුවරයා, ප්‍රේමය රජ කරන විට "ලෝකය ක්ෂේම භූමියක්" වනු ඇති බව කියා සිටියේය.

ඩයනා කුමරියගේ සොහොයුරිය වන ජේන් ෆෙලෝස් ආර්යාව විසින් නව යුවලට ආශීර්වාද කරමින් පණිවුඩයක් කියවනු ලැබිණ.

විවාහයත් සමගම එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට සසෙක්ස්හි ආදිපාදවරයා (Duke of Sussex) පදවිය පිරිනමා තිබේ. ඒ අනුව විවාහවීමෙන් අනතුරුව මෙගන් මාකල් සසෙක්ස් හි ආදිපාදවරිය බවට පත්වේ.

bbc

Heri6

Heri5

Heri3

Heri4

Heri1

janahada

Latest Posts