Huawei ජංගම දුරකතන සහ ගූගල් වාරණය

විදෙස්

ලෝකයේ දෙවන විශාලතම ජංගම දුරකතන නිෂ්පාදකයා වන Huawei 'හුවාවි' දුරකතනවල ඇන්ඩ්‍රොයිඩ් (Android) තාක්ෂණයට අදාළ යම් යාවත්කාලීන කිරීම් නතර කිරීමට ගූගල් සමාගම පසුගිය දා පියවර ගනු ලැබීය.


මේ හේතුවෙන්, 'හුවාවි'Huawei සමාගමේ නවතම ජංගම දුරකතන නිෂ්පාදනවල සමහර ගූගල් ඇප් වර්ග ඇතුළත් නොවෙනු ඇත.
'හුවාවි'Huawei සමාගම එක්සත් ජනපදය සමග වෙළෙඳ ගනුදෙනුවල නියැලීමට අවශ්‍ය බලපත්‍ර නොමැති සමාගම් අතරින් එකක් ලෙස හැඳින්වීමට ජනාධිපති ට්‍රම්ප් පාලනය ක්‍රියා කිරීමෙන් පසු මෙම තත්වය උදා විණි.

"අපි අණ පිළිපදිමින් ඇඟවීම් නිරීක්ෂණය කරනවා විතරයි" යැයි ගූගල් සමාගම පවසයි.
නමුත්, දැනට විකිණී අවසන් සහ වෙළෙඳපොළෙහි පවතින 'හුවාවි' Huawei සහ Honor ජංගම දුරකතන, ටැබ්ලට් උපකරණවල ආරක්ෂණ ඇප් යාවත්කාලීන කිරීම් සහ විකිණීමෙන් පසු ලබා දෙන සේවාවන් දිගින් දිගටම සිදු කරන බව Huawei සමාගම පවසයි.

"ලෝකය පුරා සිටින පාරිභෝගිකයන්ට ඉහළ මට්ටමේ සේවාවක් ලබා දීම සඳහා අපි ශක්තිමත් ආරක්ෂණ මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කරනවා," යැයි 'හුවාවි'Huawei සමාගම පවසයි.

"අපි Huawei සමාගමේ නීතිමය අයිතීන් රැකගන්න උදව් කරනවා" යයි මාධ්‍ය හමුවකට පැමිණි චීන රජයේ නියෝජිතයන් පිරිසක් කියා සිටියහ.

ගූගල් සමාගමේ තීරණය දැඩි ලෙස විවේචනය කරන 'හුවාවි' Huawei සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි (Ren Zhengfei) පැවසුවේ ඇමරිකාව තම සමාගමේ බලය "අවතක්සේරු" කර ඇති බවය.

'හුවාවි' Huawei සමාගමේ නිෂ්පාදනවල ඇති 5G තාක්ෂණය වෙනත් කිසිදු සමාගමකට නුදුරු අනාගතයේ දී නිර්මාණය කළ නොහැකි බවත් චීන මාධ්‍ය අමතමින් රෙන් ෂෙන්ග්ෆෙයි පවසයි.

චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ ද විශාල වශයෙන් භාවිත කෙරේ. මේ අතර, 'හුවාවි' Huawei ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිහරණය කරන බොහෝ පිරිසක් ද සිටිති.

'හුවාවි' Huawei ජංගම දුරකතන සහ ගූගල් සමාගම පැනවූ වාරණ ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී.

මෙම තත්වය'හුවාවි' Huawei පාරිභෝගිකයන්ට බලපාන්නේ කෙසේද?

නමුත් මෙම වසර අවසානයේ ගූගල් සමාගම එළිදක්වන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ නවතම මාදිලිය 'හුවාවි' Huawei උපාංගවලට නොලැබෙනු ඇත.

යූටියුබ් සහ 'ගූගල් මැප්ස්' වැනි ඇප් ඉදිරි කාලයෙහි 'හුවාවි' Huawei උපාංගවල ක්‍රියාත්මක නොවෙනු ඇත.

මේ අතර, 'හුවාවි' Huawei උපාංග සහ ඒවා ඇමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩ කර ඇත්දැයි යන්න පිළිබඳ ඉතා සියුම් ලෙස පරීක්ෂා කර බලන බව ජපානයේ පැනසොනික් (Panasonic ) සමාගම මැයි 23 දා ප්‍රකාශ කර ඇත.

මේ අතර ප්‍රකාශයක් කරන පැනසොනික් සමාගම චීනයේ 'හුවාවි' Huawei සමාගම ඇමරිකානු වෙළෙඳ ගිවිසුම් කඩ කර නොමැති නම් ඔවුන් සමග නොකඩවා ගනුදෙනුවල නියැලෙන බවත් පැනසොනික් සමාගම වැඩිදුරටත් පවසයි.

"අදාළ රටවල් සහ කලාපවල බලපැවැත්වෙන නීති රෙගුලාසි දැඩිව අනුගමනය කරමිනුයි අප සමාගම ව්‍යාපාරවල යෙදෙන්නේ" යැයි පැනසොනික් සමාගම කියා සිටියි.
ගූගල් සිදු කළේ කුමක්ද?
'හුවාවි' Huawei සමාගම සමග "ප්‍රකට නොවන" දෘඩාංග, මෘදුකාංග සහ තාක්ෂණ සේවා ලබා දීම් සම්බන්ධයෙන් පැවති සියලු ව්‍යාපාර ගනුදෙනු නතර කිරීමට ඇමරිකානු සමාගමක් වන ගූගල් තීරණය කර තිබේ.

දැනට Huawei ජංගම දුරකතන භාවිත කරන්නන්ට ආරක්ෂණ මෘදුකාංග ඔස්සේ ගූගල් ඇප් සහ Google Play (ගූගල් ප්ලේ) යාවත්කාලීන කිරීමේ හැකියාව තිබේ
නමුත්, ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ විවෘත මෘකාංග ව්‍යාපෘතියක් ඔස්සේ වීම හේතුවෙන් 'හුවාවි' Huawei සමාගමට එය ලබා ගැනීමේ සියලු දොරටු අවහිර නොවේ.

ඕනෑම නිෂ්පාදකයෙකුට බලපත්‍රයක් නොමැතිව වුව ද ඔවුන්ගේ උපාංගවලට මෙම තාක්ෂණය ඇතුළු කරමින් අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකර ගැනීමේ හැකියාව ඇත.

නමුත් තාක්ෂණ ලෝකයේ බොහෝ ව්‍යාපාරිකයන් ගූගල් සමාගම මත යැපීමේ ප්‍රවණතාවක් පවතී.

ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය තුළ ගූගල් සමාගම පාලනය කරන මෘදුකාංග කීපයකි:

ගූගල් ප්ලේ ඇප් ගබඩාව (Play app store)

ඔවුන් නිර්මාණය කළ ඇප් වර්ග

ගූගල් ඇසිස්ටන්ට් (Google Assistant virtual helper)

Gmail විද්‍යුත් තැපැල් සේවාව

තුන්වන පාර්ශවයකට ද ඇතුළු විය හැකි නොයෙකුත් උපාංග

-BBC

Latest Posts