ඇමෙරිකා එක්සත් ජනපදය 'පක්ෂග්‍රාහී' මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවතට

විදෙස්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය "දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අශූචි ගොඩක්" බව පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඉන් ඉවත්වන බව නිවේදනය කළේය.


"කුහක සහ ආත්ම ලාභය" වෙනුවෙන් ක්‍රියාකරන මානව හිමිකම් මණ්ඩලය "මානව හිමිකම් සමච්චලයට ලක්කරන" බව ද එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නියෝජිතවරියවන නිකී හේලි (Nikki Haley) සඳහන් කළාය.

2006 දී පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේය. රටවල් 47 ක් එහි සාමාජිකත්වය හොබවති.

මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටළු සහිත රටවලට එහි සාමාජිකත්වය දැරීමට අවස්ථාව සැලසීම පිළිබඳ එයට විවේචන එල්ල වී තිබේ.

නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම ස්ථාවරය, ලොව පුරා මානව හිමිකම් කඩවීම් නිරීක්ෂණය සම්බන්ධ කටයුතුවලට බලපෑමක් ඇතිකරනු ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති.

මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත්වීමට ඇති අපේක්ෂාව නිකී හේලි, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයට පත් කළාය. එහිදී මයික් පොම්පියෝ විසින් එය හඳුන්වා දෙනු ලැබුවේ "මානව හිමිකම් සුරැකීමේ දුර්වලයෙක්" ලෙසය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් තම ප්‍රකාශකයා මාර්ගයෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඇමෙරිකාව තවදුරටත් මානව හිමිකම් මණ්ඩලයේ රැඳී සිටින්නේ නම් තමා "වඩාත් කැමැති" බව ප්‍රකාශ කර තිබේ.
Twitter හි @UNHumanRights කළ වෙනි පළකිරීම මග හරින්න
මෙය "කලකිරවන සුළු සහ මවිත කරවන සුළු පුවතක්" බව මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී සෙයිඩ් අල් හුසේන් පවසා තිබුණි.

මේ අතර ඊශ්‍රායලය ඇමෙරිකාවේ තීරණය අගය කර තිබේ.

මෙම තත්ත්වය උදාවූයේ ඇමෙරිකානු මෙක්සිකෝ දේශ සීමාවේදී ළමා සංක්‍රමිකයන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කිරීමේ ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මතය.

එය මානව හිමිකම් කොමසාරිස් හුසේන් විග්‍රහ කර තිබුණේ "අයුක්තිසහගත කටයුත්තක්" ලෙසය.

bbc

janahada

Latest Posts